බ්ලූ ස්ටාර් අතින් නිව් යංග්ස් පරාජය වේ

683
Blue Star vs New Youngs

බ්ලූ ස්ටාර් කණ්ඩායම තම ශූරතා සිහිනය තව දුරටත් රඳවා ගනිමින් නිව් යංග්ස් පිලට එරෙහිව සියුම් ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (22) සමත්විය. තරමක් මන්දගාමී ස්වරූපයකින් ඇදී ගිය තරඟයේ පළමු අර්ධයේදී ඉදිරියෙන් සිටීමට ඇෆොන්ජා ජිබෝලාගේ විශ්මයජනක ගෝලයත් සමඟ කළුතර කණ්ඩායමට හැකි වූවත් දෙවන අර්ධයේදී ගෝල රැස් කිරීමට අපොහොසත් වීම නිසා තරගය වඩාත් තරගකාරි මුහුණුවරක් ගැනිනි.

සොලිඩ් පරදා ජයග්‍රහණය රිනවුන් ක්‍රීඩා සමාජයට

කැළණිය පාපන්දු පිටිය අදත් කාර්යබහුල කරවමින් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් පැවතියේ රිනවුන් ක්‍රීඩා සමාජය සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතරයි. එහිදි ප්‍රතිවාදීන් හට කිසිදු ගෝලයක පහස විඳගැනීමට ඉඩ නොතබමින් රිනවුන් ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රහණය කලේ ගෝල 04-00ක් ලෙසයි.

බ්ලූ ස්ටාර් කණ්ඩායම හා නිව් යංග්ස් කණ්ඩායම අද කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවති තරගයට පිවිසුනේ පිළිවෙලින් 2-2 හා 1-1 වූ ජය-පරාජයෙන් තොරවූ  පසුගිය තරග සමඟිනි.

ආරම්භක සංඥාවේ අවසරයෙන් ක්‍රීඩකයෝ තරගය ආරම්භ කල අතර තරගයේ ප්‍රථම මිනිත්තු දෙක ඇතුලත ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් උදා කර ගත් නිව් යංග්ස් ක්‍රීඩක අමාදිට එය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

විනාඩි දහයකට පසු මොහොමඩ් ෆවුසාන් එල්ල කළ නිදහස් පහරින් වෙන්නප්පුව පිලට  ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගියේ යන්තමිනි.

තරමක් ප්‍රතිප්‍රහාරකාරී ක්‍රීඩා විලාශයකින්  ක්‍රීඩා කළ බ්ලූ ස්ටාර් කණ්ඩායම තම ගෝල සිහිනය යථාර්ථයක් බවට පත්කර ගත්තේ ඇෆොන්ජා ජිබෝලා විසින් 25’’ වන මිනිත්තුවේදී ලබාගත් දර්ශනීය ගෝලයත් සමඟිනි.

ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේදී නිව් යංග්ස් ක්‍රීඩක හසිත ප්‍රියංකර හට ලකුණු මට්ටම සම කරගැනීමට තිබුනු අනර්ඝ අවස්ථාවක් සාර්ථක නොවීය.

ප්‍රථම අර්ධය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 00 – 01 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

පළමු අර්ධයේ තරඟාරම්භ ස්වරූපයෙන්ම ඇරඹුණු දෙවන අර්ධයේදී බ්ලූ ස්ටාර් කණ්ඩායම විසින්  තරමක් ප්‍රවේගකාරි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කෙරිණි. මිනිත්තුවක් ඇතුලත ලද ගෝල අවස්ථා දෙකක් මොහොමඩ් ෆාසීන් වෙතින් ගිලිහී ගියේ අවාසනාවකට මෙනි.

නිව් යංග්ස් පිලට ගෝලයක්  වාර්තා කිරීමට තිබූ හොඳම අවස්ථාව ගිලිහී ගියේ 70′ මිනිත්තුවේදී හසිත ප්‍රියංකර එල්ල කර පහර සාර්ථක නොවීමෙනි. මිනිත්තු 90′ දී නිව් යංග්ස් ක්‍රීඩක ෆව්සාන් හට ලකුණු මට්ටම සම කරගැනීමට තිබුනු අවසාන අවස්ථාවද  සාර්ථක කරගැනීමට නොහැකි විය.

අවසානයට එකතු කරන ලද කාලයේදී ඉ.බී. චන්න විසින් එල්ල කරන ලද පහර සාර්ථක වූවා නම් ලකුණු තත්ත්වය 2-0 වීමට ඉඩ තිබිනි.

සම්පූර්ණ ලකුණු තත්වය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 00 – 01 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

  • ThePapare.com තරගයේ වීරයා: ඇෆොන්ජා ජිබෝලා(බ්ලූ ස්ටාර්)
  • ගෝල ලබාගත් ක්‍රීඩකයන් : ඇෆොන්ජා ජිබෝලා(බ්ලූ ස්ටාර්) 25′
  • කහ කාඩ්පත් : ඇෆොන්ජා ජිබෝලා(බ්ලූ ස්ටාර්) 75′

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට