CH සුළඟින් මහනුවර කැලඹෙයි

1363

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වන සති අන්තය ආරම්භ කරමින් CH & FC ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය අද (20) නිත්තවෙල දී තරග වැදුණු අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 34-23ක් ලෙසින් තරගය ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

ගුවන් හමුදාවට පෙරළිකාර ජයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ…

අපරාජිත මහනුවර කණ්ඩායම ගයාන් වීරරත්න විසින් මෙහෙයවූ අතර පෙරළිකාර CH & FC කණ්ඩායම රෝහිත රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබීය. තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන් අතර තෙවන ස්ථානයේ සිටින මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඩ් ධර්මපාල හට තරග තහනමක් හිමි වීම නිසා අද තරගයට සහභාගී වූයේ නැත.

තරගාවලිය පුරා පෙරළිකාර ජයග්‍රහණයන් කිහිපයක් ලබා ගැනීමට සමත්වූ CH & FC කණ්ඩායම මෙම තරගයේ ද ආරම්භක මිනිත්තුවේ සිටම තරගයට අවතීර්ණ වූ අතර තෙවන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට CH & FC ක්‍රීඩක සැමුවෙල් මධුවන්ත අසමත් විය.

සත්කාරක මහනුවර කණ්ඩායම සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක සහයෝගයක් ලැබුණු අතර මහනුවර කණ්ඩායමෙන් මෙන්ම ප්‍රේක්ෂකයන්ගෙන් ද හිමි වූ අභියෝග සියල්ලටම මැනවින් ප්‍රතිචාර දැක්වූ CH කණ්ඩායම මිනිත්තු 15ක් පුරා මහනුවර කණ්ඩායමේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් මහනුවර කණ්ඩායම සිය අර්ධයට සීමා කර තබා ගැනීමට සමත් විය.

18 වෙනි මිනිත්තුවේ දී  ක්‍රියාත්මක වූ මහනුවර කණ්ඩායමේ නයිජල් රත්වත්ත මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු  පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔහු අසමත් විය. (මහනුවර 05-00 CH & FC)

25 වැනි මිනිත්තුවේ දී ගෝල දිනුමක් සඳහා සැමුවෙල් මධුවන්ත කළ උත්සාහයක් අසාර්ථක වූ නමුත් එම මිනිත්තුවේ දී ම ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් CH & FC කණ්ඩායම ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදි. (මහනුවර 05-03 CH & FC)

27 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ප්‍රබල මහනුවර ක්‍රීඩක ෆාසිල් මරීජා CH & FC පසුපෙළ බිඳ දමමින් පිටිය මැද සිට සුපිරි ධාවනයක යෙදෙමින් මහනුවර කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය නයිජල් රත්වත්ත විසින් සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 12-03 CH & FC)

තරගය නැවත ආරම්භ වීමෙන් පසුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ CH & FC ක්‍රීඩක ලී කීගල් 29 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ අතපසුවීමකින් උපරිම ප්‍රයෝජන ගනිමින් CH කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 12-10 CH & FC)

‘Line-Out’ අවස්ථාවක් සාර්ථකව ප්‍රයෝජනයට ගත් මහනුවර ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර 37 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද නයිජල් රත්වත්ත විසින් සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 19 -10 CH & FC)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 19 – 10 CH & FC

CH & FC කණ්ඩායම තරගයේ 42 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. හෂාන් මධුරංග එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (මහනුවර 19-15 CH & FC)

දෙවන අර්ධය ආරම්භයේ ම මහනුවර කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ CH & FC කණ්ඩායමට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් මහනුවර කණ්ඩායමේ නායක ගයාන් වීරරත්න 45 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත එම උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි. (මහනුවර 26 -15 CH & FC)

49 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ ගනුක දිසානායක හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළ අතර මහනුවර කණ්ඩායමට එක් ක්‍රීඩකයෙකු අහිමි වීමේ අවාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් CH & FC ක්‍රීඩක ලී කීගල් මහනුවර ප්‍රතිරෝධය බිඳ දමමින් ඉදිරියට ගමන් කළ අතර ඉතා අලංකාර ලෙස පන්දුව හෂාන් මධුරංග වෙත යොමු කිරීමත් සමඟ හෂාන් මධුරංග විසින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරන ලදි. සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් විය. (මහනුවර 26-20 CH & FC)

“ගමට රග්බි” වැඩසටහනේ තවත් එක් පියවරක් සාර්ථකව අවසන්

“ගමට රග්බි” වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පසුගිය දා (15) කුලියාපිටිය සාරානාත් විද්‍යාල පිටියේ දී සාර්ථකව පැවැත්විය. එම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ…

මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරගයේ 59 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට නයිජල් රත්වත්ත අසමත් වූ නමුත් 65 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය. (මහනුවර 29-20 CH & FC)

66 වන මිනිත්තුවේ දී CH & FC කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගත් සැමුවෙල් මධුවන්ත CH & FC කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු තවදුරටත් රඳවා තැබීමට සමත් විය. (මහනුවර 29-23 CH & FC)

ඉතා උණුසුම් අවසාන මිනිත්තු කිහිපයේ දී යෝෂිත රාජපක්ෂ මහනුවර කණ්ඩායමේ පෙරපෙළ බිඳ දමමින් උත්සාහක දිනුම් සීමාව ආසන්නයටම ගිය නමුත්, CH & FC ක්‍රීඩකයෝ කළ අතපසුවීමක් නිසාවෙන් තරගය සියතට ගැනීමට තිබූ විශිෂ්ට අවස්ථාවක් CH & FC කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

CH කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිඳ දමමින්, 80 වැනි මිනිත්තුවේ දී තරගය පුරා සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූ ෆාසිල් මරීජාගේ පා පහරින් ඉහළ ගිය පන්දුව පසුපස හඹා ගොස් රැකගත් ඔෂාන් පෙරේරා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමත් සමඟ තරගයේ සියලු වාසිය මහනුවර කණ්ඩායම වෙත නතු වූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය අසාර්ථක කර ගත්ත ද 34-23ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 34 (5T, 3C, 1P) – 23 (4T, 1C, 2P) CH & FC

ThePapare.com තරගයේ වීරයා: ෆාසිල් මරීජා (මහනුවර)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • මහනුවර ක්‍රීඩා සමාජය: ගයාන් වීරරත්න (1T), ඔෂාන් පෙරේරා (1T), ෆසිල් මරීජා (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), නයිජල් රත්වත්ත (1T, 3C, 1P)
  • CH & FC ක්‍රීඩා සමාජය: ලී කීගල් (1T), හෂාන් මධුරංග (2T), සැමුවෙල් මධුවන්ත (1C, 2P)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට