හැව්ලොක් පෙරමුණ රැක ගනිද්දී මහනුවරිනුත් ප්‍රබල සටනක්

1016
Dialog Rugby League 2016/17 week 11 Saturday

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ 4 වන සති අන්තයට අදාළ තරග 3ක් ඊයේ පැවැත්විණි. එහිදී මෙවර ශූරතාව සඳහා ප්‍රබල සටනක නිරතව සිටින හැව්ලොක්, මහනුවර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කලේ මෙවර තරගාවලියේ ශූරතා සටන තවත් උණුසුම්  කරමිනුයි.

දෙවන වටයේ තෙවන සතියේ වෙනස් තරග දෙකක්

CR & FC ක්‍රීඩා සමාජය ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ සහභාගී වූ 3 වන තරගයෙන් උත්සාහක දිනුම් 10ක් සමඟ…

මහනුවර ක්‍රීඩා සමාජය ශූරතා බලාපොරොත්තුව රැක ගනී

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ සටන තුළ තවදුරටත් සක්‍රීයව රැඳී සිටින්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. දෙවන අර්ධයේදී තරමක් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළද පළමු අර්ධයේදී සටහන් කර තිබු දස්කම් හේතුවෙන් මේ තරගය ලකණු 34 – 23ක් ලෙස පහසුවෙන් ජයගන්නට ඔවුන්ට හැකියාව ලැබුණි.

රදීෂ සෙනෙවිරත්න සත්කාරකයන් වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ උත්සාහක දිනුමක් වාර්තා කරමින්. කෙසේවෙතත් ඊට මද වෙලාවකට පසු ෂෙහාන් දිමිත්‍රි මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කල අතර තිලිණ විජේසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමත් සමඟ තරගයේ පෙරමුණට පැමිණි කන්ද උඩරට ක්‍රීඩකයින් තරගය පුරාවටම තම ලකුණු වාසිය අහිමි කර නොගැනීමට වග බලා ගන්නා ලදී.

කණ්ඩායම් දෙකම දඬුවම් පහර බැගින් සාර්ථක කර ගැනීමෙන් පසු එළඹුණේ මහනුවර කණ්ඩායමේ ප්‍රබලතම ආක්‍රමණයේ ආරම්භයයි. පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් ඔවුන්  තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තම කණ්ඩායමට එකතු කර ගන්නට සමත් වූ අතර ඒ සියල්ලම තිලිණ වීරසිංහගේ සාර්ථක පා පහර මගින් ගෝල බවට ප්‍රවර්තනය විය.

පළමු අර්ධය : පොලිස් ක්‍රීඩා සමාජය 08 – 31 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලීත්වය තරමක් අඩුවී ඇති බවක් දක්නට ලැබුණි. පොලිස් කණ්ඩායම දඬුවම් පහරක් මගින් ලකුණු පරතරය මදක් අඩු කර ගත්තද වැඩි වෙලා නොගොස් තිලිණ විජේසිංහ මහනුවර කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කලේ ලකුණු පරතරය නැවතත් 23ක් දක්වා ඉහල දමමිනුයි.

අනතුරුව මහනුවර කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් මඟ හැරුණත් පොලිස් කණ්ඩායමට ඒ දැවැන්ත ලකුණු පරතරය පියවන්නට අවස්ථාව හිමිවුණේ නැත. ඔවුන් තරගය අවසන් වීමට පෙර තවත් උත්සාහක දිනුම් 2ක් සහ ප්‍රවර්තනයක් මගින් ලකුණු රැස් කලද, තරගය අවසන් වන විට ඔවුන් පසුවුනේ මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 11ක් පසුපසිනුයි.

අවසන් ලකුණු තත්ත්වය : පොලිස්ක්‍රීඩා සමාජය 23 – 34 මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: තිලිණ විජේසිංහ (මහනුවර)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

මහනුවර ක්‍රීඩා සමාජය
උත්සාහක දිනුම් – ෂෙහාන් දිමිත්‍රි, ෂෙහාන් ලීමා, ධනුෂ් දයාන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර.
ප්‍රවර්තන – තිලිණ විජේසිංහ (4)
දඬුවම් පහර – තිලිණ විජේසිංහ (2)

පොලිස් ක්‍රීඩා සමාජය
උත්සාහක දිනුම් – රදීෂ සෙනෙවිරත්න, රීසා රෆායිඩීන්, රොමේෂ් ආරච්චිගේ
ප්‍රවර්තන – රාජිත සන්සෝනි (1)
දඬුවම් පහර – රාජිත සන්සෝනි (2)


ප්‍රමුඛයෝ පළමු තැන රැක ගනියි.

මෙවර තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය තරග වැදුනේ පෙරළිකාර කණ්ඩායමක් වන ගුවන් හමුදාව සමඟිනි. හැව්ලොක් ක්‍රීඩාංගනයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වුණු මෙම තරගය ප්‍රබල සටනකින් පසු ලකුණු 37ට 29ක් ලෙස ජය ගන්නට සත්කාරකයන් සමත් විය.

අශෝක් විජේකුමාර්ගේ විශිෂ්ට පන්දු භාර දීමකින් පසු ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කලේ කෞෂාල් මනුප්‍රිය විසිනි. ගයන්ත ඉද්දමල්ගොඩ එම උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්තනය ලැබීය. අනතුරුව සත්කාරක හැව්ලොක් කණ්ඩායම ලකුණු සම කලේ කෙවින් ඩික්සන් විසින් භාර දුන් පන්දුව සුදර්ශන මුතුතන්ත්‍රී විසින් උත්සාහක දිනුමක් බවටත්, මෙවර තරගවාරයේ වැඩිම ලකුණු ලාභියා වන දුලාජ් පෙරේරා විසින් ගෝලයක් බවටත් පත් කිරීම සමගයි. (7-7)

යලිත් වරක් අශෝක් විජේකුමාර් උත්සාහක දිනුමක් ලබා ගැනීමේ අවස්ථාවක් නිර්මාණය කල අතර මෙවර එහි අයිතිය හිමි කර ගත්තේ පුෂ්පකුමාර සමරහේවා විසිනුයි. එයද සාර්ථක ප්‍රවර්ථනයක් බවට පත් වු අතර හැව්ලොක් කණ්ඩායම දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට සමත් විය. (10 -14)

පළමු අර්ධයේ අවසන් භාගය වනවිට හැව්ලොක් ක්‍රීඩකයන් පළමු වරට තරගයේ පෙරමුණ ගන්නට සමත් වුනේ ජේසන් මෙල්ඩර් වාර්තා කල උත්සාහක දිනුමක් සහ දුලාජ් පෙරේරාගේ තවත් සාර්ථක ප්‍රවර්තනයක් ආධාරයෙනුයි. (17 – 14)

කෙසේවෙතත් ගුවන් හමුදා ක්‍රීඩකයන්ද තරගය අත්හරින්නට සූදානම් නොවූ අතර පළමු අර්ධය අවසන් වීමට පෙර දඬුවම් පහරක් මගින් ලකුණු සම කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණි.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 17 – 17 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

හැව්ලොක් කණ්ඩායම දෙවන අර්ධය ආරම්භයේ පටන්ම වඩාත් ආක්‍රමණශීලී බවක් පෙන්නුම් කල අතර දෙවන අර්ධය සඳහා ලකුණු ලබා ගැනීම ආරම්භ කලේ දුලාජ් පෙරේරා සාර්ථක කරගත් තවත් දඬුවම් පහරක් මගිනුයි. ගුවන් හමුදාවට යලිත් ලකුණු සම කිරීමේ අවස්ථාවක් හිමිවුවද ගයන්ත ඉද්දමල්ගොඩ හට එම දඬුවම් පහර සාර්ථකව එල්ල කරන්නට හැකි වුනේ නැත. (20 – 17)

මේ වන විට හැව්ලොක් කණ්ඩායම තම තරග රිද්මයට මනාව අවතීර්ණ වී සිටි අතර සුදර්ශන මුතුතන්ත්‍රී මේ තරගයේ තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරද්දී සුපුරුදු පරිදිම දුලාජ් පෙරේරාගේ පා පහරට ඉලක්කය මග හැරුනේ නැත. (27 -17)

හැව්ලොක් කණ්ඩායමේ ලකුණු වාසිය තව දුරටත් වර්ධනය කළ, දුලාජ් තම ලකුණු එකතුව ද, තවත් ලකුණු 3කින් ඉහල දමා ගනිමින් දඬුවම් පහරක් එල්ල කරන්නට සමත් විය. (30 – 17)

හැව්ලොක් ක්‍රීඩාංගනයට වර්ෂාව පතිත වීම ආරම්භයත් සමඟ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ගේ පන්දු පාලනය දුර්වල තත්ත්වයකට පත්වුනද, හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් තවත් වරක් ගෝල රේඛාව පසු කරන්නට සමත් වුනේ ප්‍රසාද් මධුශංක විසිනුයි. දුලාජ් තම පා පහරේ සාර්ථකත්වය 100% ක මට්ටමේ රඳවා ගන්නට සමත් විය. (37 – 17)

ජයග්‍රහණය පිළබඳ බලාපොරොත්තු ගුවන් හමුදා කණ්ඩායමෙන් ගවු ගණනක් දුරින් පවතින බවක් දක්නට ලැබුණු අවස්ථාවකදී, හැව්ලොක් කණ්ඩායමට සුළු තැතිගැන්මක් ඇති කරන්නට ඔවුන් සමත් වුනේ අවසන් මිනිත්තු කිහිපය තුල උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමිනුයි. ගයන්ත ඉද්දමල්ගොඩ එහි පළමු අවස්ථාව සාර්ථකව ප්‍රවර්තනය කලද, දෙවන ප්‍රවර්තනය ඔහුගෙන් ගිලිහී ගියේ ලකුණු 7කට අඩු පරතරයකින් තරගයක් පරාජය වූ විට හිමිවන බෝනස් ලකුණ ද ගුවන් හමුදාවට අහිමි කරමින්. (37 – 29)

ගුවන් හමුදාව තම ක්‍රීඩා ලෝලීන් තුළ මද වෙලාවකට බලාපොරොත්තු දල්වන්නට සමත් වුවද, විනිසුරු ඩින්කා පීරිස්ගේ නලාවෙන් දීර්ඝ සංඥාවක් නිකුත් වුනේ, හැව්ලොක් කණ්ඩායමට වෙහෙසකර මිනිත්තු කිහිපයක සහ තවත් ජයග්‍රාහී තරගයක අවසානය සනිටුහන් කරමිනුයි.

අවසන් ලකුණු තත්ත්වය : හැව්ලොක් ක්‍රීඩා සමාජය 37 – 29 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 29

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

හැව්ලොක්

උත්සාහක දිනුම් : සුදර්ශන මුතුතන්ත්‍ර 2, ප්‍රසාද් මධුසංක, ජේසන් මෙල්ඩර්
ප්‍රවර්තන : දුලාජ් පෙරේරා 4
දඬුවම් පහර : දුලාජ් පෙරේරා 3

ගුවන් හමුදාව

උත්සාහක දිනුම් : කෞෂාල් මනුප්‍රිය 2, පුෂ්පකුමාර සමරහේවා, තිළිණ බණ්ඩාර
ප්‍රවර්තන : ගයන්ත ඉද්දමල්ගොඩ 3
දඬුවම් පහර : ගයන්ත ඉද්දමල්ගොඩ 1


නාවික හමුදා ලකුණු වැස්සෙන් CH & FC සෝදාපාලු වෙයි

මහනුවර කණ්ඩායම හමුවේ මුහුණදුන් දරුණු පරාජයකට පසු නාවික හමුදා ක්‍රීඩකයන් මේ සති අන්තයේදී දැවැන්ත ජයග්‍රහණයක් සමගින් ශූරතා බලාපොරොත්තුව යන්තමින් හෝ රඳවා ගන්නට සමත් විය. මෙවර තරග වාරයේදී ජයග්‍රහණයක පහස විඳින්නට තවමත් නොහැකිවූ CH & FC කණ්ඩායමට එරෙහිව නාවිකයන් උත්සාහක දිනුම් 13ක් වාර්තා කරද්දී තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 81 – 23 ක් ලෙසිනුයි.

ලොන්ඩන් පෙදෙස CR & FC ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ ආරම්භයේ පටන්ම නාවික හමුදා ආධිපත්‍ය දක්නට ලැබුණු අතර පළමු අර්ධය තුල උත්සාහක දිනුම් 7ක් නාවිකයන් වෙනුවෙන් වාර්තා විය. ඉන් අවස්ථා 5ක ප්‍රවර්තන තිලිණ වීරසිංහ විසින් සාර්ථක කර ගනිද්දී, CH & FC කණ්ඩායම වෙනුවෙන් එක් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ආකාශ් ඉද්දවල සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක වුවද දඬුවම් පහර 3ක් මගින් තවත් ලකුණු 9ක් රැස් කරන්නට විශ්ව දිනෙත් සමත් විය.

පළමු අර්ධය : CH & FC 14 – 45 නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේදීම නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කහ කාඩ්පතක් ලැබූ අතර CH කණ්ඩායම එම අවස්ථාවේ ලැබුණු දඬුවම් පහරද සාර්ථකව එල්ල කරන ලදී. කෙසේවෙතත් ඉන් අනතුරුව නාවිකයන් යලිත් තම උත්සාහක දිනුම් සැණකෙළිය ආරම්භ කල අතර චානක චන්දිමාල් තම උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කරන්නට සමත් විය.

CH ක්‍රීඩකයන් තරගය අවසන් වීමට මත්තෙන් තවත් දඬුවම් පහර 2ක් සාර්ථක කර ගනිද්දී, නාවිකයන් දෙවන අර්ධය තුල වාර්තා කළ උත්සාහක දිනුම් සංඛ්‍යාව 6ක්. ඉන් අවසන් උත්සාහක දිනුම් දෙකේම හිමිකරුවා වූ දිනුෂ චතුරංග මෙම තරගය තුල රැස් කල සම්පූර්ණ උත්සාහක දිනුම් සංඛ්‍යාව 4ක්.

දෙවන අර්ධයේදී තිලින වීරසිංහ ප්‍රවර්ථන 3ක් සාර්ථක කර ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය : CH & FC 23 – 81 නාවික හමුදා ක්‍රීඩා සමාජය    

ThePapare.com තරගයේ වීරයා: දිනුෂ චතුරංග (නාවික හමුදාව)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

CH & FC – 23
උත්සාහක දිනුම් : ආකාශ් ඉද්දවල
දඬුවම් පහර : විශ්ව දිනෙත් (6)

නාවික හමුදාව
උත්සාහක දිනුම් : දිනුෂ චතුරංග (4), චානක චන්දිමාල් (3), දුලංජන විජේසිංහ (2), නිවංක ප්‍රසාද්, ලහිරු හේරත්, සුපුන් දිල්ශාන්, තිලිණ වීරසිංහ
ප්‍රවර්තන : තිලිණ වීරසිංහ (8)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට