HNB ක්‍රීඩිකාවන් දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කරයි

212

‘Dialog’ ජාතික දැල්පන්දු ශූරතාවලිය 2018 තරගාවලියේ අවසන් මහා තරගය අද (08) වෙන්නප්පුව ඇල්බර්ට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ලකුණු 47-27ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම (HNB) 2018 වසර සඳහා වන දැල්පන්දු ශූරියන් ලෙස අභිසෙස් ලබන්නට සමත් විය.

‘HNB’ සහ ගුවන් හමුදා කණ්ඩායම්වලට ජයග්‍රහණ

බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2018 ‘Dialog’ ජාතික දැල්පන්දු ශූරතාවලිය තරගාවලියේ පළමු දිනයේ දෙවන වටයේ තරගවල ජයග්‍රහණ වාර්තා…

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (SLNF) විසින් ‘Dialog Axiata PLC’ සමාගමේ අනුග්‍රහය ඇතිව දිවයිනේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සියලුම තරග ගෘහස්ථ ක්‍රීඩාංගණ වල පවත්වනු ලැබූ මෙම තරගාවලියේ සියලුම තරග එක් තරගයකට මිනිත්තු 60ක කාලයක් වන පරිදි සම්මත ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව පවත්වනු ලැබීය.

‘HNB’ කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයේ සියලුම තරග ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගත් අතර අනෙක් පසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම එම වටයේ දී ‘HNB’ කණ්ඩායම සමඟ පැවති තරගය පරාජයට පත්වුවත් සෙලාන් බැංකු කණ්ඩායම සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ පැවති අනෙක් තරග ද්විත්වයම ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 02-05ක් ලෙස තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. කෙසේ නමුත් ඉන් අනතුරුව ‘HNB’ ක්‍රීඩිකාවන් සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වෙමින් අඛණ්ඩව ලකුණු 03ක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්වය සමකර ගන්නට සමත් විය. ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම තරමක් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට යොමුවුවත් එහි දී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අභිබවමින් ඉදිරියට පැමිණි ‘HNB’ ක්‍රීඩිකාවන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-07ක් ලෙස තරගයේ පෙරමුණ ගන්නට සමත් විය.  

HNB අවසන් මහා තරගයට පිවිසෙද්දී සෙලාන් තියුණු ජයක් වාර්තා කරයි

2018 ඩයලොග් ජාතික දැල් පන්දු ශූරතාවලියේ දෙවන වටය හා දෙවන දිනය සඳහා වූ තරග ඊයේ (06) දින බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු අතර…

අනතුරුව පැවති තරගයේ දෙවන වටයේ දී ඉතා ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ ‘HNB’ ක්‍රීඩිකාවන් හොඳින් පන්දුව හුවමාරු කරගනිමින් ඉදිරියට ගොස් ලකුණු වාර්තා කරන්නට විය. අනෙක් පසින් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ පන්දු හුවමාරු කරගැනීම දුර්වල මට්ටමක පැවති අතර තවදුරටත් ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් හේතුවෙන් ද ඔවුන්ගේ ලකුණු වාර්තා කරගැනීම අඩපණ විය. ඒ අනුව දෙවන වටයේ මැද භාගය වන විට ලකුණු 17-11ක් ලෙස ලකුණු 6ක් දක්වා කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගන්නට ‘HNB’ ක්‍රීඩිකාවන් සමත් විය. ඉන් අනතුරුව ද සිය ප්‍රබල ක්‍රීඩා විලාශය තවදුරටත් ක්‍රියාත්මක කළ ‘HNB’ ක්‍රීඩිකාවන් දෙවන වටය අවසන් කළේ කණ්ඩායම් දෙක අතර ලකුණු 8ක පරතරයක් ගොඩනඟා ගනිමිනි.

පළමු අර්ධය: හැටන් නැෂනල් බැංකුව 22 – 14 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කණ්ඩායම් දෙකම තරගයේ තෙවන වටයට අවතීර්ණ වූයේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් සමඟයි. ඒ අනුව තෙවන වටයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් කරට කර සටනක නිරත වෙමින් ලකුණු වාර්තා කරගන්නට සමත් විය. කෙසේ නමුත් එහි මැද භාගය පමණ වන විට ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ ජවය ගිලිහෙන සේයාවක් දිස්වූ අතර ඒ අනුව ඔවුන් අතින් නැවතත් අත්වැරදීම් සිදු වන්නට විය. ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගත් ‘HNB’ ක්‍රීඩිකාවන් තරගයේ තෙවන වටය අවසන් වන විට ලකුණු 14ක පරතරයක් ගොඩනඟා ගන්නට සමත්ව තිබුණේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගෙන් තරගයේ ජයග්‍රහණය ඈතට රැගෙන යමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඒ අනුව ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට තරගයේ ජයග්‍රහණය කරා ළඟා වීමට නම් සිව්වැනි වටයේ දී දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට සිදුව තිබුණි. සිව්වැනි වටයේ ආරම්භයේ සිටම ඔවුන් ඒ සඳහා උත්සාහ දැරුව ද ඔවුන් අතින් සිදු වූ සුළු අත්වැරදීම් හේතුවෙන් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. අනෙක් පසින් ‘HNB’ ක්‍රීඩිකාවන් දියත් කළ ප්‍රබල ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය ද ඔවුන්ගේ එම උත්සාහය ව්‍යර්ථ වන්නට ඉවහල් විය. ඒ අනුව සිව්වැනි වටයේ මැද භාගය වන විට ලකුණු 38-22ක් ලෙස කණ්ඩායම් අතර ලකුණු පරතරය තවත් ඉහළ නංවාගන්නට ‘HNB’ ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව තරගය අවසානයේ පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගත් ‘HNB’ කණ්ඩායම 2018 ජාතික දැල්පන්දු ශූරතාවය දිනා ගන්නට සමත් විය.   

සම්පූර්ණ කාලය: හැටන් නැෂනල් බැංකුව 47 – 27 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <