කොළඹ පාපන්දු සමාජය විසින් සොලිඩ් ක්‍රීඩා සමාජය ගෝල 3-0ක් ලෙස අසරණ කරමින් ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ අද (07) කැළණිය පාපන්දු සංකීර්ණයේ පැවති තරඟය ජයග්‍රහණය කලේ වසරේ ප්‍රථම තරඟ ජයග්‍රහණය තමන් සතුකර ගනිමිනි.

පසුගිය ලිපි: බ්ලූස්ටාර්, ගුවන් හමුදා තරඟය ජය පරාජයෙන් තොරයි

මාස හතරක දිගු නිහැඬියාවකින් අනතුරුව තරඟාවලියට පිවිසි සොලිඩ් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම පිළිවෙලින් 2014 සහ 2015 වසර වල ශූරයන් නිසාවෙන් කණ්ඩායම් දෙක අතර තියුණු තරඟයක් අපේක්ෂා කලත් කොළඹ කණ්ඩායමට ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට හැකි විය.

ආරම්භයේ සිටම කොළඹ කණ්ඩායම අන්ත දෙකෙන්ම ප්‍රහාර එල්ල කරමින් සොලිඩ් ආරක්ෂක ක්‍රීඩකයින් පීඩනයට ලක් කල අතර තුවාන් රිස්නිගේ උත්සාහයන් මෙහිදී කැපී පෙනෙන්නට විය.

කොළඹ කණ්ඩායමේ දනුෂ්ක මධුසංඛ විසින් එල්ල කල පහරක් ගෝලය තුලට යොමු වූවත් පාපන්දුව හැසිරවීමේදී ඔහුගෙන් සිදුවූ බාධාවක් නිසා එම ගෝලය විනිසුරුවරයා විසින් ප්‍රතිකේෂ්ප කළේය.

සියලු අපේක්ෂා මල්ඵල ගන්වමින් 32වැනි මිනිත්තුවේදී රිස්නි විසින් යොමුකළ පන්දුව, හිසින් ගෝලය වෙත යොමු කරමින් ඩේවිඩ් ඔසාජි ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

ලකුණු තත්ත්වය සමකිරීමට එඩිසන් ෆිගරාඩෝ විසින් අවස්ථා කිහිපයකදීම උත්සහ කලත් ඒවා අසාර්ථක විය.

ප්‍රථම අර්ධය – කොළඹ ක්‍රීඩා සමාජය 01 – 00 සොලිඩ් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේදී සොලිඩ් කණ්ඩායම වෙතින් යලි තරගයට අවතීර්ණ වීමක් පෙන්නුම් කලත් එම උත්සහයන් සාර්ථක වූයේ නැත.

යළි 69 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අහමඩ් ශස්නි විසින්  එල්ල කල දර්ශනීය පහරත් සමඟ තම කණ්ඩායමේ ලකුණු පරතරය දෙගුණ කරන්නට ඔහුට හැකි විය.

තරඟයේ ඉතිරි වේලාව තුල පන්දුව හැසිරවීම අතින් කොළඹ ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටි අතර තරඟයේ අගභාගයේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස එක්වූ නිරාන් කනිෂ්ක විසින් ලබාගත් ගෝලයත් සමඟ කොළඹ ක්‍රීඩා සමාජය ගෝල 3-0 ලෙස  ජයග්‍රහණය කර  අතර එම ප්‍රතිඵලය අනුව කොළඹ ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට යාමට හැකිවිය.

දෙවන  අර්ධය – කොළඹ ක්‍රීඩා සමාජය 3 – 0 සොලිඩ් ක්‍රීඩා සමාජය

පුහුණුකරු සොලිඩ් ක්‍රීඩා සමාජය – මොහොමඩ් රූමි

” අපේ පළමුපෙල ක්‍රීඩකයන් පස් දෙනෙක් අබාධ වලට ලක් වී සිටීම හා මම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කිරීමේ කටයුතුවල යෙදී සිටීම මෙම පරාජයට හේතු වුනා කියලා හිතෙනවා. ඒත් සමස්ථයක් විදිහට අපි හොඳින් ක්‍රීඩා කළා.”

පුහුණුකරු කොළඹ ක්‍රීඩා සමාජය – මොහොමඩ් ජස්මින්

“අපි මෙම තරඟය බලාපොරොත්තු වූ විදිහටම ක්‍රීඩා කළා. ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ පුරප්පාඩුවක් හේතුවෙන් නායක රවුමි ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස භාවිතා කිරීම සාර්ථක වුනා. ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟයේදීත් අපි අත්හදා බැලීම් කරමින් ඉදිරි ශූරතාවය සඳහා හැඩගැහෙනවා.”

ThePapare.com තරඟයේ විරයා – අහමඩ් ශස්නි

ගෝල ලබාගත් ක්‍රීඩකයන්

කොළඹ ක්‍රීඩා සමාජය : ඩේවිඩ් ඔසාජි 32′, අහමඩ් ශස්නි 69′, නිරාන් කනිෂ්ක 89′

කහ කාඩ්පත්

සොලිඩ් ක්‍රීඩා සමාජය : ශානක ප්‍රබෝද් 42′  දීපාල් කුලරත්න 67′

 තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට