දෙපසටම ඇදුණු තරඟයේ ජය යුධ හමුදාවට

512
Week 2 DCL

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තවත් තරඟයක් ආරම්භ කරමින් අද (09), යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයත් කැලණිය පාපන්දු ක්‍රීඩාංගනයේදී තරඟබිමට පිවිසි අතර එහිදී ගෝල 3-2ක් වශයෙන් ජයගන්නට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය ලිපි: නිව් යංග්ස් දුර්වලතා රිනවුන් පිළට ජය ගෙන එයි

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරඟාවලියේ දෙවන සතියේ අවසන් තරඟය මෙය වූ අතර කණ්ඩායම් දෙකම ඉතා උනන්දුවෙන් තරඟබිමට පිවිසෙන ලදි.

තරඟයේ මුල සිටම පන්දුව අයිති කරගැනීම සඳහා දෙපිල විසින් උත්සාහ දරනු පෙනිණි. 13 වන මිනිත්තුව වන විට යුධ හමුදාවේ මොහොමඩ් ඉසඩීන්, පිටියේ වම් කෙළවර සිට දෙවරක්ම ඉදිරියට පැමිණියත්, ඒ අවස්ථා දෙකේදීම ඔහුගෙන් සජිත් කුමාර වෙත ලැබුණු හරස් පහරවල් අසාර්ථක විය.

17වැනි මිනිත්තුවේදී යුධ හමුදාවේ මධුශාන් ද සිල්වා වෙත අගනා අවස්ථාවක් ලැබුණද කෙස් ගහක තරමේ දුරකින් ඔහුගේ පහර ගෝලය මඟහැරී ගියේය. 18 වැනි මිනිත්තුවේදී ද තිරුණ පුන්සර වෙත ලැබුණු පහසු අවස්ථාවක් ගෝලයට ඉහලින් පාවී ගියේය.

කෙසේනමුත් 21 වන මිනිත්තුවේදී ඉසඩීන් එල්ලකළ පහර නාවික හමුදා ගෝල රකින්නා වන අජිත් කුමාරට හරිහැටි රැකගැනීමට නොහැකිවීම නිසා ඉසඩීන්ට තවත් අවස්ථාවක් ලැබුණු අතර පන්දුව කෙලින්ම ගෝලය තුළට යවන්නට ඉසඩීන් සමත් විය.

ඊට නිසි පිළිතුරු ලබාදෙමින් නාවික හමුදාවේ ක්‍රිස්ටීන් ප්‍රනාන්දු ගෝලයක් වාර්තා කරන්නේ ඉන් මිනිත්තු තුනකට පසුවයි.

තරඟයේ වේගය යම් තරමකින් අඩු වූ අතරවාරයේදී නැවතත් ක්‍රියාත්මක වූ ඉසඩීන්, යුධ හමුදාවට නැවතත් පෙරමුණ ගෙන දෙන්නට සමත් විය. තරඟය සමකර ගන්නට නාවිකයන් කෙතරම් උත්සහ දරූවත්, ප්‍රථම අර්ධය අවසාන වන විට ඉදිරියෙන් පසුවූයේ යුධ හමුදා කණ්ඩායමයි.

පළමු අර්ධය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 2-1 නාවික හමුදා ක්‍රීඩා සමාජය.

යුධ හමුදාව දෙවන අර්ධයේ මුල සිටම තරඟයට හොඳින් අවතීර්ණ විය.

58 වැනි මිනිත්තුවේදී නාවික ගෝල රකින්නාගේ දෙපා අතරින් පන්දුව නාවික හමුදා ගෝලය තුළට ගියේය. යුධ හමුදාව තවත් ඉදිරියට ගියේ වාසනාවන්ත අයුරිනි.

නාවික හමුදාවේ නිර්මාල් විජේතුංගව අභියෝගයට ලක්කළ අසිකුර් රහුමාන්ට දිනයේ පළමු කහ කාඩ්පත හිමිවිය. 63 වන මිනිත්තුවේදී තිරුණ පුන්සර වෙත හොඳ අවස්ථාවක් ලැබුණද ඔහුගේ පහර එල්ල වූයේ සිය කණ්ඩායමේම සාමාජිකයෙකු වූ සජිත් කුමාරගේ ශරීරය වෙතයි. එය සිනහ උපදවන දර්ශනයක් වූ නමුත් යුධ හමුදාවට අවස්ථාවක් මඟහැරී ගියේය.

63 වන මිනිත්තුවේදී ඉසඩීන් සිය තෙවන ගෝලයත් වාර්තා කිරීමට උත්සාහ කළ නමුත් අජිත් කුමාරගේ දර්ශනීය උත්සාහයකින් නාවික හමුදාව ආරක්ෂා විය. 71 වන මිනිත්තුවේදී සජිත් කුමාර වෙත විනිසුරුගේ අවවාද හිමිවූයේ අවදානම් ආකාරයේ අභියෝගයක් සිදුකිරීම හේතුවෙනි. 85 වන මිනිත්තුවේදී නාවික හමුදාවේ රොෂාන් අප්පුහාමිට ලැබුණු හොඳ අවස්ථාවක් අහිමිව ගියේය.

87 වන මිනිත්තුවේදී නාවික හමුදාවේ මේනක ප්‍රනාන්දු නාවික හමුදාවට බලාපොරොත්තුවක් එක්කරමින් ගෝලයක් වාර්තා කළේය. ඉන් පසුව ජවයකින් ක්‍රීඩා කළ නාවිකයන්ගේ ඩිලාන් පෙරේරාව වළකාගත්තේ යුධ හමුදා ගෝල රකින්නා වන කුමාර සිරිසේන විසින්ය. තරඟය තවතවත් උණුසුම් කරමින් 92වන මිනිත්තුවේදී නාවිකයන් වෙත කෝණ අවස්ථාවක් ලැබිණි.

තරඟය 93වන මිනිත්තුවේදී අවසන් වූයේ යුධ හමුදාව ඉදිරියෙන් තබමිනි.

සම්පුර්ණ කාලය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 3-2 නාවික හමුදා ක්‍රීඩා සමාජය.

ThePapare.com තරඟයේ වීරයා – මොහොමඩ් ඉසඩීන්

යුධ හමුදා කණ්ඩායමේ පුහුණුකරු ෆවුමි මහතා තරඟයෙන් අනතුරුව මෙසේ පැවසීය.

“මාස තුනකට පසු කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය ගැන සෑහීමකට පත්වෙනවා. අපි වඩා හොඳයි කියලා හෝ නාවික හමුදා කණ්ඩායම නරකයි කියා හෝ මම කියන්නෙ නෑ. නමුත් දෙපිලම වැරදි කිහිපයක් සිදුකළා. අපි ඒවා නිවැරදි කළ යුතුයි. අද පන්දුව අතින් ඇල්ලීම ගැන සංඥා නොකිරීම නිසා ඒ විනිසුරු තීරණය ගැන මම අසතුටුයි. එවැනි තීරණ අප විනිසුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.”

නාවික හමුදා පුහුණුකරු ධම්මික අතුකෝරාල කණගාටුවෙන් කියා සිටියේ,

“අපේ කණ්ඩායම ප්‍රථම අර්ධයේදී නම් හොඳින් ක්‍රීඩා කළේ නෑ. නමුත් ගෝල රකින්නාගේ වැරදි නිසා තමයි ගෝල වාර්තා වුණේ. කණ්ඩායම දෙවන අර්ධයේදී හොඳ ක්‍රීඩා ශෛලියක් පෙන්නුවා. අපට තරඟය සම කරගන්න හෝ දිනන්නත් තිබුණා. ඒත් ගෝලය ලඟදි අවස්ථාවන් කිහිපයක්ම ගිලිහුණා.” වශයෙනි.

ගෝල රැස්කළ ක්‍රීඩකයන්.

  • යුධ හමුදාව: මොහොමඩ් ඉසඩීන්  21′, 32′, මධුශාන් ද සිල්වා 58′
  • නාවික හමුදාව: ක්‍රිස්ටීන් ප්‍රනාන්දු 24′, මේනක ප්‍රනාන්දු 87′

කහ කාඩ්පත්.

අසිකුර් රහුමාන් 60, රොෂාන් අප්පුහාමි 90+4.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට