සිංහයින් හමුවේ යුධ සෙබළුන් පරාජය වේ

450

“2017 Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය” යටතේ ඊයේ (16) පැවති තරගවලින් යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමත්, සුපර් සන් කණ්ඩායම පරාජය කරමින් නාවික හමුදා කණ්ඩායමත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය

කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති මෙම තරගයෙන් ප්‍රබල යුද හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් ගෝල 2-1ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

Up Country Lions vs Armyතරගය ආරම්භයේ පටන් ප්‍රබල යුද හමුදා කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කරන්නට අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයින් තරගයේ 08 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ අමාටේ එමා විසිනි.

ඉන් අනතුරුව ද ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයින් තරගයේ 23 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වෙමින් තවත් ගෝලයක් වාර්තා කර ගත්තේ යුද හමුදා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. එම ගෝලයේ ද හිමිකරුවා බවට පත්වූයේ අමාටේ එමා ය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය තුළ සිය අණසක පතුරුවන්නට අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයින් සමත් වූ අතර යුද හමුදා කණ්ඩායම පළමු අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කර ගන්නට අපොහොසත් විය.

පළමු අර්ධය: අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය 2 – 0 යුද හමුදා ක්‍රීඩා සමාජය

කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 07ක් තුළ යුද හමුදා කණ්ඩායම සිය පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ නැවතත් තරගයට අවතීර්ණ වෙමිනි. ඒ අනුව යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් එම ගෝලය වාර්තා කර ගැනීමට සමත් වූයේ ඩී. එම්. ද සිල්වා විසිනි.

අනතුරුව යුද හමුදා ක්‍රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට උත්සාහ දැරුවත් අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයින් ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ඒ අනුව තරගය නිමාවට පත්වූයේ ප්‍රබල යුද හමුදා ක්‍රීඩා සමාජය, අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය හමුවේ ගෝල 2-1ක අනපේක්‍ෂිත පරාජයකට මුහුණ දෙමිනි.

දෙවන අර්ධය: අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය 2 – 1 යුද හමුදා ක්‍රීඩා සමාජය

ගෝල ලාභීන්

  • අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය – අමාටේ එමා 08’ සහ 23’
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – ඩී. එම්. ද සිල්වා 52’

නාවික හමුදා ක්‍රීඩා සමාජය – සුපර් සන් ක්‍රීඩා සමාජය

සිටි පාපන්දු සංකීර්ණයේ දී පැවති මෙම තරගයෙන් සුපර් සන් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ගෝල 2-1ක ජයක් වාර්තා කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

තරගය ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ඉතා උද්වේගකර ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ නමුත් ක්‍රීඩා පිටියේ පැවති මන්දගාමී ස්වරූපය නිසා ඊට බාධා ඇතිවිය.

Super Sun vs Navyකෙසේ නමුත් තරගයේ පළමු අර්ධය පුරාවට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හට ගෝල ලබා ගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

දිගු වේලාවක් තරගය තුළ පැවති ගෝල නිහැඬියාව බිඳ දමමින් 37’ වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. එහි දී ක්‍රිශාන්ත පෙරේරා ලබා දුන් පන්දුවට ශහීල් විසින් හිසින් එල්ල කළ පහරක් මඟින් එම ගෝලය වාර්තා විය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ නාවික හමුදා ක්‍රීඩකයින් තරගයේ ඉදිරියෙන් සිටිමිනි.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 1 – 0 සුපර් සන් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගනිමින් 46’ වෙනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට නාවික හමුදා කණ්ඩායම සමත් විය. එම ගෝලයේ හිමිකරුවා බවට පත්වූයේ නිර්මාල් විජේතුංග ය.

කෙසේ නමුත් ඊට පිළිතුරු වශයෙන් සුපර් සන් ක්‍රීඩකයින් තරගයේ 55’ වෙනි මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කර ගත්තේ තරගයේ උණුසුම ඉහළ නංවමිනි. සුපර් සන් කණ්ඩායම වෙනුවෙන් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ක්වබේනා බොන්සු විසිනි.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවටම තවත් ගෝලයක් වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සුපර් සන් ක්‍රීඩකයින් උත්සාහ කළත්, නාවික හමුදා කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැත. අනෙක් පසින් නාවික හමුදා කණ්ඩායමට ද ඉක්මන් අවස්ථාවන් හරහා ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව සුපර් සන් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කර ගන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

දෙවන අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 2 – 1 සුපර් සන් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – අෆීස් ඔලයේමි (සුපර් සන් ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – මොහොමඩ් ශහීල් 37’, නිර්මාල් විජේතුංග 46’
  • සුපර් සන් ක්‍රීඩා සමාජය – ක්වබේනා බොන්සු 55’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට