සීදූව දවිසමර සහ කැෂුවල් ලයින් 22න් පහල ශූරතාවයන් දිනා ගනී

562

ඩයලොග් ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟ අද (7) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී 22න් පහල පිරිමි ශූරතාවය සීදූව දවිසමර කණ්ඩායම විසින් දිනාගත් අතර කාන්තා ශූරතාවයට හිමිකම් කියූවේ මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායමයි.

රුවන්වැල්ල රාජසිංහ, සීදුව දවිසමර, කැෂුවල් ලයින් සහ ඇහැලියගොඩ ධර්මපාල 22න් පහල ශුරතාවයට සූදානම්

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට (07) මහරගම දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර අවසන්ය.

22න් පහල කාන්තා අංශය

ඇහැලියගොඩ ධර්මපාල කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී බෝයගම සිරිපැරකුම් ක්‍රීඩිකාවන් පරාජය කරමින් අවසන් මහා සටනට පිවිසි අතර ධර්මපාල කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් අවසන් පූර්ව තරගයේදී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන ලදී.

උදෑසන ආරම්භ වූ මෙම තරගයේ ප්‍රථම වටය තුළදී තම සුපුරුදු ක්‍රීඩා ශෛලියෙන් ආක්‍රමණය දියත් කළ කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් 25-14 ක් ලෙස එම වටයේ ජය හිමිකර ගන්නා ලදී.

නමුත් දෙවන වටය තුළදී වඩාත් සටන්කාමී ක්‍රීඩා විලාසයක් දියත් කල, නිර්මාණි සුලෝචනා ප්‍රමුඛ ධර්මපාල ක්‍රීඩිකාවන් එම වටය 20-25ක් ලෙස අවසන් කලාය.

තෙවන වටයේදී ඊට පිළිතුරු සැපයූ කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් නැවතත් තරඟයට අවතීර්ණ වෙමින් 25-12ක් වශයෙන් එම වටය තමා සතු කරගත්තේය.

සිව්වන වටය ආරම්භයේදී දෙපිලම තරඟකාරී අයුරින් ක්‍රීඩා කළ නමුත් එහි අවසන් භාගයේදී සුපුරුදු දස්කම් වෙත එළඹෙමින් 25-18ක් ලෙස ජය ලබා සමස්ත තරඟයේ ජයද ලබා ගන්නට කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව 22න් පහල කාන්තා ශූරියන් බවට පත්වූයේ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයයි.

තරඟය තුළ කැපීපෙනෙන දස්කම් දැක්වීමට ඇහැලියගොඩ ධර්මපාල කණ්ඩායමේ නිර්මාණි සුලෝචනා සහ සඳුනි දිනේෂිකාද, කැෂුවල් ලයින් කණ්ඩායමේ අනුරිෂා චතුනි සහ චායා සංජීවනී යන ක්‍රීඩිකාවන් සමත්විය.

හරිම සතුටුයි. එයාලගේ උස බ්ලොක්ස් මඟ ඇරලා අපේ කෙටි පන්දු ප්‍රහාරිකාවන් හොඳින් පහර දුන්නා. ඉදිරි තරඟාවලි වලදීත් අවසන් තරඟ වෙත එන්න පුහුණු වෙනවා.” තරඟයෙන් අනතුරුව චායා සංජීවනී ThePapare.com හා අදහස් දැක්වූයේ එපරිද්දෙනි.

අවසන් ලකුණු : 25-14, 20-25, 25-12, 25-18 (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය)

විශේෂ දක්ෂතා (කාන්තා)

  • හොඳම පන්දු ඔසවන්නිය – සංජීවනී වික්‍රමසිංහ (කැෂුවල් ලයින්)
  • හොඳම ප්‍රහාරිකාව – නිර්මාණි සුලෝචනා (ඇහැලියගොඩ ධර්මපාල)
  • දක්ෂතම ක්‍රීඩිකාව – අනුරිෂා චතුනි (කැෂුවල් ලයින්)

22න් පහල පිරිමි අංශය

රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමත් සීදූව දවිසමර කණ්ඩායමත් අවසන් මහා තරඟයට පිවිසියේ පිිලිවෙලින් හලාවත ඒකාබද්ධ කණ්ඩායම සහ හුංගම විජයබා ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. ඒ තරගවට 3:2ක් සහ 3:0ක් ලෙසයි.

ප්‍රථම වටය ආරම්භයේදීම දීර්ඝ රැලි කිහිපයක් දැකගත හැකිවිය. ලකුණු 20 සීමාවේදීද දෙපිලම සම තත්වයක පසුවූ නමුත් 25-23ක් ලෙස ලකුණු දෙකක පරතරයක් ලබාගත් රුවන්වැල්ල කණ්ඩායම එහි ජය හිමිකරගත්තේය.

දෙවන වටයට මැනවින් අවතීර්ණ වූ දවිසමර ක්‍රීඩකයින් ලකුණු 14-09ක් වශයෙන් හොඳ පරතරයක් තබාගෙන ඉදිරියට ගියේය. එහිදී අයේෂ් පෙරේරාගේ අවහිරයන්ගෙන් ඔවුනට ලැබුනේ විශාල සහයෝගයකි. 25-15ක් ලෙස එම වටය අවසන් කළ දවිසමර ක්‍රීඩකයන්ට ජය හිමිවිය.

තෙවන වටය මුලදී ලකුණු 5කින් පෙරමුණ ගත් (05-00) දවිසමර ක්‍රීඩකයන් හඹා ඒමට රුවන්වැල්ල ක්‍රීඩකයන්ට සිදුවූ නමුත් සිදුවූයේ එම පරතරය දෙගුණ වෙමින් (21-10) දවිසමර ක්‍රීඩකයෝ පෙරමුණ ගැනීමයි. 25-12ක් ලෙස එහි ජය පහසුවෙන් ලබා ගන්නට දවිසමර කණ්ඩායම සමත් විය.

සිව්වන වටය තුළදී දවිසමර ක්‍රීඩා සමාජයේ රෙහාන් මධුශංකගෙන් අලංකාර පසු ප්‍රහාරයන් (back attacks) කිහියක් ප්‍රතිවාදීන් වෙත එල්ල වූ අතර ඉසුරු මධුශංක, අලංකාර පන්දු පිරිනැමීම් කිහිපයක්ම සිදුකළේය. එනමුත් රාජසිංහ ක්‍රීඩකයින් තරඟය අත්නොහැර ක්‍රීඩා කරනු දැකගත හැකිවිය. කෙසේවෙතත් ඒ වටයත් 25-19ක් වශයෙන් ජයගත් දවිසමර කණ්ඩායම සමස්ත තරඟයත් තරගවට 3:1ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් විය.

සතුටුයි. ස්තුතිවන්ත වෙනවා චමින්ද ලක්ෂ්මන් සර්ටත්, සහය පුහුණුකරුවන් වන දමිත් සංජය සහ නුවන් සමීරටත්. රුවන්වැල්ල වගේ ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීම ගැන ඇත්තෙන්ම සතුටුයි.” දවිසමර නායකයා ThePapare.com සමඟින් පැවසීය.

අවසන් ලකුණු: 25-23, 15-25, 12-25, 19-25 (දවිසමර ක්‍රීඩා සමාජය)

විශේෂ දක්ෂතා (පිරිමි)

  • හොඳම පන්දු ඔසවන්නා – ධනුෂ්ක ඩිල්ශාන් (දවිසමර)
  • හොඳම ප්‍රහාරිකාව – රෙහාන් මධුශංක (දවිසමර)
  • දක්ෂතම ක්‍රීඩකයා – අයේෂ් පෙරේරා (දවිසමර)
තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට

Highlights – Dialog President’s gold cup 2016 – under 22 finals