ලෝහිත බලකාය සමතලා කළ යුධ හමුදා ප්‍රහාරය

1635
Army SC v CR&FC

සූක්ෂම සැලසුමක් සහ හොඳ සූදානමකින් ලොන්ඩන් පෙදෙසට පැමිණි යුධ හමුදාව, සාර්ථක මෙහෙයුමකින් පසු CR & FC බලකොටුව යටත් කරගන්නට සමත් විය. ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට අදාලව පැවති මේ තරගයෙන් යුධ හමුදා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 24 – 20ක් ලෙසිනුයි. යුධ සෙබළුන් ගෝල 3ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කරද්දී, සත්කාරක CR කණ්ඩායමට වාර්තා කරන්නට හැකි වුනේ ගෝල දෙකක් සහ  දඬුවම් පහර දෙකක් පමණයි.

විවෘත රග්බි තරගයක් සඳහා හොඳින් ගැලපෙන කාලගුණ තත්ත්වයක් පැවති CR ක්‍රීඩාංගනයේ තරග ආරම්භයට පෙර සිරුරු උණුසුම් කිරීමේ ව්‍යායාම වල සිටම යුධ හමුදා කණ්ඩායමෙන් හොඳ පෙර සූදානමක සහ අධිෂ්ඨාන සහගත බවක පෙර ලකුණු දිස් විය. සත්කාරක කණ්ඩායම තුලින්  ප්‍රතිවිරුද්ධ සූදානමක සලකුණු දිස්වෙද්දී තරගය ආරම්භයේ සිටම දක්ෂ ලෙස පන්දුවේ පාලනය තමන් සතු කර ගන්නට යුධ හමුදා ක්‍රීඩකයන් හට හැකි විය.

මුල් මිනිත්තු කිහිපය තුල පන්දුව CR ක්‍රීඩකයන් අත පැවතුනද එම අවස්ථා ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට තරම් නිර්මාණශීලී ක්‍රීඩා විලාශයක් ප්‍රකට නොකිරීම හේතුවෙන් යුධ හමුදාවට වඩාත් පහසුවෙන් තරගය තම ග්‍රහණයට ගන්නට හැකියාව ලැබුණි. ක්‍රීඩාංගනයේ සම්පූර්ණ පළල භාවිත කරමින් ප්‍රතිවාදී ආරක්ෂකයන් විසිරුවා හැරීමට කටයුතු කල යුධ සෙබළුන්, ඔවුන්ගේ මීටර් 22 සීමාව තුලට ඇතුළු විය. එම සීමාවේ පන්දුව මානාව හසුරුවමින් සිටි යුධ හමුදාව වෙනුවෙන් අවස්ථාව ලද සැනින් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සම්පත් රෝසා සමත් විය. විශාල සිරුරකට හිමිකම් කියන රෝසා තම ශක්තියෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයන් තල්ලු කරගෙන මෙන් ගෝල කණු අතරින්ම පන්දුව පතිත කිරීමෙන් පසු එහි ප්‍රවර්තනය පහසුවෙන්ම එල්ල කල ගයාන් සාලින්ද යුධ හමුදාවට ලකුණු 7-0 ක වාසියක් හිමි කර දෙන ලදී.

අනතුරුව නැවත වරක් පන්දුවේ අයිතිය හිමිකර ගත් සත්කාරකයන් හට ප්‍රතිවාදී ගෝල සීමාව ආක්‍රමණය කරන්නට නොහැකි වූයේ යුධ හමුදාවේ ආරක්ෂක ක්‍රීඩකයන්ගේ දක්ෂතා මෙන්ම තම කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශයද හේතු කොට ගෙනයි. මේ අතර 25 වන මිනිත්තුවේදී ෆුල් බැක් ක්‍රීඩක ප්‍රින්ස් චාමර හට මීටර් 35ක පමණ දුරකින් ලැබුණු දඬුවම් පහරක් ද ගිලිහී යන ලදී.

යලිත් වරක් පන්දුවේ පාලනය සියතට ගැනීමට ලද සුළු අවස්ථාවකින් ප්‍රයෝජන ගත් යුධ හමුදා කණ්ඩායම තම ලකුණු සංඛ්‍යාව දෙගුණ කර ගත්තේ ප්‍රොප් ක්‍රීඩක අශෝක ජයලාල් ගෝල කණු අසලම වාර්තා කල උත්සාහක දිනුමක් ගයාන් සාලින්ද නැවත වරක් සාර්ථකව ප්‍රවර්ථනය කිරීමත් සමඟයි.

CR ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු අත්හැර ඇති බවක් පෙනෙන්නට තිබූ මොහොතක සශාන් මොහොමඩ් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු යලිත් පුබුදු කරන්නට සමත් විය. ප්‍රින්ස් චාමර ඊට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ පළමු අර්ධය අවසන් වුනේ කණ්ඩායම් දෙක අතර ලකුණු වෙනස 7කට සීමා කරමිනුයි.

පළමු අර්ධය අවසානයේ ලකුණු තත්ත්වය : CR & FC 07 – යුද හමුදා ක්‍රී. ස. 14

සත්කාරක CR කණ්ඩායම දෙවන අර්ධයට පිවිසුනේ වඩාත් ආක්‍රමණශීලී විලසිනුයි. එම ආක්‍රමණශීලීත්වයට ක්ෂණික ප්‍රතිඵල ලැබුණු අතර 45 වන මිනිත්තුවේදී ලද දඬුවම් පහරක් මගින් ලකුණු වෙනස 4ක් දක්වා පහල දමා ගන්නට ප්‍රින්ස් චාමරට හැකි විය. (CR 10 – යුධ හමුදාව 14)

කෙසේවෙතත් යුධ හමුදා කණ්ඩායමට නැවත තරගයට පිවිසීම සඳහා අවශ්‍ය වුනේ CR කණ්ඩායමේ සුළු අඩුපාඩුවක් සොයා ගැනීම පමණයි.

හැව්ලොක් පෙරමුණ රැක ගනිද්දී මහනුවරිනුත් ප්‍රබල සටනක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ 4 වන සති අන්තයට අදාළ තරග 3ක් ඊයේ පැවැත්විණි. එහිදී මෙවර ශූරතාව…

50 වන මිනිත්තුවේදී පමණ යුධ හමුදා සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක තල්වත්ත CR ආරක්ෂක පෙළ බිඳ දමමින් ඉදිරියට ඇදීගිය අතර දර්ශනීය පන්දු හුවමාරුවකින් පසු තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට අශෝක ජයලාල් සමත් විය. නැවත වරක් ගෝල කණු අතරින්ම පන්දුව පතිත කිරීම හේතුවෙන් ගයාන් සාලින්ද හට මෙම ප්‍රවර්තනය ද කිසිදු අභියෝගයක් නොවීය. (CR  10 – යුද හමුදාව 21)

මිනිත්තු 5ක් ඇතුලත කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෙකු බැගින් කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත් වූ අතර එහිදී හිමිවූ දඬුවම් පහරක් මගින් යුධ හමුදා ක්‍රීඩකයන් තම ලකුණු වාසිය තවත් ඉහල දමා ගන්නට සමත් විය. (CR 10 – යුධ හමුදාව 24)

මිනිත්තු 10කට පිටියෙන් ඉවත් කරනු ලදුව සිටි ඔමල්ක ගුණරත්න තම නැවත පැමිණීම සටහන් කලේ සත්කාරකයන් වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කරමිනුයි. එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කල කවිඳු ද කොස්තා මිනිත්තු 5කට පසු දඬුවම් පහරක්ද සාර්ථක කර ගන්නට සමත් විය. (CR 20 – යුද හමුදාව 24)

මේ සමඟම සත්කාරක CR කණ්ඩායම මහත් ජවයකින් යුතුව ක්‍රීඩා කරන අයුරක් දක්නට ලැබුනද ඔවුන් තරග ජයග්‍රහණය සඳහා තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හරස් වුනේ කාලයයි. විනිසුරු තරග අවසන් සංඥාව නිකුත් කරන විට යුධ හමුදා ක්‍රීඩකයින් ලකුණු 4ක් ඉදිරියෙන් පසුවූ අතර මෙම ජයග්‍රහණයත් සමඟම මෙවර තරගාවලියේ පළමු කණ්ඩායම් 4 අතර රැඳී සිටීමේ ප්‍රබල අවස්ථාවක්ද ඔවුන්ට හිමි විය.

අවසන් ලකුණු තත්ත්වය : CR & FC 20 – යුද හමුදා ක්‍රී. ස. 24

Thepapare.com තරගයේ වීරයා : අශෝක ජයලාල්  (යුද හමුදා ක්‍රී.ස.)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

CR & FC: 20 (07)

උත්සාහක දිනුම් : මොහොමඩ් සශාන් , ඔමල්ක ගුණරත්න
ප්‍රවර්ථන : ප්‍රින්ස් චාමර  (1), කවිඳු ද කොස්තා  (1)
දඬුවම් පහර : ප්‍රින්ස් චාමර  (1), කවිඳු ද කොස්තා  (1)

යුද හමුදා ක්‍රී. ස.  : 24 (14)

උත්සාහක දිනුම් : අශෝක ජයලාල්  (2), සම්පත් රෝසා
ප්‍රවර්ථන : ගයාන් සාලින්ද  (3)
දඬුවම් පහර : ගයාන් සාලින්ද (1)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට 

WATCH MATCH REPLAY