විජය සමඟ ක්‍රීඩිකාවන් සත්සමුදුර තරණය කරයි

377
Wijaya SC - Open Women's Champions (2017 Dialog President's Gold Cup)

අත්දැකීම් සහ පීඩනය පාලනය වොලිබෝල් ක්‍රීඩාවට කෙතරම් වැදගත් දැයි පෙන්වමින්, ඩයලොග් ජනාධිපති රන් කුසලානයේ විවෘත කාන්තා අවසන් මහා තරගය අද (18) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අවසන් විය. අවසන් මහා තරගයේ දී සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පරයමින් ශූරතාවය දිනා ගැනීමට කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සමත් විය.

නාවික‍ සිහින ගුවනේ‍ පාවී‍ යයි‍

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල්..

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය නොකඩවා ඩයලොග් ජනාධිපති රන් කුසලානය දිනාගත් සත්වැනි අවස්ථාව මෙයයි. එහෙත් කලින් වසරවල දී මෙන් මෙම වසරේ දී ශූරතාවය කරා යෑම ඔවුනට පහසු නොවීය.

පළමු වටය ඇරඹී පළමු තාක්ෂණික කෙටි විවේකය වෙද්දී කපිල ක්‍රීඩා සමාජය අභිබවමින් කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන් ඉදිරිය ලබාගෙන තිබුණි. ලකුණු තත්වය දිස්වුණේ 08-03ක් වශයෙන්. කෙසේ වෙතත් වසර 06ක අඛණ්ඩ ශූරියන් වන කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන් ඉක්මණින් ලකුණු රැස්කිරීමට සමත් වුනේ දිනේෂා ප්‍රසාදනී (ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා) සහ රිද්මි සකුන්තලාගේ (ශ්‍රී ලංකා 22න් පහළ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකා) දායකත්වය ද සමඟයි. පළමු වටය කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය ජය ගත්තේ ලකුණු 25-11ක් වශයෙන්.

දෙවන වටය විජය ක්‍රීඩා සමාජයට එතරම් පහසු වූයේ නැත. සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය ලකුණු 11-09ක් වශයෙන් ඉදිරිය ලබාගෙන තිබුණි. නමුත් විජය ක්‍රීඩා සමාජය ලකුණු සමකරගන්නට සමත් වුනේ ඉක්මන් ක්‍රීඩා රටාවකින්. පසුව ලකුණු 15-13ක් ලෙස නැවතත් පරතරයක් නිර්මාණය කරගන්නට කපිල ක්‍රීඩා සමාජය සමත් විය. එතැන් සිට දර්ශනීය රැළියක් දක්නට ලැබුණු අතර එය අවසන් වුනේ දිනේෂාගේ පහරක් සමඟිනි.

චන්දිමා අකරවිට වැනි ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් ද සමඟින් පරතරය ලකුණු 4ක් දක්වා වැඩිකරගන්නට ද කපිල ක්‍රීඩිකාවන් සමත් විය. පසුව චතුරිකා රණසිංහ දස්කම්වලට අවතීර්ණ වූ පසු කපිල ක්‍රීඩා සමාජයේ ලකුණු 18 හඹාඑමින් ලකුණු 17ක් දක්වා ලංවන්නට විජය ක්‍රීඩා සමාජය සමත් විය.

දෙ‍ව‍ර‍ක්‍ ඇ‍ණ‍හි‍ටි වි‍දු‍ලි‍බ‍ල‍ය හා‍ තෙ‍ව‍ර‍ක්‍ පැ‍ර‍දු‍ණ යු‍ධ‍ බ‍ල‍ය‍

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල්..

කෙසේ වෙතත් කපිල ක්‍රීඩා සමාජය ලකුණු 24ක් ලබා තරගය අවසන් කරන්නට ඔන්න මෙන්න තිබිය දී විජය ක්‍රීඩා සමාජය ලකුණු 19 සිට ඉදිරියට පැමිණ ලකුණු සමකළේ චතුරිකා සහ දිනේෂාගේ වේගවත් ප්‍රහාරයන් සමඟයි. පසුව විජය ක්‍රීඩිකාවන් ලකුණු 27-25ක් ලෙස දෙවන තරග වටය ජයගත්තේ කපිල ක්‍රීඩා සමාජය කිසිසේත් නොසිතූ නොපැතූ පරිදියි.

තරගයේ රැඳෙන්නට නම් තෙවන වටය ජය ගැනීම කපිල ක්‍රීඩා සමාජයට අනිවාර්යව තිබිය දී විජය ක්‍රීඩා සමාජයේ චතුරිකා රණසිංහ (ජාතික ක්‍රීඩිකා) අලංකාර පන්දු පිරිනැමීම් කිහිපයක් සිදු කළාය. තෙවන වටයේ පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු 08-03ක් වශයෙන් විජය ක්‍රීඩිකාවන් ඉදිරිය ගෙන තිබුණි. පසුව කපිල ක්‍රීඩා සමාජය ලකුණු 10-10ක් වශයෙන් ලකුණු සමකොට විජය ක්‍රීඩා සමාජයට අභියෝග කළේය. දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු 16-15ක් වශයෙන් ඉදිරිය ගත්තේ කපිල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන්.

චන්දිමා අකරවිටගේ විශිෂ්ට ක්‍රීඩා දස්කම් තවමත් නොමැකී ඇති බැව් මෙහි දී දිස්විය. දෙවන වටයේ දී මෙන්ම ලකුණු 24-19ක් වශයෙන් කපිල ක්‍රීඩා සමාජය ඉදිරිය ගෙන තිබුණි. නමුත් මෙම වටයේ දී ඔවුන් ඉක්මන් වී ජයග්‍රාහී ලකුණ රැස්කළේය.

තෙවැනි වටයේ දී ලබාගත් ජවය ඉදිරියට ගෙනයමින් කපිල ක්‍රීඩා සමාජය ලකුණු 04-01ක් ලෙස පරතරයක් නිර්මාණය කර ගනිමින් සිව්වැනි වටය ඇරඹීය. තිලිණි වාසනා කපිල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද, චතුරිකා රණසිංහ විජය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද වේගවත් ප්‍රහාරයන් දියත් කරනු දැකිය හැකි විය. පළමු තාක්ෂණික කෙටි විවේකය 08-06ක් ලෙස අවසන් වුනේ කපිල ක්‍රීඩා සමාජයට වැඩි වාසි ප්‍රදර්ශනය කරමින්.

පහරට පහර එල්ල කරමින් දෙපිලම ඉදිරියට යද්දී ලකුණු 18-18ක් වශයෙන් ලකුණු සමවී තිබුණි. කෙසේ හෝ කපිල ක්‍රීඩා සමාජයේ චන්දිමා අකරවිට තම අත්දැකීම් මැනවින් උපයෝගී කොටගනිමින් ක්‍රීඩා කළ අතර ඇය වටා අනෙකුත් ක්‍රීඩිකාවන් රොද බැන්දේය. ලක්ෂි ප්‍රබෝදිනීගේ ද සහයෙන් කපිල ක්‍රීඩා සමාජය තියුණු වටයකින් අනතුරුව ලකුණු 25-23ක් වශයෙන් සිව්වැනි වටය ජයගත්තේය.

පස්වැනි සහ අවසන් වටයේ ජය දෙපිලටම අත්‍යාවශ්‍ය වූ පසුබිමක දී එය ලකුණු 05-01ක් වශයෙන් ඇරඹුවේ විජය ක්‍රීඩා සමාජයයි.  පැති මාරුව සිදුවන විට ලකුණු 08-04ක් වශයෙන් විජය ක්‍රීඩා සමාජය ඉදිරියෙන් සිටියේය. කෙසේ වෙතත් තිලිණි වාසනාගෙන් (ශ්‍රී ලංකා 23න් පහල නායිකා) බලාපොරොත්තු වූ සේවය කපිල ක්‍රීඩා සමාජයට නොලැබිණි. ලකුණු 13-09ක් වශයෙන් විජය ක්‍රීඩා සමාජය ඉදිරියෙන් පසු විය.

අවසානයේ දී වසර 06ක් පුරාවට රටපුරා කණ්ඩායම් වලට එරෙහිව සමුදුරු 06ක් සාර්ථකව පීනූ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය 2017 ඩයලොග් ජනාධිපති රන් කුසලානයේ කාන්තා විවෘත ශූරතාවය දිනාගත්තේ අවසන් වටය ලකුණු 15-09ක් ලෙස ජය ගනිමිනි.

ලකුණු තත්වය – (25-11), (27-25), (19-25), (23-25), (15-09)

ජය – කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය  

කාන්තා

  • ශූරතාවය – කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය  
  • අනුශූරතාවය – සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය
  • තෙවන ස්ථානය – රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය

කාන්තා විවෘත දක්ෂතා

  • හොඳම පන්දු පිරිනමන්නිය – සචිනි චාරුකා (කොස්වාඩිය විජය)
  • හොඳම පන්දු භාරගන්නිය – චන්දිමා අකරවිට (සියඹලාගොඩ කපිල)
  • හොඳම පන්දු ඔසවන්නිය – ඉරේෂා පෙරේරා (සියඹලාගොඩ කපිල)
  • හොඳම ප්‍රහාරිකාව – තිලිණි වාසනා (සියඹලාගොඩ කපිල)
  • හොඳම ආවරණය – චතුරිකා රණසිංහ (කොස්වාඩිය විජය)
  • හොඳම ආරක්ෂිකාව – දිලුෂා සංජීවනී (කොස්වාඩිය විජය)

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<