ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය – සිව්වැනි සතිය

336

නොසිතු විරූ සිදුවීම් වලින් කැළඹුණු දෙවන සතියේ අත්දැකීමෙන් පසු පසුගියදා ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 3වන සති අන්තයට අදාළ තරග අවසන් වූයේද ප්‍රසාද ලකුණු පුවරුව යලිත් තුලනාත්මක ස්ථානයකට ගෙන එමිනුයි.

The Breakdown : Navy tops the table, illegal tackles from CH and Havelock’s

ප්‍රබල කණ්ඩායම් ලෙස සැලකෙන ක්‍රීඩා සමාජ ජයග්‍රාහී අත්දැකීම් ලැබූ එම සතියෙන් පසු හෙටින් ඇරඹෙන සිව්වන සති අන්තය මෙවර තරගාවලියේ තවත්  සති අන්තයක් බවට පත් වීමට වැඩි ඉඩ කඩක් පවතියි. කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය සිව්වන සතියටත් තම අපරාජිත වාර්තාව පවත්වා ගැනීමට සූදානමින් සිටින්නේ මෙවර අභියෝගය CH&FC කණ්ඩායම වීම හේතුවෙනුයි. නමුත් නාවික හමුදාව මෙම සතියේදී යුධ හමුදාව සමඟ තරග වදින අතර පොලිස් කණ්ඩායමේ මෙවර අභියෝගය වන්නේ මහනුවර කණ්ඩායමයි. එමෙන්ම ගුවන් හමුදා කණ්ඩායමට CR&FC කණ්ඩායමෙන් ප්‍රභල අභියෝගයක් එල්ල වනු ඇත.

හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH&FC ක්‍රීඩා සමාජය අතර තරගය
  • තරගය පැවැත්වෙන දිනය – නොවැම්බර් 25 වන සිකුරාදා  
  • තරගය ආරම්භ වන වෙලාව – පස්වරු 6.00
  • තරගය පැවැත්වෙන ස්ථානය – හැව්ලොක් ක්‍රීඩාංගනය – කොළඹ – 05

මෙම තරග වාරයේදීත් ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටින CH&FC කණ්ඩායම තරගාවලිය තුල මෙතෙක් අපරාජිත හැව්ලොක් ක්‍රීඩකයන්ට ඉතා පහසු අභියෝගයක් ලෙස හැඳින්විය හැක. CH කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 3 තුලදීම ප්‍රතිවාදීන්ට ලකුණු 30 ඉක්මවා ලබා ගැනීමට ඉඩ සලසා ඇති අතර තම සත්කාරක ක්‍රීඩාංගනයේ වාසියද සමඟ හැව්ලොක් ක්‍රීඩකයන් CH&FC කණ්ඩායම ලකුණු වර්ෂාවකින් නැහැවීමේ ඉතා ඉහල සම්භාවිතාවක් පවතියි.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල:

  • CH&FC ක්‍රී. ස. 11 – 78 හැව්ලොක් ක්‍රී. ස. (තුරග තරග ක්‍රීඩාංගනය)
  • හැව්ලොක් ක්‍රී. ස.  52-18 CH&FC ක්‍රී. ස. (හැව්ලොක් ක්‍රීඩාංගනය)
අවධානය යොමු වන ක්‍රීඩකයන්

හැව්ලොක් ක්‍රීඩා සමාජය

සුදර්ශන මුතුතන්ත්‍රී – මුතුයන සුරතල් නාමයෙන් හැඳින්වෙන විවෘත පාර්ශවයේ ෆ්ලෑන්කර් ක්‍රීඩක මුතුතන්ත්‍රී පසුගිය සතියේ CR&FC කණ්ඩායම සමඟ පැවති තරගයේදී ඉතා විශිෂ්ට මෙහෙයක් ඉටු කලේ ක්‍රීඩක ගොන්න තුලින් පන්දුව සොරා ගැනීමේ හැකියාව මෙන්ම CR ක්‍රීඩකයන් හට ලකුණු 6ක් පමණක් ලබා ගැනීමට ඉඩ ලබාදුන් හැව්ලොක් ආරක්ෂක පෙළ ශක්තිමත් කිරීමට ලබා දුන් දායකත්වයද හේතුවෙනුයි. මෙම තරගය තුල ඇත්තේ තරමක් වෙනස් අභියෝගයක් වුවද තම පැරණි දක්ෂතා නැවත මතුකර ගැනීමටද ඔහුට මෙහිදී අවස්තාව හිමි වනු ඇත.

ප්‍රසාත් මධුශංක – පසුගිය තරග වාරයේ දී වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රසාත් පසුගිය සතියේදී නැවත ලකුණු ලේඛනයට තම නම ඇතුලත් කර ගැනීමට සමත් විය. තම අපමණ කැපවීමේ ප්‍රතිඵල මෙම තරගයේදී වඩාත් ඉහලින් භුක්ති විඳීමේ හැකියාවක් ප්‍රසාත් සතුවන්නේ තරමක් දුර්වල කණ්ඩායමක් වන CH ක්‍රීඩා සමාජය ප්‍රතිවාදීන් බවට පත්වීම හේතුවෙනුයි.

CH&FC ක්‍රීඩා සමාජය

ප්‍රභාත් ජයලත් – CH&FC එතරම් ඉහල දස්කම් අතර නොසිටියද, සෙන්ටර් ක්‍රීඩක ප්‍රභාත් දැක්වූ දස්කම් පසුගිය තරග වලදී කැපී පෙනෙන ලෙස ඉහල මට්ටමක පැවතුනි. එම දස්කම් තවත් ඔප් නංවාගෙන ප්‍රබල හැව්ලොක් කණ්ඩායමට අභියෝගයක් වීම ඔහුගේ අභිප්‍රාය වනු ඇත.

ඉන්සාම් ඉර්ෆාන් – දැවැන්ත සිරුරකට හිමිකම් කියන ප්‍රොප් ෆොර්වඩ් ක්‍රීඩක ඉර්ෆාන් පසුගිය සතියේ නාවික හමුදාවට එරෙහිව සිත් ගන්නාසුළු දස්කම් අතරට පිවිසුණු අතර මෙම තරගයේදීද ඔහුගෙන් ඉහල දායකත්වයක් බලාපොරොත්තු විය හැක.

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය
  • තරගය පැවැත්වෙන දිනය – නොවැම්බර් 26 වන සෙනසුරාදා
  • තරගය ආරම්භවන වෙලාව – පස්වරු 4.00
  • තරගය පැවැත්වෙන ස්ථානය තුරඟ තරග රග්බි ක්‍රීඩාංගනය – කොළඹ 07

මෙවර තරගාවලිය තුල තවත් අපරාජිත කණ්ඩායමක් වන නාවික හමුදාව මෙම සතියේදී තරග වදින්නේ කිසිසේත්ම අවතක්සේරු කල නොහැකි යුධ හමුදාව සමගයි. යුධ හමුදා කණ්ඩායම පසුගිය සති අන්තයේදී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ විශාල පරාජයකට මුහුණ දුන්නද, නාවිකයන් හට යුධ හමුදා අභියෝගය සුළු කොට තැකීමට හැකියාවක් නැත. පසුගිය සතියේ CH&FC ක්‍රීඩා සමාජය හමුවේ ලද දැවැන්ත ජයග්‍රහණය නාවික හමුදාවට මානසික ශක්තියක් වුවද යුධ හමුදාව සතු නොපසුබස්නා සටන්කාමීත්වය මෙම තරගයට වඩාත් තියුණු බවක් එක් කරනු ඇත.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල:

  • යුධ හමුදාව 30 – 32 නාවික හමුදාව (දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය)
  • නාවික හමුදාව  17 – 18 යුධ හමුදාව (වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනය)
අවධානය යොමු වන ක්‍රීඩකයන්

යුධ හමුදා ක්‍රීඩා සමාජය

චමීර සිල්වා – ආවරණය වූ කලාපයේ ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන චමීර පසුගිය සතියේදීද ලකුණු අතරට පිවිසි අතර සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන නාවික හමුදාව සමඟ තරගයේදී තම දක්ෂතා තවත් වර්ධනය කර ගැනීමට උත්සාහ දරනු ඇත. තරගාවලියට පෙර එතරම් අවධානයකට ලක් නොවූ චමීර පසුගිය සතියේ දැක්වූ දස්කම් හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

නාලක මධුරංග – පසුගිය තරගයේදී යුධ හමුදා ස්ක්‍රම් සැකැස්ම එතරම් සාර්ථක නොවූවත්, ලොක් ෆොර්වඩ් ක්‍රීඩක නාලකගේ දස්කම් එහිදී කැපී පෙනුනි. යුධ හමුදාව බලාපොරොත්තු වන අයුරින් නාවික හමුදා යාත්‍රාව මුහුදුබත් කිරීමට නම් ඔහුගේ දස්කම්ද ඉතා තීරණාත්මක වනු ඇත.

නාවික හමුදා ක්‍රීඩා සමාජය

ධනුෂ්ක පෙරේරා – පසුගිය සතියේ CH&FC කණ්ඩායම පරාජය කිරීම සඳහා ධනුෂ්ක ඉහල දායකත්වයක් ලබා දුන්නේ ප්‍රතිවාදීන් ආක්‍රමණයක් ආරම්භ කරන අවස්ථාවේදීම උපක්‍රමිකව පන්දුව තම කණ්ඩායම වෙත දිනා දෙමිනුයි. එවන් තීරණාත්මක අවස්ථා වලදී තම දස්කම් පෙන්වමින් මෙම සතියත් ජයග්‍රාහීව අවසන් කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ලහිරු හේරත් – තම මංගල අන්තර් සමාජ තරග වාරය ක්‍රීඩා කරන මේ සෙන්ටර් ක්‍රීඩකයා සති 3ක් පුරා ගොඩනගා ගෙන පැමිණි දස්කම් මුදුන් පමුණුවා ගත්තේ පසුගිය සතියේදී ලකුණු ලැයිස්තුවටද සිය නම ඇතුලත් කර ගනිමිනුයි. හේරත් මෙම තරගයේදී ද ලී කීගල් සමඟ එක්ව යුධ හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයන් හට අභියෝගයක් වන්නට හැකියාවක් ඇති ක්‍රීඩකයෙකි.

මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය
  • තරගය පැවැත්වෙන දිනය – නොවැම්බර් 26 වන සෙනසුරාදා
  • තරගය ආරම්භවන වෙලාව – පස්වරු 4.00
  • තරගය පැවැත්වෙන ස්ථානය – මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය – නිත්තවෙල

දෙවන සතියේ ලද අනපේක්ෂිත පරාජයෙන් පසු පසුගිය සතියේදී යලිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයන් මෙම සිව්වන සති අන්තයේදී තරග වදින්නේ මෙවර තරගාවලියේ තවමත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකිව සිටින කණ්ඩායම් දෙකෙන් එකක් වන පොලිස් ක්‍රීඩා සමාජය සමගයි. තම සුපුරුදු නිත්තවෙල ක්‍රීඩාංගනයේදී අපරාජිත මහනුවර කණ්ඩායම පරාජය කිරීම පොලිස් ක්‍රීඩකයන්ට තරණය කිරීමට අපහසු ගිරි දුර්ග සහිත මාර්ගයකි.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල:

  • මහනුවර ක්‍රීඩා සමාජය  44 – 17 පොලිස් ක්‍රීඩා සමාජය (නිත්තවෙල ක්‍රීඩාංගනය)
  • පොලිස් ක්‍රීඩා සමාජය 13 – 50 මහනුවර ක්‍රීඩා සමාජය (බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනය)
අවධානය යොමු වන ක්‍රීඩකයන්

මහනුවර ක්‍රීඩා සමාජය

ෂෙහාන් පතිරණ – හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ෆ්‍ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර ඉන් ඉවත්ව මෙවර මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්වූ පතිරණ සිය පළමු තරගයේදීම මහනුවර 3වන පෙළ ක්‍රීඩකයෙකු ලෙස තම වගකීම් කොටස මනාව ඉටු කරන්නට සමත් විය. නව කණ්ඩායමක් සමඟ පළමු තරගය ක්‍රීඩා කරන බවක් ඔහුගෙන් නොපෙනුණු අතර පොලිස් කණ්ඩායම සමඟ එළඹෙන තරගයේදී ඔහුගේ දස්කම් තවදුරටත් දැකගත හැකි වනු ඇත.

භුවනෙක උදන්ගමුව – මෙම තරග වාරයේදී තම පළමු තරගය පසුගිය සතියේ ක්‍රීඩා කල මේ අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන දැවැන්ත ක්‍රීඩකයා යුධ හමුදාව සමඟ පැවති එම තරගයේදී විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. මෙම සති අන්තයේදීද තම දායකත්වය කණ්ඩායමට ලබා දීමට බලාපොරොත්තුවෙන් පසුවන ඔහුගේ ප්‍රධාන ඉලක්කය වනු ඇත්තේ මෙම තරග වාරය පුරාවටම ආබාධයකට ලක් නොවී ක්‍රීඩා කිරීමයි.

පොලිස් ක්‍රීඩා සමාජය

උදාර සූරියප්පෙරුම – පසුගිය තරග තුනම පරාජය වුවත් ඉන් තරග දෙකකදීම ලකුණු අතරට පිවිසෙන්නට නායක සූරියප්පෙරුම සමත් විය. කෙසේ වෙතත් නිත්තවෙල බලකොටුව තුලදීම මහනුවර කණ්ඩායමට සටනක් දීම ඔහුට සහ කණ්ඩායමට ඉතා අභියෝගාත්මක අත්දැකීමක් වනු නොඅනුමානය.

මුශීන් ෆලීල් – පොලිස් කණ්ඩායම තම ඉදිරි පෙලට පන්දුව යොමු කිරීම පසුගිය තරග තුලදී ඉතා අවම වශයෙන් සිදු කිරීම හේතුවෙන් සෙන්ටර් ක්‍රීඩකයෙකු ලෙස ඉටු කිරීමට වගකීමක් නොමැති වුවත් ෆලීල් පොලිස් ආරක්ෂක පෙළ ශක්තිමත් කිරීම සඳහා ඉහල දායකත්වයක් ලබා දෙන ලදී. කෙසේ වෙතත් මහනුවර කණ්ඩායමට අභියෝග කිරීමට නම් ඔහුගේ සේවය සෙන්ටර් ක්‍රීඩකයෙකු ලෙස ලබා දිය හැකි මට්ටමේ දස්කම් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ගෙන් ලැබීම අනිවාර්ය සාධකයකි.

CR&FC ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය
  • තරගය පැවැත්වෙන දිනය – නොවැම්බර් 27 වන ඉරිදා
  • තරගය ආරම්භවන වෙලාව – පස්වරු 4.00
  • තරගය පැවැත්වෙන ස්ථානය – CR&FC ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය – ලොන්ඩන් පෙදෙස

බෙන් මැක්ඩුගල්ගේ මගපෙන්වීමෙන් සවිමත් වන දක්ෂතා සපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලොන්ඩන් පෙදෙස CR&FC කණ්ඩායම තවමත් සිය විභවය ක්‍රියාවට පරිවර්තනය කරන්නට අසමත් වීම කනගාටුදායක කරුණකි. කෙසේ වෙතත් තරග 3ක් තුල ජයග්‍රහණ 2ක් වාර්තා කරගෙන සිටින ගුවන් හමුදා ක්‍රීඩකයන් CR&FC කණ්ඩායමේ මෙම දුර්වල කාල සමයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරනු ඇත.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල:

  • CR&FC ක්‍රී.ස. 19 – 17 ගුවන් හමුදා ක්‍රී. ස. (ලොන්ඩන් පෙදෙස CR & FC ක්‍රීඩාංගනය )
  • ගුවන් හමුදා ක්‍රී.ස.  15 – 46 CR&FC ක්‍රී. ස. (රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනය)
අවධානය යොමු වන ක්‍රීඩකයන්

CR & FC ක්‍රීඩා සමාජය

ශවුකට් ලාහීර් – ලාහීර් පසුගිය සති කිහිපය පුරාවටම CR කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කිරීමට සමත් වූ අතර පසුපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ආක්‍රමණශීලීභාවය කණ්ඩායමට මහත් ශක්තියක් එක් කළ කරුණක් විය. පසුගිය සතියේදී හැව්ලොක් කණ්ඩායමට දරුණු අභියෝගයක් වූ ලාහීර් මේ සති අන්තයේ එම දස්කම් ගුවන් භටයන්ට එරෙහිවද එලි දැක්වීමට සූදානමින් සිටියි.

රෝවන් පෙරී – ශ්‍රී ලංකාවේදී උපත ලැබීම හේතුවෙන් මෙරට කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ වරම් ලත් පෙරී මේ සතිය තුල CR&FC කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව සිටි අතර ඕස්ට්‍රේලියානු ජාතික 20න් පහල සංචිතයට ක්‍රීඩා කර ඇති ඔහු මේ තරගය සඳහා CR කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයට පත්ව සිටීද යන්න පිලිබඳ බොහෝ ක්‍රීඩා ලෝලීන් දෑස් දල්වා බලා සිටිනු ඇත.