තරගාවලිය ආරම්භයේදීම ජයග්‍රහණය නාවිකයන්ට

550
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භක තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ නාවිකයන් හමුවේ තරග වැදෙමින් ©ThePapare.com

2016/17 ඩයලොග් ලීග් රග්බි තරඟාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරගය අද (4), නාවික හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර එහිදී තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය තමා සතු කරගන්නට ප්‍රබල නාවික හමුදා කණ්ඩායම සමත් වූයේ ලකුණු 29-08ක් ලෙස පොලිස් ක්‍රීඩකයෝ පරාජය කරමිනි.

පසුගිය ලිපි: අනර්ඝ ක්‍රීඩා අත්දැකීමක් යලි තිලිණ කරන්නට රග්බි කෙළිබිම සූදානම්

තරඟය ආරම්භ වන්නට මොහොතකට මත්තෙන් ක්‍රීඩාංගනයේ රැස්ව සිටි සියළු දෙනා නැසීගිය හෙලයේ මහා ගාන්ධර්වයානන් වන පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ වියෝව වෙනුවෙන් මිනිත්තුවක නිහැඬියාවකින් ගෞරව දක්වමින් තරගය ආරම්භ කෙරුනි.

වර්ෂාවෙන් තෙතබරිත වී තිබූ ක්‍රීඩා පිටිය වෙත පය තබා සිටි ක්‍රීඩකයන් තරඟයේ  ආරම්භක සංඥාව නාදවන තෙක් මහත් උද්යෝගයෙන් පසුවිය.

2016/17 ඩයලොග් රග්බි ලීග් පිටුවට පිවිසෙන්න

වර්ෂාවෙන් තෙත් වූ ඕවලාකාර පන්දුව, තරඟය ආරම්භ වී මඳ වේලාවක් යන තෙක් හරිහැටි පාලනය කර ගැනීමට දෙපිලටම අපහසු වූ බවක් දිස්විය. කෙසේ නමුත් නාවික හමුදා කණ්ඩායමේ ඉදිරිපෙල ක්‍රීඩක සත්‍ය රණතුංග, පන්දුව තමා සන්තක කොටගෙන අනෙකුත් නාවිකයන්ගේද සහයෙන් උත්සාහක දිනුම් රේඛාව පසුකර ගොස් මෙවර තරඟාවලියේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නේ තරගයේ 15 වැනි මිනිත්තුවේදී ය. තිලිණ වීරසිංහ විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය (07-00).

ඊට තවත් මිනිත්තු කිහිපයකට පසු තමාද තරඟයට සූදානම් බව දැනුම් දෙමින්, ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නට පොලිස් කණ්ඩායමේ උදාර සූරියප්පෙරුම සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රජිත සන්සෝනි අසමත් විය (07-05).

තරඟයේ මීළඟ මිනිත්තු කිහිපයේදීම පන්දුව දෙපසට දෝලනය වූ අතර පන්දුව ඉහළට යොමු කරමින් හඹා යෑමේ උපක්‍රමය කණ්ඩායම් දෙකම විසින් අනුගමනය කරන්නට යෙදුණේ පන්දුව ලිස්සා යන ස්වභාවයකින් යුක්ත වූ බැවිනි. එනමුත්, නාවික හමුදා කණ්ඩායමේ බුද්ධිම ප්‍රියරත්න පන්දුව තමාට ලැබෙන සෑම අවස්ථාවකදීම සියතේ තබා ගනිමින් ධාවනයේ යෙදුණේය.

පන්දුව දෙපසටම දෝලනය වන පසුබිමක පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකය‍ෙකුගේ අතින් අත්හැරුණු පන්දුව ග්‍රහණය කර ගනිමින් උත්සාහක දිනුම් රේඛාව පසු කළ නාවික හමුදා කණ්ඩායමේ ලී කීගල්, සමස්ත තරඟයේ තෙවන උත්සාහක දිනුමද වාර්තා කළ අතර තිලිණ වීරසිංහ නාවික හමුදාවේ සතුට තවත් ඉහළ නංවමින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදී (14-05).

තරඟයේ 42 වන මිනිත්තුවේදී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් සන්සෝනි පොලිස් කණ්ඩායමට ලකුණු 3ක් එක් කරමින් ප්‍රථම අර්ධය නිමාවට පත් විය (14-08).

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 14 – 08 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ කරමින් පිටියට පිවිසි කණ්ඩායම් දෙක යළිත් වරක් තෙතබරිත පන්දුව එකිනෙකා අතර හුවමාරු කර ගත්  අතර එහිදී පොලිස් කණ්ඩායමේ රධීෂ සෙනවිරත්න අතින් ගිලිහුණු පන්දුවක් සියතට ගෙන උත්සාහක දිනුම් රේඛාව පසු කළ ලී කීගල් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ බව සජීවී ඇසට පෙනුණත් ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි ඉතිහාසයේ ප්‍රථම වතාවට, ඩයලොග් ලීග් තරඟාවලියේදී ක්‍රියාත්මක වන තෙවන විනිසුරු විමසීමේ තාක්ෂණයේ ආනුභාවයෙන් එය උත්සාහක දිනුමක් නොවන බවට සනාථ විය. එය ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි ඉතිහාසයේ ප්‍රථම තෙවන විනිසුරු තීරණය විය.

2016/17 ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ ප්‍රථම කහ කාඩ්පත හිමි වූයේ නාවික හමුදා කණ්ඩායමේ දිනූෂ චතුරංගට ය. අනවශ්‍ය අභියෝග කිරීමක් නිසා මිනිත්තු දහයක් තරඟ පිටියෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.

අනතුරුව නාවික හමුදා ‘ස්ක්රම් හාෆ්’ ක්‍රීඩක රිචඩ් ධර්මපාල ව අනවශ්‍ය ලෙස අභියෝගයට ලක්කළ පොලිස් ක්‍රීඩක සංදේශ් ජයවික්‍රමට ද, විනිසුරු අතින් කහ කාඩ්පතක් නිකුත් විය. එහිදී ලද දඬුවම් පහර සාර්ථක කර ගත් නාවික හමුදාවේ තිලින වීරසිංහ තවත් ලකුණු තුනක් නාවික හමුදාවේ නම අගින් ලියා තබන්නට සමත් වූයේ පෙර වසරේද වැඩිම ලකුණු එක් කරන්නා ලෙස ඔහු දැක්වූ දක්ෂතා සිහිගන්වමිනි (17 – 08).

55 වන මිනිත්තුවේදී සාලිය හඳපාන්ගොඩ අතින් ලද අනගි පන්දු යොමුවක් උත්සාහක දිනුමක් බවට පත්කර ගන්නට නාවික හමුදාවේ රන්ජන් විජේරත්න සමත් වූ අතර තමා විසින් එල්ල කළ පා පහරවල් හතරෙන් හතරම සාර්ථක කර ගනිමින් තිලිණ වීරසිංහ එහි ප්‍රවර්තනයෙන්ද නාවික හමුදාවට තවත් ලකුණු දෙකක් එක් කළේය (24 – 08).

තරගයේ ඡායාරූප ඇල්බමය වෙත පිවිසෙන්න

තරඟයේ 65 වන මිනිත්තුවේදී ද උත්සාහක දිනුමක් වාර්තා කළ නාවික හමුදාවේ චානක චන්දිමාල් ජයග්‍රහණයේ සියළු බලාපොරොත්තු පොලිසිය කෙරෙන් උදුරාගත්තේය. එහි ප්‍රවර්තනය පමණක් තිලිණ ගේ පාදයෙන් ලකුණු බවට පත් නොවිණි (29-08).

කණ්ඩායම් දෙකේම පසුපෙල දක්ෂතා බලාපොරොත්තු වූ මට්ටමේ නොතිබූ අතර ලිස්සන සුළු පන්දුව ග්‍රහණය කර ගැනීමේදී දෙපිලම අපහසුතාවයට පත්විය.

කෙසේ වෙතත් විනිසුරුගේ අවසන් සංඥාව ලැබෙන විට ඩයලොග් ලීග් රග්බි තරඟාවලියට තරඟකාරී ආරම්භයක් ලබා දෙමින් එහි ප්‍රථම තරඟයේ ජය නාවික හමුදාව විසින් අත්පත් කරගත්තේ ලකුණු 29-08ක් ලෙස පොලිස් පිටියේදී පොලිස් කණ්ඩායම පරාජය කරමිනි.

අවසන් ලකුණු – නාවික හමුදා ක්‍රීඩා සමාජය 29 (4T 3C 1P) – 08 පොලිස් ක්‍රීඩා සමාජය (1T 1P)

තරඟාවලියේ තවත් තරඟ දෙකක් හෙට (5) පැවැත්වෙන අතර එහි ප්‍රථම තරගය මහනුවර කණ්ඩායමට එරෙහිව CH & FC කණ්ඩායම මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීත්, ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව හැව්ලොක් කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා පිටියේදීත් තරග වඳිනු ඇත.

විනිසුරු – අරුණ රන්කොත්ගේ.

ThePapare.com තරඟයේ වීරයා – සත්‍ය රණතුංග (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට

තරගයේ සාරාංශය