22න් පහළ ශූරතා බෝයගමට සහ හලාවතට

328

12 වන වරටත් සාර්ථකව පැවැත්වූ 2017 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග අද (18) සුගතදාස ගෘහස්ථ පිටියේ දී පැවැත්විය. එහි 22න් පහළ කාන්තා හා පිරිමි අංශයන්හි ශූරතා ජයග්‍රහණය කිරීමට පිළිවෙළින් බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සහ හලාවත යුනයිටඩ් කණ්ඩායම සමත් විය.

පිරිමි අංශය

හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ හලාවත යුනයිටඩ් ක්‍රීඩා සමාජය

අවසන් පූර්ව වටයේ දී ගිය වසරේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ සීදූව දවිසමර ක්‍රීඩා සමාජය හමුවේ පිළිවෙළින් හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ හලාවත යුනයිටඩ් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කර ගනිමින් මෙම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

තරගය උදෑසන 10ට පමණ ආරම්භ වූ අතර එහි පළමු වටයේ ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට හලාවත යුනයිටඩ් කණ්ඩායම සමත් වූයේ වොලිබෝල් ක්‍රීඩාවේ සෑම දස්කමක්ම පාහේ නිසියාකාරව ඔවුන් ප්‍රගුණ කර ඇති බව පසක් කරමිනි. ප්‍රථම වටය 18-25ක් ලෙස නිමා වූයේ හලාවත ක්‍රීඩකයින් පෙරමුණ ගනිමිනි.

විජයබා සහ කටාන, නාත්තන්ඩිය, හලාවත එක්සත් අවසන් සටනට

2017 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි විවෘත තරග අංශයේ අවසන් මහා තරගය කටාන එක්සත් සහ….

තරගයේ දෙවැනි වටයේ දී හුංගම ක්‍රීඩකයින් හලාවත යුනයිටඩ්ට එරෙහිව සාර්ථක වීමට උත්සාහ දැරූ නමුත් එම වටයේ දී ද හලාවත ක්‍රීඩකයින් පෙරමුණ ගත්තේ හුංගම ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ තෙවැනි වටයේ දී හුංගම ක්‍රීඩකයින් තරගය සිව්වැනි වටයක් දක්වා රැගෙන යෑමට වෑයම් කළත් ඒ වන විටත් ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවූ හලාවත ක්‍රීඩකයින් 22-25ක් ලෙස මෙම වටය ජයග්‍රහණය කරමින් සමස්ත ශූරතාවයට හිමිකම් කියන ලදි. හලාවත ක්‍රීඩක මහේල ඉන්දීවරගේ දක්ෂතා තරගය පුරාවට කැපී පෙනුනි.

රාජසිංහ ක්‍රීඩා සමාජය ලබා දුන් ‘walk-over’ අවස්ථාවක් හරහා තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට ගියවර ශූරතාවය දිනාගත් දවිසමර ක්‍රීඩා සමාජයට හැකි විය.

අවසන් ලකුණු තත්වය:

හුංගම විජයබා ක්‍රීඩා සමාජය  (18-25, 19-25, 22-25) හලාවත එක්සත් ක්‍රීඩා සමාජය

සම්මාන ප්‍රදානය

  • හොඳම පන්දු ඔසවන්නා – අවිශ්ක කෞශල්‍යය (හලාවත එක්සත් ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරකයා – අශේන් රශ්මික (හලාවත එක්සත් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ක්‍රීඩකයා – මහේල ඉන්දීවර  (හලාවත එක්සත් ක්‍රීඩා සමාජය)

කාන්තා අංශය

කැෂුවල්ලයින් ක්‍රීඩා සමාජය හා බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී, පසුගිය වසරේ ශූරතාවය දිනාගත් කැෂුවල්ලයින් ක්‍රීඩා සමාජය විසින් ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ද, බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය විසින් හුංගම විජයබා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

තරගයේ පළමු වටයේ සිටම බෝයගම ක්‍රීඩිකාවන් විසින් කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන්ගේ උපායන් සහ තාක්ෂණික ක්‍රමවේද මනාව හඳුනා ගනිමින් ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණු අතර පළමු වටය හා දෙවන වටය ලකුණු 20-25ක්  ලෙස ජයග්‍රහණය කිරීමට සිරි පැරකුම් ක්‍රීඩිකාවන් සමත් විය.

විජය, කපිල, කැෂුවල් ලයින් සහ සිරි පැරකුම් කාන්තා ශූරතා අවසන් තරගයට

2017 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා විවෘත තරග අංශයේ අවසන් මහා තරගය විජයබා…..

කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන්ට තීරණාත්මක තරග වටයක් වූ තෙවැනි වටයේ දී වැඩි වේලාවක් පෙරමුණේ පසුවීමට ඔවුන්ට හැකි වූයේ අනුරිශා චතුනිගේ දස්කම් ද නිසාවෙනි. නමුත් කණ්ඩායම් දෙකම ලකුණු 20 සීමාවට ළඟා වන විට යළිත් පෙර වටයන් හි මෙන් ජයග්‍රාහී තරග රටාව හඳුනා ගත් සිරි පැරකුම් ක්‍රීඩිකාවන් සාර්ථකව තෙවැනි වටය අවසන් කිරීමට වෑයම් කළත්, කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන් ඊට අවසර දුන්නේ නැත.

කෙසේ නමුත් තරගය සිව්වන වටය දක්වා ද ඇඳී ගිය අතර එය ද ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කිරීමට කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන් සමත් වූයේ තරගය පස්වන වටයක් දක්වා රැගෙන යමිනි.

ගියවර ශූරතාවය තමන්ගෙන් ගිලිහි යෑමට ඉඩ නොදී බෝයගම ක්‍රීඩිකාවන් පසුපස හඹා ආ කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන්ට මෙවර බෝයගම ක්‍රීඩිකාවන් හමුවේ තරගය ලෙහෙසි වූයේ නැත. යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බෝයගම ක්‍රීඩා සමාජය ලකුණු 07-15ක් මෙම වටය ජයග්‍රහණය කරමින් ශූරතාවට හිමිකම් කීමට සමත් විය.

ලකුණු 25-23ක් හා 25-23ක් ලෙස ධර්මපාල ක්‍රීඩා සමාජය පරාජය කළ විජයබා ක්‍රීඩා සමාජය තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය:

කැෂුවල්ලයින් ක්‍රීඩා සමාජය (20-25, 20-25, 25-22, 25-22, 07-15) බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය

සම්මාන ප්‍රදානය

  • හොඳම පන්දු ඔසවන්නිය – සුනේත්‍රා ප්‍රියදර්ශනී විජේසිංහ (බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරිකාව – අනුරිශා චතුනි (කැෂුවල්ලයින් ක්‍රීඩා සමාජය)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – එච්. පී. නිමේෂිකා සෙව්වන්දි (බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය)

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<