නාත්තන්ඩිය ක්‍රීඩකයන්ගේ අවහිර මැද කටානට ශූරතාවය

544

බර අවි කිහිපයකම වෙඩි බලය සමඟින් 2017 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි විවෘත අවසන් මහා තරගය ජය ගන්නට කටාන ඒකාබද්ධ කණ්ඩායම සමත් විය. තරගය පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

පෙර වසරේ ශූරයන් වූ කටාන ඒකාබද්ධ කණ්ඩායම සහ මෙවර පෙරළිකාර කණ්ඩායමක් වූ නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වෙන ලදි.

විජය සමඟ ක්‍රීඩිකාවන් සත්සමුදුර තරණය කරයි

අත්දැකීම් සහ පීඩනය පාලනය වොලිබෝල් ක්‍රීඩාවට කෙතරම් වැදගත් දැයි පෙන්වමින්, ඩයලොග් ජනාධිපති රන් කුසලානයේ ……

තරගය ඇරඹුණේ ප්‍රබල කටාන ක්‍රීඩකයන්ගේ දස්කම් සමඟින්. ජනිත සුරත් (ජාතික ක්‍රීඩක), දීප්ති රොමේෂ් (ජාතික ක්‍රීඩක) වැනි ක්‍රීඩකයන් තම කණ්ඩායමට පරතරයක් නිර්මාණය කර ගන්නට විය. එය මැනවින් හඳුනාගත් නාත්තන්ඩිය කණ්ඩායම තම පහරවල්වලට උපක්‍රමශීලීත්වය එක්කොට ගත්තේය. තරගයේ දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු තත්වය දිස්වුණේ 16-13ක් වශයෙනි. ඉදිරියෙන් සිටියේ කටාන කණ්ඩායමයි.

නිලංක සංජය (ශ්‍රී ලංකා ක්‍රීඩක) තමන්ගෙන් විය යුතු සේවය වටහා ගනිමින් අලංකාර පන්දු ඔසවාදීම් කිහිපයකින් නාත්තන්ඩියට සවිය ගෙනාවේය. එහි වාසිය සමඟින් ලකුණු 18දී ලකුණු සමකර ගැනීමට ඔවුන්ට හැකි විය. නාත්තන්ඩිය ක්‍රීඩකයන් ගුවනේ රැඳෙමින් එල්ල කළ පහරවල් වටහාගත් කටාන ඒකාබද්ධ ක්‍රීඩකයින් ඔවුන්ගේ ආවරණ ද ගුවනේ රඳවා ගත්තේය. ඒත් සමඟින් ජයග්‍රාහී සීමාවට ඇදී ගිය ඔවුන් පළමු වටය 25-21ක් වශයෙන් ජය ගන්නා ලදි.

දිලින සුධාරක හට පන්දුව ඔසවා දෙමින් නිලංක දෙවන වටය ඇරඹුවේය. පළමු තාක්ෂණික කෙටි විවේකය අවසන් වුනේ ලකුණු 08-06ක් ලෙස නාත්තන්ඩිය යුනයිටඩ් ඉදිරියෙන් තබමින්. නමුත් ජනිත සහ කසුන් අමරවීර එක්ව 11-11ක් ලෙස කටාන වෙනුවෙන් ලකුණු තත්වය සමකළේය.

එහෙත් දෙවන කෙටි විවේකය වන විටත් 16-14ක් ඉදිරියෙන් පසුවන්නට නාත්තන්ඩිය කණ්ඩායම වගබලාගත්තේය. පසුව නැවතත් 18-18ක් ලෙස වූ ලකුණු තත්වය 22-20ක් ලෙස නාත්තන්ඩිය දෙසට හැරුණි. කෙටිපන්දු ප්‍රහාරයන්හිදී සාර්ථක වූ නාත්තන්ඩිය ලකුණු 25-23ක් වශයෙන් එම වටය ජය ගත්තේය.

තෙවන වටය ඇරඹිණි. පළමු තාක්ෂණික කෙටි විවේකයේ දී ලකුණු 08-05ක් වශයෙන් ඉදිරියෙන් සිටියේ නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජයයි. නදීප ලක්ෂාන් සහ නිලංක සුසංයෝගය මෙහි දී කැපී පෙනිණ. පසුව පරතරය එක් ලකුණක් දක්වා අඩුවූයේ ජනිත සුරත් සහ දීප්ති රොමේෂ් එල්ල කළ වේගවත් පහරවල් කිහිපයක නමින් මෙන්ම මලිත් දිනිඳු සහ කසුන්ගේ අවහිරයන් මඟින්.

දෙ‍ව‍ර‍ක්‍ ඇ‍ණ‍හි‍ටි වි‍දු‍ලි‍බ‍ල‍ය හා‍ තෙ‍ව‍ර‍ක්‍ පැ‍ර‍දු‍ණ යු‍ධ‍ බ‍ල‍ය‍

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත් එක්ව 31 …

එහෙත් නිලංක එකලෙස ක්‍රීඩා කළ අතර ලකුණු 22-20ක් ලෙස නාත්තන්ඩිය ක්‍රීඩකයන් ඉදිරියට යනු ලැබුවේය. පසුව ලකුණු 23 සීමාවේ දී දෙපිල සම විය. නදීප ලක්ෂාන්, නාත්තන්ඩිය වෙනුවෙන් වැරෙන් පහර එල්ල කරමින් කණ්ඩායම ඉදිරියට ගෙන ගිය අතර ලකුණු 26-24ක් ලෙස නාත්තන්ඩිය තෙවන වටය ජය ගත්තේය.

විජයබා සහ කටාන, නාත්තන්ඩිය, හලාවත එක්සත් අවසන් සටනට

2017 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි විවෘත තරග අංශයේ අවසන් මහා තරගය කටාන එක්සත් සහ………..

ප්‍රබල කටාන ඒකාබද්ධ කණ්ඩායම සිව්වැනි වටය ඇරඹුවේ ප්‍රතිවාදීන්ට පිළිතුරු නැති වූ ලකුණු 04ක් සමඟිනි. පසුව වොලිබෝල් අලංකාරය නැවතත් විදහා පාමින් නාත්තන්ඩිය එකදිගට ලකුණු 06ක් රැස්කළේ කටාන නිරුත්තර කරමිනි. තරගයේ උණුසුම කෙමෙන් වැඩි විය. එම වටයේ පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට කටාන 08-07ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

දෙවන තාක්ෂණික කෙටි විවේකය වෙද්දී පරතරය ලකුණු 3ක් දක්වා වර්ධනය කර ගන්නට කටාන ක්‍රීඩකයන් සමත්ව තිබුණි. අත්දැකීම් බහුල කටාන ක්‍රීඩක බංකුව මත ජගත් සංජය, මෙලාන් ජයවර්ධන වැන්නන් සිටිය ද ඔවුන් වැඩි වේලාවක් පිටිය මත සිටිනු දක්නට නොහැකි විය. ඔවුන්ගේ උපක්‍රම අනුව වරින් වර අත්දැකීම් බහුල ක්‍රීඩකයන් යොදාගැනිණ. ලකුණු 22-20ක් ලෙස කටාන ඉදිරියෙන් සිටියේ නාත්තන්ඩිය වෙනුවෙන් නදීප සහ දිලින සෑම උත්සාහයක්ම දරමින් සිටියදීයි. පසුව සාර්ථක අවහිරයන් කිහිපයක් මඟින් ඉදිරියට ගිය කටාන 25-21ක් වශයෙන් සිව්වැනි වටය ජය ගත්තේය.

තීරණාත්මක පස්වැනි වටය සඳහා දෙපිලම පිඹුරුපත් සකස් කළේය. විශිෂ්ට රැලි කිහිපයක් අවසානයේ ලකුණු 04-01ක් ලෙස ඉදිරිය ගන්නට සමත්වූයේ අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළ නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජයයි. යළිත් ලකුණු කිහිපයකින් ඉදිරියට එන කටානට එරෙහිව වේගවත් පහරවල් එල්ල කිරීමට නාත්තන්ඩිය උත්සාහ කළේය. එහෙත් ලකුණු 06-06ක් ලෙස ලකුණු සමකර ගැනීමට අත්දැකීම් බහුල කටාන ක්‍රීඩකයන් සමත් විය. එතැනින් ඉදිරියට යන්නට ජනිත සුරත් යොමු කළ තනි ආවරණය අතිශය අලංකාර එකකි. පැති මාරුවේ දී ලකුණු 08-07ක් ලෙස ඉදිරියෙන් පසුවූයේ නාත්තන්ඩියයි.

තරගය ලකුණු 10-10 මට්ටමේ පසු විය. කණ්ඩායම් දෙකම ආදේෂණයන් සිදුකරමින් තරගය ජය ගැනීමට සෑම උත්සාහයක්ම දැරීය. එහෙත් ලකුණු 11 සිට ඉදිරියට යමින් 14-11ක් ලෙස පරතරයක් නිර්මාණය කර ගන්නට කටාන ඒකාබද්ධ කණ්ඩායම සමත් විය. ඒ වේගවත් අයුරින් ක්‍රීඩා කරමිනි. ලකුණු 15-12ක් ලෙස අවසන් වටය ජය ගත් කටාන ක්‍රීඩකයන් මේ වසරේදීත් ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි ශූරයන් බවට පත්විය.

ඒ අනුව නලීන් සම්පත් අබේසිංහගේ පුහුණුකාරීත්වයෙන් යුත් අත්දැකීම් බහුල කටාන ඒකාබද්ධ කණ්ඩායම, චන්න ජයසේකරගේ පුහුණුකාරීත්වයෙන් යුත් අත්දැකීම්වලින් මඳක් අඩු නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය හමුවේ ජය ලැබුවේ වට 3-2ක් ලෙසයි.

ලකුණු තත්වය – (25-21), (23-25), (24-26), (25-21), (15-12)

ජය – කටාන ඒකාබද්ධ කණ්ඩායම

ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

පිරිමි

  • ශූරතාවය – කටාන ඒකාබද්ධ කණ්ඩායම
  • අනුශූරතාවය – නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය
  • තෙවන ස්ථානය – බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය

පිරිමි විවෘත දක්ෂතා

  • හොඳම පන්දු පිරිනමන්නා – දිලින සුධාරක (නාත්තන්ඩිය යුනයිටඩ්)
  • හොඳම පන්දු ලබාගන්නා – නුවන් චාමික (කටාන ඒකාබද්ධ)
  • හොඳම පන්දු ඔසවන්නා – ධනුෂ්ක ඩිල්ෂාන් (කටාන ඒකාබද්ධ)
  • හොඳම ප්‍රහාරකයා – නදීප ලක්ෂාන් (නාත්තන්ඩිය යුනයිටඩ්)
  • හොඳම ආවරණය – සජිත් ලහිරු (කටාන ඒකාබද්ධ)
  • හොඳම ආරක්ෂකයා – ජනිත් රන්දික (නාත්තන්ඩිය යුනයිටඩ්)

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<