ගුවන් ප්‍රහාරයෙන් පොලිස් මෙහෙයුම අසාර්ථක වේ

569

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (19) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්, පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 07-15ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

නාවිකයෝ හැව්ලොක් මෙල්ල කරති

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තයේ, නාවික හමුදා ක්‍රීඩා සමාජය හා හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (18) පැවති තරගයෙන් හැව්ලොක්…

මෙම කණ්ඩායම් දෙකම තරගාවලිය තුළ මීට පෙර ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව සිටීම නිසා මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.

තරගය ආරම්භ වූ මොහොතේ සිටම ප්‍රතිවාදී පොලිස් ක්‍රීඩා සමාජයට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සත්කාරක ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ පොලිස් අර්ධයේ පන්දුව රඳවමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වූ අතර එම උත්සාහය තරගයේ 4 වන මිනිත්තුවේ දී සාර්ථක වූයේ රදීෂ සෙනෙවිරත්න ගුවන් හමුදා කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමත් සමඟයි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් විය (00 – 07).

අනතුරුව පොලිස් ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වීමට සමත් වූ අතර ඒ අනුව තරගයේ 12 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට ඔවුන් සමත් වුවත් එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරන්නට එම අවස්ථාව ලබාගත් සයිඩ් සිංහවංස අසමත් විය.

පසුව තරගයේ 15 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට පැමිණීමට පොලිස් ක්‍රීඩකයින් සමත් වූ නමුත් ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හමුවේ එම අවස්ථාව ද සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය.

අනතුරුව ගුවන් හමුදා ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් 20 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට සමත් වුවත් එම අවස්ථාව සාර්ථක කර ගන්නට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් වූයේ නැත.

පොලිස් ක්‍රීඩකයින් පසුව නැවතත් තරගයේ පාලනය තම කණ්ඩායම දෙසට යොමු කර ගන්නට සමත් වූ අතර එහි දී ඔවුන් 29 වන මිනිත්තුවේ දී පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් වුවත්, එහි දී පන්දුව හුවමාරු කර ගැනීමේ දී ඉදිරියට පන්දුව හුවමාරු කර ගැනීමක් සිදු වූ බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම උත්සාහක දිනුම ඔවුන් වෙත පිරිනැමුණේ නැත.

තරගයේ පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ප්‍රතිවාදී අර්ධය වෙත පන්දුව රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට උත්සාහ දැරුවත් එම උත්සාහයන් සාර්ථකත්වයට පත්වූයේ නැත.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 00 – 07 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයට ද ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී ඔවුන් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක් පමණක් ගතවද්දී උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. එහි දී ගුවන් හමුදා ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරමින් අවසානයේ එය රොමේෂ් රාම්දාස් වෙත බාර කළ අතර ඔහු උත්සාහක දිනුම් කලාපයේ වම් කෙළවරේ පන්දුව පතිත කරමින් එම උත්සාහක දිනුම වාර්තා විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් වූයේ නැත (00 – 12).

CR & FC ආධිපත්‍ය, CH & FC හමුවේ බිඳ වැටේ

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් අද (17) CR & FC ක්‍රීඩා සමාජයත්, CH & FC ක්‍රීඩා සමාජයත් තුරඟ තරග පිටියට පිවිසි අතර…

අනතුරුව තරගයට අවතීර්ණ වූ පොලිස් ක්‍රීඩකයින් තරගයේ 53 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. එහි දී පොලිස් කණ්ඩායම නැවතත් තරගයට රැගෙන එමින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ සුරංග කසුන් විසිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය (07 – 12).

ඉන් පසුව ගුවන් හමුදා ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් අවස්ථාවන් තුනක දී පන්දුව උත්සාහක දිනුම් කලාපය ආසන්නයට රැගෙන යන්නට සමත් වූ නමුත් එම අවස්ථාවන් උත්සාහක දිනුම් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගයේ 77 වන මිනිත්තුවේ දී ගෝල රාමුව ඉතා ආසන්නයේ දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට සමත් වූ අතර එම අවස්ථාව චරිත් සෙනෙවිරත්න විසින් සාර්ථක කර ගන්නා ලදි (07 – 15).

අනතුරුව තරගයේ දෙවන අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් කලාපය ඉතා ආසන්නයට පන්දුව රැගෙන යන්නට සමත් වුවත්, ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හමුවේ එහි දී ද පොලිස් ක්‍රීඩකයින්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

ඒ අනුව උණුසුම් තරගයකින් අනතුරුව ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජය 07 (1T, 1C) – 15 (2T, 1P, 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සාරක වේරඇල්ල (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම

  • පොලිස් ක්‍රීඩා සමාජය – සුරංග කසුන් 1T, සංදේශ් ජයවික්‍රම 1C
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – රදීෂ සෙනෙවිරත්න 1T, රොමේෂ් රාම්දාස් 1T, චරිත් සෙනෙවිරත්න 1P, ගයන්ත ඉද්දමල්ගොඩ 1C

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට