රුවන්වැල්ල රාජසිංහ, සීදුව දවිසමර, කැෂුවල් ලයින් සහ ඇහැලියගොඩ ධර්මපාල 22න් පහල ශුරතාවයට සූදානම්

1077
Dialog President's Cup VolleyballDialog President's Cup Volleyball

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට (07) මහරගම දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර අවසන්ය. තරගාවලිය වයස 22න් පහල සහ විවෘත ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වෙන අතර 22න් පහල අංශයෙන් අවසන් තරගය නියෝජනය කරන්නට පිරිමි අංශයෙන්, රුවන්වැල්ල රාජසිංහ සහ සීදූව දවිසමර ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා ඇති අතර කාන්තා අංශයෙන්, කැෂුවල් ලයින් සහ රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටියි.

පසුගිය ලිපි: කටාන එක්සත්, දෙබෑගම රන්තරු, කැෂුවල් ලයින් සහ කොස්වාඩිය විජය අවසන් මහා සටනට

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමස්ත ලංකා…

පිරිමි කණ්ඩායම්

සීදූව දවිසමර කණ්ඩායම

පාසල් වොලිබෝල් පිටියේ කලක් පුරාවට සිය අණසක පතුරුවාගෙන සිටින කණ්ඩායමක් ලෙස සීදූව දවිසමර ක්‍රීඩා සමාජය හැඳින්විය හැක. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ක්‍රීඩකයින් රැසක් බිහිකිරීමට සමත්ව ඇති මොවුන් අවසන් පූර්ව තරගයේදී හුංගම විජයබා ක්‍රීඩා සමාජය 17/25, 18/25,16/25ක් ලෙස පරාජය කරමින් අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ප්‍රබල ක්‍රීඩකයන්

මෙම කණ්ඩායමේ 12 දෙනා අතුරින් 2012 දී ඉරානයේ සංචාරය කළ යොවුන් ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන්නට නායක ඉසුරු මධුශාන්, මධුක දිල්ශාන්, අයේෂ් දිල්ශාන් සමත්ව ඇත.

තවද 2014 බහරේන් යොවුන් සංචාරයට එක්වූ හරිත හෂාන් සහ ධනුෂ්ක දිල්ශාන් ද ඔවුන් සතුය.

2014 ආසියානු යොවුන් වොලිබෝල් තරඟාවලියට එක්වූ චාමික සඳරුවන්, රෙහාන් මධුශංක, මිහිරංග උදයකුමාර, ඉසුරු සංජුල ද දවිසමර කණ්ඩායම නියෝජනය කරන්නන්ය.

2014 තායිලන්තයේදී පැවති යොවුන් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කළ බීච් වොලිබෝල් කණ්ඩායමට ඉසුරු මධුශාන්, චාමික සඳරුවන් එක්ව සිටියේය. චීනයේදී පැවති එහි දෙවන තරඟාවලියටද ඔවුන් දෙදෙනාම ඇතුලත් විය.

2016 සාග් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම ලබා ගත් ඉසුරු මධුශාන් සහ අයේෂ් දිල්ශාන් ද සතුවන්නේ ඔවුන්ටය. එහෙයින් කිසිසේමත් ප්‍රතිවාදීන් සුළුකොට තැකිය හැකි කණ්ඩායමක් ලෙස මොවුන් අවිවාදයෙන්ම නම් කල හැකිය.

සංචිතය.

ඉසුරු මධුශාන් (නායක), ධනුෂ්ක දිල්ශාන්, හරිත හෂාන්, අයේෂ් දිල්ශාන්, චාමික සඳරුවන්, රෙහාන් මධුශංක, මිහිරංග උදයකුමාර, ඉසුරු සංජුල, රවිඳු කාවින්ද

  • පුහුණුකරු – චමින්ද ලක්ෂාන්
  • සහය පුහුණුකරු – දමිත් සිල්වා, නුවන් සමීර


රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම

වත්මන් ජාතික කණ්ඩායමට නවක ක්‍රීඩකයන් දායාද කරනා ප්‍රභවයක් ලෙස සැලකෙන රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායම ඩයලොග් රන් කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තේ හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය තරගවට 3:2ක් ලෙස පරාජය කරමිනි. කෙසේවෙතත් කණ්ඩායම් වටයේදී දවිසමර කණ්ඩායම හමුවේ වට 3:2ක් ලෙස පරාජය වන්නට ඔවුන්ට සිදුවුවත්, අවසන් තරඟයේදී ඒ වාඩුව ගැනීමේ පරම අභිප්‍රායෙන් ඔවුන් පසුවෙයි.

ප්‍රබල ක්‍රීඩකයන්

රුවක්ෂාන් ඔබේසේකර සහ හෂාන් කවිඳු, 2012 පැවති ආසියානු යොවුන් වොලිබෝල් තරඟාවලිය නියෝජනය කර ඇත. 2014 දී ආසියානු තරඟාවලිය නියෝජනය කරමින් ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගන්නට සමත් විය.

නදීර දිල්ශාන් සහ නිශාන් කොඩිසිංහ 2014 ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ අයවළුන් වන අතර මින් නිශාන් කොඩිසිංහ විදුලි බල මණ්ඩල කණ්ඩායම ද නියෝජනය කරන කෙටි පන්දු ප්‍රහාරකයෙකි. වොලිබෝල් ක්‍රීඩාවට ලබා ඇති ප්‍රසිද්ධියත්, දායදකර ඇති ක්‍රීඩකයින්ගේ ගෞරවයත් පෙරදැඩි කර ගනිමින් ඔවුන් අවසන් තරගයේදී ප්‍රතිවාදීන් හට දැවැන්ත අභියෝගයක් එල්ල කරනු ඇත.

සංචිතය

රුවක්ශාන් ඔබේසේකර (නායක), හෂාන් කවිඳු, අමිල මලින්ද, රවිමාල් ජනරංජන, රවිඳු මධුශාන්, නිශාන් කොඩිසිංහ, කනිෂ්ක චාමර, රවිශාන් ගුණරත්න, කුලාර චන්ද්‍රසිරි, කාවින්ද බණ්ඩාර, චමෝද් භාතිය, නදීර දිල්ශාන්.

  • පුහුණුකරු – චමින්ද ජයරත්න

කාන්තා කණ්ඩායම්

කැෂුවල් ලයින් කාන්තා කණ්ඩායම

Dialog President's Cup Volleyball
වයස අවරුදු 22න් පහල අංශය නියෝජනය කරනා කැෂුවල් ලයින් ක්-රීඩිකාවන්ගේ සමූහ ඡායාරූපයක්

මෙවර මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරඟයද නියෝජනය කළ කැෂුවල් ලයින් කණ්ඩායම, යොවුන් කණ්ඩායමක් ලෙස රට පුරා පැවති තරඟාවලි කිහිපයකදීම දක්ෂතා දක්වන්නට සමත් විය.

2013, 2014, 2015, 2016 වර්ෂ වලදී වෙළඳසේවා ශූරියන් බවටද ඔවුන් පත්විය. 2016 රූපවාහිනී වොලිබෝල් තරඟාවලියේද තෙවන ස්ථානය දක්වා පැමිණි ඔවුන් මෙවර ඩයලොග් රන් කුසලානය සියතට ගැනීමේ බලාපොරොත්තුවෙන් අවසන් මහා සටනට පිවිසෙන්නේ රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය තරගවට 3:1ක් ලෙස පරාජය කරමිනි.

ප්‍රබල ක්‍රීඩිකාවන්

20 හැවිරිදි තක්ෂිලා මධුරංගි, මෙරට නැගී එන ක්‍රීඩිකාවන් අතුරින් ජාතික කණ්ඩායම පවා නියෝජනය කරන ක්‍රීඩිකාවක් වූවත් වෙළඳසේවා තරඟාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් අවසන් තරඟයට අවසනාවන්ත ලෙස සහභාගී වන්නේය.

නමුත් අනුරිෂා චතුනි, අමානි කෞශල්‍යා ශ්‍රී ලංකා කාන්තා කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය ක්‍රීඩිකාවන් වන අතර ඡායා සංජීවනී කණ්ඩායමේ නායකත්වයද දරන අතර ඈ වෙළඳ සේවා වොලිබෝල් පිටියේ ප්‍රබල ක්‍රීඩිකාවක් සේ හැඳින්විය හැක.

අපිත් ප්‍රතිවාදී කණ්ඩායමත් එකම වයස් මට්ටම් වල අය .අපි හොඳින් පුහුණුවීම් වල නිරත වුනා. හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයාලා ළඟ ජාතික ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ඔවුන්ගේ අවහිරයනුත් (blocks) හොඳයි. තක්ෂිලා නැතිව ක්‍රීඩා කරන්න වෙන එකත් අභියෝගයක්. ඒත් අපි පසුබසින්නේ නෑ.” යැයි ThePapare.com හා අදහස් දැක්වූ චායා පැවසුවාය.

සංචිතය

චායා සංජීවනී (නායිකා), තක්ෂිලා මධුරංගි, කුසුම් කුමාරි, කෞශල්‍යා දිල්හානි, සංජීවනී වික්‍රමසිංහ, අනුරිෂා චතුනි, දිල්හානි මධුෂිකා, අමානි කෞශල්‍යා.

  • පුහුණුකරු – ආනන්ද වන්නිතිලක
  • සහය පුහුණුකාරිනී – රේණුකා නිල්මිණි


ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය

පාසල් කණ්ඩායමක් ලෙස දිවයිනේ නමක් දිනාගත් ධර්මපාල කණ්ඩායම අවසන් පූර්ව තරඟයේදී, මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේදී ආධුනික අංශයෙන් ශූරියන් වූ බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් මහා සටනට පිවිසියේ තමන් සතුව ඇති දක්ෂතාද සපථ කරමිනි.

ප්‍රබල ක්‍රීඩිකාවන්

නායිකා නිර්මාණි සුලෝචනා, 2014 ආසියානු පාසල් ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. ඇය 2014 ආසියානු බීච් වොලිබෝල් තරඟාවලිය ද නියෝජනය කළාය.

කවීෂා ලක්ෂානි, 2012 යොවුන් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළාය. 2014 කනිෂ්ඨ ජාතික සංචිතය නියෝජනය කරන්නටද ඈට හැකිවිය.

චමලි සංජුලා ද කනිෂ්ඨ ජාතික සංචිතය නියෝජනය කර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවකි.

පුහුණුවෙන්න ලොකු කාලයක් ලැබුණේ නෑ. අපි ඉන්නෙ එක තැනක නෙමෙයි. විභාග කටයුතුත් තිබුණා. ඒත් අපි දිනන්න බලනවා. ඊටත් වඩා වැදගත් වෙන්නේ හොඳින් සෙල්ලම් කරන එකයි.” ඒ නිර්මාණි ගේ අදහසයි.

සංචිතය

නිර්මාණි සුලෝචනා (නායිකා), කවීෂා ලක්ෂානි, සඳුනි දිනේශිකා, චමලි සංජුලා, හර්ෂනී සෙව්වන්දි, ශෂිකා රවින්දි, සචී නදීශිකා, කුෂානි මධුමේඛලා, කෝසලා සෙව්වන්දි, එරන්දි මධුෂිකා.

  • පුහුණුකරු – සනත් බණ්ඩාර
  • සහය පුහුණුකරු – පද්මතිලක