ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය 12 වන සතියටත් ක්‍රියාත්මක වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ සටන තවත් තීව්‍ර කරමිනුයි. මේ සති අන්තයට අදාළ තරග 4ක් හෙට (28) සහ අනිද්දා (29) දෙදින තුල පැවැත්වෙනු ඇත.

ඩයලොග් රග්බි ලීගය – පෙර විපරම – 11වන සතිය

මෙම සතියේ තරඟ 3ක් සෙනසුරාදා දින ද එක් තරඟයක් ඉරිදා දින දී ද පැවැත්වීමට සූදානම් ය. පසුගිය වර ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය පළමු වටයේ දී තරඟ දෙකක් පරාජය වූ නමුත් මෙවරද තම කිරුළ රැක ගත හැකි ස්ථානයක සිටිනු දක්නට ලැබේ.

මෙවර ශූරතාව සඳහා වන සටනේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන කොළඹ හැව්ලොක් සහ මහනුවර ක්‍රීඩා සමාජ ලබන සතියේදී, බොහෝ දුරට ශූරයන් තීරණය කෙරෙන තීරණාත්මක තරගයේදී එකිනෙකා මුණ ගැසීමට පෙර තම දක්ෂතා ඔප මට්ටම් කර ගැනීම සඳහා මෙම සති අන්තයේ තරග උපයෝගී කර ගනු ඇත.

11 වන සතිය අවසානයේ ශූරතා ලකුණු සටහන දැක්වුණේ මෙලෙසින්
DRL Week 11

CR & FC සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ අතර තරගය
Date: 28th January 2017
Time: 4.00pm
Venue: Longdon place

CR Vs Havelocks captains

හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙම සති අන්තයේ තමන්ට අදාළ තරගය සඳහා ජනවාරි 28 වන සෙනසුරාදා දින කොළඹ ලොන්ඩන් පෙදෙස බලා පිටත්ව යාමට නියමිතයි. හැව්ලොක් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 58ක් සමඟින් ලීග් ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. කෙසේ වෙතත් ශූරතාව තමන් සතු කර  ගැනීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම ජය ගත යුතු තරග 3කින් පළමු තරගය ලෙස CR & FC කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරගය හැඳින්විය හැකියි. පසුගිය සතියේ වර්ෂාව මධ්‍යයේ ගුවන් හමුදාව සමඟ පැවති තරගය අතිශය වැදගත් බෝනස් ලකුණක්ද සමඟින් ජයගන්නට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් විය.

CR & FC කණ්ඩායම දෙස බලන කල පසුගිය සතිය ඔවුන්ට හැකි ඉක්මනින් අමතක කල යුතු අත්දැකීමකට මුහුණ දුන් සතියක් වූ අතර ඔවුන් තම සත්කාරක ක්‍රීඩාංගනයේ දී ම යුධ හමුදාව හමුවේ ලැජ්ජාසහගත පරාජයක් අත් විඳින ලදී. කොස්තා සොහොයුරන් හට එම තරගයේදී තම සුපුරුදු දස්කම් අසලටවත් පැමිණෙන්නට නොහැකි වූ අතර පන්දුව රැගෙන ඉදිරියට යාමට නොහැකි වීමත් පා පහර වලදී බොහෝ විට පන්දුව පහසුවෙන්ම ප්‍රතිවාදීන් හට ලබා දීමත් එම තරගයේදී ඔවුන්ගෙන් සිදුවූ ප්‍රධාන අඩුපාඩු විය.

ගුවන් හමුදාව සමඟ තරගයේදී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් තරග ආරම්භය සටහන් කල රාහුල් ද සිල්වා මනා පාලනයකින් යුතු පා පහර මගින් තම කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්ථා විවර කර දුන්නා මෙන්ම මනා පන්දු හුවමාරුවක් තුලින් හැව්ලොක් පෙළට (Line) ක්‍රීඩා කල හැකි ඉඩ කඩ වඩාත් පුළුල් කරන්නට ද සමත් විය.

යුධ හමුදාව සමඟ පැවති තරගයේදී දෙවන අර්ධය තුල CR කණ්ඩායම තුලින් දිස්වූ තරගකාරීත්වය ගොඩ නැගීමේ පුරෝගාමියා වුනේ කවිඳු පෙරේරායි. එබැවින් මෙම තරගයේදී ඔහු  ආරම්භක කණ්ඩායමට ඇතුලත් වීමේ වැඩි ඉඩ කඩක් පවතින අතර ලීග් ශූරතා සටනේ ප්‍රමුඛයන් හට නොසිතූ පරාජයක් අත්කර දීමට නම් කවිඳුගේ වේගය CR කණ්ඩායමට අත්‍යවශ්‍ය වනු ඇත.

ලෝහිත බලකාය සමතලා කළ යුධ හමුදා ප්‍රහාරය

සූක්ෂ්ම සැලසුමක් සහිතව හොඳ සූදානමකින් ලොන්ඩන් පෙදෙසට පැමිණි යුද හමුදාව සාර්ථක මෙහෙයුමකින් පසු CR & FC බලකොටුව යටත් කරගන්නට සමත් විය..

Army vs Navy captains

යුධ හමුදාව සහ නාවික හමුදාව අතර තරගය
Date: 28th January 2017
Time: 4.00pm
Venue: Welisara Ground

නාවිකයන් ජනවාරි 28 වන සෙනසුරාදා තම සත්කාරක ක්‍රීඩාංගනය වන වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයට පැමිණෙන යුධ හමුදා සගයන් පිළිගැනීමේ සූදානමින් සිටියි. පසුගිය සතියේදී, ශූරතා ලකුණු සටහනේ පහතින්ම සිටින CH & FC කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුම් 13ක් වාර්තා කරන්නට සමත් වුවද නාවිකයන් තම ප්‍රතිවාදීන්ට ලකුණු 23ක් ලබා ගැනීමට ඉඩ සලසා දෙන ලදී. එය මෙවර තරග වාරය තුලදී CH කණ්ඩායම වාර්තා කල ඉහලම ලකුණු සංඛ්‍යාව වන අතර නාවිකයන්ට මෙවර සිය ආරක්ෂක ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන්නේ යුධ හමුදා ක්‍රීඩකයන් පාලනය කිරීම වඩාත් ප්‍රබල අභියෝගයක් වන නිසාවෙනුයි.

මේ අතර යුධ හමුදා ක්‍රීඩකයන් පසුගිය සතියේදී CR & FC කණ්ඩායමට එරෙහිව විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පළමු වටයේ දී ඔවුන් හමුවේ ලද එක් ලකුණක පරාජයේ වාඩුව ගැනීමට සමත් විය. මේ අනුව ඔවුන් නාවිකයන්ට එරෙහිවත් එවැනිම තරගයක් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වනු ඇත. මෙහි ඇති සුවිශේෂී කරුණ වන්නේ යුධ හමුදා කණ්ඩායම පළමු වටයේදී නාවික හමුදාව සමඟ පැවති තරගය පරාජය වී ඇත්තේද එක් ලකුණකින් පමණක් වීමයි. එබැවින් CR කණ්ඩායම සමඟ තරගයේදී ලද වාසනාවේ දෙව්දුවගේ සහය මෙම තරගයේදී ද තමන්ට ලැබෙනු ඇති බවට යුධ හමුදාව බලාපොරොත්තු සහගතව පසු වනු ඇති.

මෙවර තරග වාරය ආරම්භයේදී සුපිරි දස්කම් අතර සිටි චානක චන්දිමාල් මේ වන විට මද නිහැඬියාවක් පෙන්නුම් කරන අතර යුධ හමුදා ආරක්ෂක පෙළ බිඳ දමමින් තරගයේ වැඩි වාසි අත්පත් කර ගැනීම සඳහා මේ දක්ෂ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා නැවතත් තම සුපුරුදු දස්කම් අතරට පැමිණීම නාවිකයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවකි.

යුධ හමුදා කණ්ඩායමේ හිටපු නායක අශෝක ජයලාල් CR & FC කණ්ඩායම සමඟ පැවති තරගයේ දී තරගයේ වීරයා ලෙසින්ද තෝරා ගැනුණු අතර ඔහු වාර්තා කල උත්සාහක දිනුම් දෙකට අමතරව සම්පූර්ණ තරගය පුරාවටම පිටියේ සියලුම ස්ථාන වලට තම සහයෝගය ලබා දීමත්, අවශ්‍යතාවක් පැනනැගුණු විට හාෆ් බැක් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමත් කැපී පෙනුනි. එමෙන්ම වරෙක පසු පෙළ ක්‍රීඩකයෙකු ලෙස පාදයෙන් පන්දුව ඉදිරියට යොමු කරමින්ද, තවත් වරෙක පන්දුව රැගෙන මනා පාලනයකින් යුතුව ඉදිරියට ඇදෙමින් ද ඔහු තම වටිනාකම ප්‍රදර්ශනය කරන ලදී.

පොලිස් ක්‍රීඩා සමාජය සහ CH & FC අතර තරගය
Date: 29th January 2017
Time: 4.00pm
Venue: Police Park

Police Vs CH captains

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ශූරතා ලකුණු සටහනේ පහළින්ම පසු වන කණ්ඩායම් දෙක අතර තරගය පැවැත්වෙන්නේ ජනවාරි 29 වන ඉරිදා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදීයි. CH & FC කණ්ඩායම මෙවර තරග වාරයේ මෙතෙක් එකදු තරගයක් හෝ ජය ගෙන නොමැති අතර පොලිස් කණ්ඩායම ලබා ඇති එකම ජයග්‍රහණය පළමු වටයේදී මෙම ප්‍රතිවාදීන්ට එරෙහිව වාර්තා විය. පොලිස් කණ්ඩායම පසුගිය සති අන්තයේ මහනුවර කණ්ඩායම සමඟ පැවති තරගය පරාජය වුවද එහි දෙවන අර්ධයේදී ප්‍රබල මහනුවර ක්‍රීඩකයන්ට ලකුණු 3ක් (එක් දඬුවම් පහරක්) පමණක් ලබා ගැනීමට ඉඩ සලසමින් තම ආරක්ෂක පෙළ ශක්තිය විදහා දක්වන්නට සමත් විය.

CH & FC කණ්ඩායම මෙවර තරග වාරයේ වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 23ක් ලබා ගන්නට පසුගිය සතියේදී සමත් වූ අතර එහි වැඩි ගෞරවය දඬුවම් පහර 6ක් සාර්ථකව එල්ල කල විශ්ව දිනෙත් සතු විය. කෙසේ වෙතත් මෙවර තරග වාරය තුලදී කිසිදු ජයග්‍රහණයකින් තොරව ලතවෙන CH ක්‍රීඩකයන් තමන්ට වඩා එක් පියවරක් පමණක් ඉදිරියෙන් සිටින පොලිස් කණ්ඩායම අභිබවා යාම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිලිබඳ අවධානය යොමු කරනු ඇති.

පොලිස් කණ්ඩායමට මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රධානතම තුරුම්පුවක් වන රදීෂ සෙනෙවිරත්න නොමැතිව ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන්නේ ඔහු පසුගිය තරගයේදී යම් කම්පන තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව යාම හේතුවෙනුයි. පසුගිය තරගයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කල ආරක්ෂක පෙළ ක්‍රීඩක මුශීන් ෆලීල් මෙම තරගයේදී තම දස්කම් තවත් ඔප මට්ටම් කරගෙන ක්‍රීඩා කරනු ඇති.

හැව්ලොක් පෙරමුණ රැක ගනිද්දී මහනුවරිනුත් ප්‍රබල සටනක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ 4 වන සති අන්තයට අදාළ තරග 3ක් ඊයේ පැවැත්විණි…

Kandy Vs Airforce

මහනුවර සහ ගුවන් හමුදාව අතර තරගය
Date: 29th January 2017
Time: 4.00pm
Venue: Nittawela

මහනුවර ක්‍රීඩා සමාජය, පළමු වටයේදී තම ශූරතා ගමන් මාර්ගයට අකුල් හෙලු ගුවන් හමුදා කණ්ඩායම සිය රාජධානියට පිළිගැනීමට නියමිතව සිටින්නේ ජනවාරි 29 වන ඉරිදා දිනයේදීයි.

පළමු වටයේදී ගුවන් හමුදා කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයෙන් පසු මහනුවර ක්‍රීඩා සමාජය ඉතා ප්‍රබල ලෙස තම දස්කම් දියුණු කරගන්නට සමත් වුවත් පසුගිය සතියේ පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දෙවන අර්ධය තුලදී නැවතත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන ලදී. එහි පළමු අර්ධයේදී උත්සාහක දිනුම් 4ක් වාර්තා කලද, දෙවන අර්ධය තුළ එකදු අවස්ථාවකදී හෝ ප්‍රතිවාදී ගෝල රේඛාව පසු කරන්නට නොහැකි වීම මහනුවර කණ්ඩායමේ පසුතැවීමට මෙන්ම ඉදිරිය පිලිබඳ යලි සිතා බැලීමටද තුඩු දුන් කරුණක් විය. එබැවින් ලබන සතියේ හැව්ලොක් කණ්ඩායම සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට පෙර තම සුපුරුදු ක්‍රීඩා විලාශය වෙත පිවිසෙන්නට මහනුවර කණ්ඩායමට ඇති එකම අවස්ථාව මෙයයි. අත්දැකීම් බහුල වීරරත්න ද්විත්වය මෙම තරගයට සහභාගී නොවුවද, මහනුවර ක්‍රීඩා සමාජ සංචිතයට රග්බි කරලියේ බැබලෙන තරු රැසක් අන්තර්ගත වෙයි.

ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරග වාරය පුරාම තම දක්ෂතා වර්ධනය කර ගනිමින් සිටින කණ්ඩායමක් වූ අතර තමන් තවදුරටත් පහසුවෙන් පරාජය කල හැකි කණ්ඩායමක් නොවන බව හඬගා ප්‍රකාශ කළේ මහනුවර කණ්ඩායම පරාජය කිරීමත් සමඟයි. එතැන් පටන් අනෙකුත් සියලුම කණ්ඩායම් ගුවන් හමුදා අභියෝගය වඩාත් ආරක්ෂාකාරීව සලකන අයුරක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් මෙම තරගය පළමු වටයේ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනස් එකක් වන්නේ මහනුවර කණ්ඩායම 2015/16 තරග වාරයේ පටන්ම නිත්තවෙල බලකොටුව තුල පරාජය කරන්නට කිසිවෙකුටත් හැකිවී නොතිබීම හේතුවෙනුයි.

කන්ද උඩරට රග්බි  ප්‍රබලයන්ගේ විශාල ආයෝජනයක් බවට පත්ව සිටින තිලිණ විජේසිංහ මේ වන විට මහනුවර කණ්ඩායමේ අංක 15 ස්ථානය තමන්ගේ අයිතියට පවරාගෙන අවසන්. පසුගිය සතියේ පොලිස් කණ්ඩායම සමඟ පැවති තරගයේ වීරයා ලෙසින්ද ගෞරවයට පාත්‍ර වූ ඔහුගේ ආරක්ෂක ස්ථානගත වීම් සහ ආක්‍රමණශීලී තරග රටා, පන්දුව පාදයෙන් ඉදිරියට යොමු කිරීමට වැඩි නැඹුරුවක් දක්වන ගුවන් හමුදාව සමඟ තරගයේදී වඩාත් ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

අශෝක් විජේකුමාර්, හැව්ලොක් කණ්ඩායම සමඟ පැවති තරගයේදී ඉදිරි පෙළ පන්දු පාලනය, නිවැරදි පන්දු හුවමාරුව මෙන්ම නොවරදින පා පහර ස්ථානගත කිරීම් හේතුවෙන් ගුවන් හමුදා කණ්ඩායමට ආභරණයක් විය. ඔහු නායක ඉද්දමල්ගොඩ සමඟ එක්ව ක්‍රීඩා කරන ආකාරය හිටපු ශූරයන් සමඟ කෙරෙන සටනේදී ගුවන් හමුදා අභියෝගයේ ප්‍රබලත්වය තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වනු ඇති.