කැෂුවල් ලයින් සහ කොස්වාඩිය විජය, කාන්තා අවසන් සටනට

542

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ සමූහ ඡායාරූපයක්විවෘත අංශයෙන් තරග කරනා කැෂුවල් ලයින් කාන්තා කණ්ඩායම

හෙට (07) පැවැත්වීමට නියමිත ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ විවෘත අංශයේ කාන්තා අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ කැෂුවල් ලයින් සහ කොස්වාඩිය විජය යන ක්‍රීඩා සමාජයන් ද්විත්වයයි. අවසන් පූර්ව වටයේදී ඔවුන් අතින් පරාජය වූයේ පිළිවෙලින්, කොළඹ කපිල ක්‍රීඩා සමාජයත්, රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායමත් ය.

පසුගිය ලිපි: කටාන එක්සත් සහ දෙබෑගම රන්තරු රන් කුසලානය අභියස

කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් විසින් කපිල ක්‍රීඩා සමාජය 25-18, 25-19, 25-16ක් ලෙසත්, කොස්වාඩිය විජය කණ්ඩායම විසින් රදාවාන කණ්ඩායම තරගවට 3:2ක් ලෙසත් පරාජයට පත්විය.

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය

ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ 2010 සිට 2015 දක්වා පැවති සියළුම තරඟාවලි වල කාන්තා ශූරියන් බවට පත්ව ඇති මොවුන් අභිබවන්නට මෙතෙක් තරඟාවලියේ කිසිදු කණ්ඩායමක් සමත් වී නොමැත. මෙවර ඔවුන් සූදානම් වන්නේ තම සත්වැනි ඩයලොග් ශූරතාවලිය ලබා ගන්නටයි.

ප්‍රබල ක්‍රීඩිකාවන්

දිනේෂා ප්‍රසාදිනී කණ්ඩායමේ නායිකාව වන අතර පසුගිය මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියේ හොඳම කාන්තා ප්‍රහාරිකාව බවට පත්වූයේද ඇයයි. ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේද නායකත්වය හොබවන ඇය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද ක්‍රීඩිකාවකි.

ඉරේෂා උදයන්ගනී සහ චතුරිකා රණසිංහ යන ශ්‍රී ලංකා කෙටි පන්දු ප්‍රහාරිකාවන් ද්විත්වය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. චතුරිකා රණසිංහ පසුගිය මන්චි වොලිබෝල් ශූරතාවලියේ සියළු අංශවලින් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්විය.

උමිලා හේමන්ති, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන අතර ඇගේ අත්දැකීම් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

රුවනි තක්සලා කනිෂ්ඨ ජාතික සංචිතය නියෝජනය කළ ක්‍රීඩිකාවකි.

සංචිතය.

දිනේෂා ප්‍රසාදිනී (නායිකා), ඉරේෂා උමයන්ගනී, චතුරිකා රණසිංහ, රුවනි තක්සලා, නදීශානි සමරවීර, උමිලා හේමන්ති, ශෂිනි ලක්ෂිකා, ටීනා ජයසිංහ, කසුරි, කෞශල්‍යා

  • පුහුණුකරු – සමන්සිරි සෙනවිරත්න
  • සහය පුහුණුකරු – චන්දික ඉලංගකෝන්

මුල් වටයේදී අපි කැෂුවල් ලයින් කණ්ඩායමට වට හතරේ තරඟයක් පැරදුනා. ඒත් දැන් නැවත අපට ඔවුන් හමුවෙලා ඉන්නවා. ඒ තරඟය එළිමහන් තරඟයක්. අවසන් තරඟය පැවැත්වෙන්නේ ගෘහස්තව නිසා එහි තීරණය වෙනස් වෙන්න පුළුවන්. දැන් උමිලා අපේ කණ්ඩායමට ආ නිසා අපි තවත් ශක්තිමත්. මෙවරත් ජයග්‍රහණය තමයි බලාපොරොත්තු වෙන්නේ.” දිනේෂා ප්‍රසාදිනී ThePapare.com හා එසේ පැවසුවාය.

කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය

වෙළඳ සේවා පිටියේ ප්‍රබල කණ්ඩායමක් වන ඔවුන් මෙවර මන්චි තරඟාවලියේදී ජාතික ශුරතා අවසන් තරඟයටද එක්විය. ඊට සහභාගී වූ ක්‍රීඩිකාවන්ගෙන් කිහිප දෙනෙකුම 22න් පහල තරඟාවලියට සහභාගී වන නමුත් ඔවුන්ගේ ශක්තිය කිසිලෙසකින් අඩුව නැති බව පූර්ව තරඟ සටහන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. මේ ඩයලොග් රන් කුසලාන අවසන් තරඟයකට ඔවුන් එක්වන ප්‍රථම අවස්තාවයි.

ප්‍රබල ක්‍රීඩිකාවන්

රේණුකා නිල්මිණි, ප්‍රබෝධා සන්දීපනී, ඉෂාන්කා බාලසූරිය, චම්පා කල්‍යාණි යන සිව්දෙනාම කනිෂ්ඨ ජාතික සංචිතය නියෝජනය කළ අයවළුන්ය. මින් රේණුකා නිල්මිණි පසුගිය මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.

නිසනිකා සඳමාලි, 2016 වෙළඳ සේවා තරඟාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නිය බවට පත්වූවාය.

සචිනි නිමන්තිකා, හොඳ උසක් ඇති, අවහිරයන් සඳහාම විශේෂ වූ ක්‍රීඩිකාවකි. ඉතිං මේ සියළු ක්‍රීඩිකාවන් සයවැනි වතාවටත් ප්‍රතිවාදීන් කුසලානය ඩැහැගැනීමට වැළැක්වීමට දැවැන්ත අභියෝගයක් ප්‍රතිවාදීන් වෙත ලබා දෙනු ඇත.

සංචිතය

රේණුකා නිල්මිණි (නායිකා), නිසනිකා සඳමාලි, සචිනි නිමන්තිකා, හිරුනි චාපා, ප්‍රබෝධා සන්දීපනී, ඉෂන්කා බාලසූරිය, චම්පා කල්‍යාණි, නිල්මිණි දමයන්ති, එම්.රුක්මණී, සෙනාලි අනුෂ්කා

  • පුහුණුකරු – ආනන්ද වන්නිතිලක
  • සහය පුහුණුකාරිනී – රේණුකා නිල්මිණි

පළමු වතාවටයි මේ තරඟාවලියේ අවසන් තරඟයකට ආවේ. අපි කලින් වටයකදී කොස්වාඩිය කණ්ඩායම පරාජය කළා. නමුත් මේ ක්‍රීඩාව අවිනිශ්චිතයි. එකමුතුව පුහුණුවෙලා ජයගන්න බලාපොරොත්තු වෙනවා. අපි හොඳ මානසිකත්වයෙන් ඉන්නේ. අපි ලාබාල කණ්ඩායමක් වශයෙන් හොඳ තරඟයක් දීලා දිනන්නයි බලාපොරොත්තුව. MAS ආයතනයේ රුවන් කෑරගල මහතාවත්, අපේ කළමනාකරු චන්දන විජේසිංහ මහතාවත් විශේෂයෙන් මතක් කරනවා” රේණුකා නිල්මිණි, ඇගේ අදහස් ThePapare.com හමුවේ තැබීය.

හෙට මහරගමදී ලාංකේය වොලිබෝල් ප්‍රේක්ෂකයන්ට උණුසුම් තරඟයක අත්දැකීම් ගෙන එන කණ්ඩායම් දෙකට ThePapare.com සුභ පැතුම්!