Dialog Rugby League 2016 Kandy vs Havelock

2016/17 තරග සටහනේ පළමු අදියර තුල වඩාත් උද්වේගකර තරගයක් ලෙසත්, කණ්ඩායම් ද්විත්වයටම තම අභිමානය ආරක්ෂා කර ගැනීමේ සටනක් ලෙසත්, ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයකට ලක් වූ මහනුවර ක්‍රීඩා සමාජයත්, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයත්, අතර තරගය අද (18) නිත්තවෙලදී නිමාවට පත් විය. හැව්ලොක්ස් කණ්ඩායමට තම අපරාජිතභාවය රැක ගැනීමත් මහනුවර කණ්ඩායමට පෙර තරග වලදී ලැබූ පරාජයන් වලින් පසුව වුවත් මෙවරත් ලීග් ශූරතාවය වෙනුවෙන් බලාපොරොත්තු රදවා ගැනීමත් යන හේතු නිසා දෙපිලටම තරගය ඉතා වැදගත් තීරණාත්මක තරගයක් විය.

පසුගිය ලිපි: නිත්තවෙල බලකොටුවේ අපරාජිත බව රැකගන්නට උඩරට බලකාය සමත් වෙයි

ලාංකීය රග්බි ඉතිහාසය තුල සුවිශිෂ්ට දක්ෂතා දැක්වු ක්‍රීඩා සමාජ දෙකක් වූ මහනුවර හා හැව්ලොක්ස් අතර වූ මෙම උණුසුම් තරගය හැව්ලොක්ස් අපරාජිත වාර්තාව බිද දමමින් මහනුවර ක්‍රීඩා සමාජයට 39:30ක් ලෙස ජය හිමිකරදෙමින් නිමාවට පත්විය. පලමු අර්ධය නිමාවන විට මහනුවර ක්‍රීඩා සමාජය 22:13ක් ලෙස පෙරමුණ ගෙන තිබුණි.

පලමු අර්ධය ආරම්භ වී පලමු මිනිත්තු 10 නිමා වීමට පෙර හැව්ලොක් කණ්ඩායමට ලකුණු රැස් කිරීම සඳහා පලමු අවස්තාව හිමිකරමින් දඩුවම් පහරක් හිමි විය. එය අසාර්ථක කරගත් දුලාජ් පෙරේරා හැව්ලොක් කණ්ඩායමට පලමු ලකුණ රැස් කිරීම පමා කළේය. එම දඩුවම් පහරට මිනිත්තු කිහිපයකට පසු මීටර් 50 සීමාවට වන්නට තවත් දඩුවම් පහරක් හැව්ලෝක් කණ්ඩායමට හිමිවිය. එය සාර්ථක කරගත් දුලාජ් පෙරේ‍රා හැව්ලොක් පිල තරගයේ 00:03ක් ලෙස ඉදිරියෙන් තැබීය.

ඊට මැනවින් පිළිතුරු සැපයූ මහනුවර ක්‍රීඩකයින් 24 මිනිත්තුවේදී තම පලමුවන උත්සහක දිනුම වාර්තා කරන ලදී. ගයාන් දිසානායක එම උත්සහක දිනුමට හිමිකී අතර එහි ප්‍රවර්තනය තිලින විජේසිංහ විසින් සාර්ථක කරගන්නා ලදී (05:03).

තවත් දඩුවම් පහරක් හැව්ලොක් කණ්ඩායමට මීළඟ මිනිත්තු කිහිපය තුල හිමි වූ අතර එය සාර්ථක කරගැනීමට දුලාජ් පෙරේරාට හැකි වීමත් සමඟම නැවත තරගයේ පෙරමුණට පැමිණිමට හැව්ලොක් කණ්ඩායමට හැකිවිය (05:06).

හැව්ලෝක් කණ්ඩායමට තරගයේ වැඩි වේලා ඉදිරියෙන් සිටීමට මහනුවර ක්‍රීඩක‍යන් ඉඩ දෙනු නොලැබීය. ඔවුන්ට හිමි වූ පලමු දඩුවම් පහර සාර්ථක කරගත් තිලින විජේසිංහ නැවත මහනුවර කණ්ඩායම පෙරමුණට ගෙන එනු ලැබීය (08:06).

තරගයේ අනසක බොහෝ දුරට තම යටතට ගන්නට මහනුවර ක්‍රීඩකයන්ට හැකි වූයේ ඔවුන් දෙවන උත්සහක දිනුම වාර්තා කිරීමත් සමගය. W. ජයසිංහ එම උත්සහක දිනුමට හිමිකම් කී අතර එහි ප්‍රවර්තනය තිලිණ විජේසිංහ විසින් සාර්ථක කරගන්නා ලදී (15:06).

මහනුවර කණ්ඩායම ලබා දුන් ප්‍රබල අභියෝගය මැඩගනිමින් තම පලමුවන උත්සහක දිනුම නිෂෝන් පෙරේරා හැව්ලොක් කණ්ඩායමට වාර්තා කරදෙනු ලැබීය. එහි ප්‍රවර්තනය ජයගත් දුලාජ් පෙරේරා නැවත හැව්ලොක් කණ්ඩායම ප්‍රබල තැනකට ගෙන එන ලදී (15:13).

පලමු අර්ධය නිමා වීම‍ට මිනිත්තු කිහිපයකට පෙර හැව්ලොක් කණ්ඩායමේ ශාරෝ ප්‍රනාන්දු වෙත කහ කාඩ් පතක් එසවීමත් සමගම හැව්ලොක් කණ්ඩායම විශාල පීඩනයකට පත්කෙරීය. එයින් උපරිම ප්‍රයෝජන ලබාගත් මහනුවර කණ්ඩායම එම මිනිත්තු 10 නිමාවීමට පෙර උත්සහක දිනුමක් වාර්තා කරගැනීමට සමත්විය. දමිත් දිසානායක විසින් වාර්තා කල එම උත්සහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිලිණ විජේසිංහ සමත් විය (22:13).

පලමු අර්ධය: මහනුවර කණ්ඩායම 22 – 13 හැව්ලොක් කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භ වී 43 වන මිනිත්තුව පසු වන විටම හැව්ලොක් කණ්ඩායමට හිමි වූ දඩුවම් පහර සාර්ථක කරගැනීමට දුලාජ් පෙරේරා සමත්විය (22:16).

48 වන මිනිත්තුව නිමාවන විටම මහනුවර කණ්ඩායම තම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය පෙන්නුම් කරමින් තම තෙවන උත්සහක දිනුම වාර්තා කල අතර එයට හිමිකම් කියනු ලැබුවේ දමිත් දිසානායකයි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය (27:16).

දෙපිලටම දෝලනය වෙමින් තිබුනු මෙම තරගය නැවත තමන් දෙස හරවා ගැනීමට හැව්ලොක් කණ්ඩායම දැඩි උත්සහයක පසුවිය. එය සාර්ථක කරගැනීමට ලිස්ටන් ෆ්ලැට්නි සමත් වූයේ හැව්ලොක් කණ්ඩායම වාර්තා කල දෙවන උත්සහක දිනුම වාර්තා කරදෙමිනි. එහි ප්‍රවර්තනය දුලාජ් පෙරේරා ලබා ගන්නා ලදී (27:23).

මහනුවර කණ්ඩායම මීලඟ මිනිත්තු 15 තුල උත්සාහක දිනුම් දෙකක් පිට පිට වාර්තා කිරීමට සමත් විය. ලසිත අත්තනගොඩ හා රිචඩ් ධර්මපාල එම උත්සහක දිනුම් වාර්තා ක‍ළෝය. නමුත් තිලිණ විජේසිංහ එයින් සාර්ථක කරගනු ලැබුවේ එක් ප්‍රවර්තනයන් පමණි (39:23).

තරගයේ ජය මහනුවර කණ්ඩායම වෙත හිමිවෙමින් පවතින විට තරගය වෙත නැවත පැමිණීම සඳහා දැඩි උත්සාහයක නිරත වූ හැව්ලොක් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ එක් උත්සහක දිනුමක් හා එහි ප්‍රවර්තනය පමණි.

අවසන් ලකුණු තත්වය: මහනුවර කණ්ඩායමය 39 – 30 හැව්ලොක් කණ්ඩායම

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා : රොෂාන් වීරරත්න

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට