Dialog සම්මානලාභී ගලහිටියාවේ වීරයා “සඳරුවන්”

170

“Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019” සම්මාන උළෙලේ දී ආධුනික නැඟී එන පාසල් (Up and Coming Schools) වෙනුවෙන් සම්මාන ප්‍රදානයේ දී හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සඳරුවන් චින්තක. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ගනේමුල්ල, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය මේ වසරේ දී ද සුපුරුදු ලෙසින් ම තරගාවලියට එක්වෙන්නේ තෙවැනි කොටසේ කණ්ඩායමක් ලෙසිනි. මෙය වසර කිහිපයක් තිස්සේම මේ ආකාරයෙන් සිදු වූවද මෙවර ඔවුන් තරගාවලිය නිමා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට දක්ෂ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බිහි කරමිනි. 

“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ……

“තරගාවලිය ආරම්භයේ දී ම මගේ උත්සාහය වුනේ ලැබෙන සෑම තරගයක්ම හොඳින් කරලා, පාසලට කීර්තියක් ගෙන දීම වගේම මගේ දක්ෂතා ද එළිදක්වමින් ක්‍රිකට් පිටියේ ඉදිරියටම යන්න. තරග දෙක තුනක් අවසන් වෙද්දී මගේ මේ බලාපොරොත්තුව දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ඉදිරියට පැමිණීම දක්වා වර්ධනය වුනා. ඒ සිතූ ආකාරයටම මට ඒ ගමන යන්න හැකි වුනා.” සඳරුවන් Dialog 4G සම්මානය ලැබීමේ උණුසුමත් සමගින් ThePapare.com සමඟ එක් වූයේ එලෙස පවසමිනි. 

සඳරුවන් නිමා වූ 2018/19 වයස අවුරුදු 19න් පහළ තරග කාලය අවසන් කරද්දී දකුණත් ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් ශතක 2ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 1383ක් ලබා ගන්නේය. පිතිකරුවෙක් ලෙසින් ඔහුගේ හොඳම දක්ෂතාව වන්නේ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 160යි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 112ක් පමණක් වැය කරන අතර හතරේ පහර 8ක් සහ හයේ පහර 12ක් එම ඉනිමට ඇතුළත් කරන්නේය. 

ඉන් නතර නොවන ඔහු දකුණතින් පා දඟපන්දු යවමින් කඩුලු 80ක් වාර්තා කිරීමට ද සමත් වෙන්නේය. ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 6ක් වාර්තා කරන ඔහු තරගයක දී කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් වාර්තා කරන්නේය. ඔහුගේ හොඳම ඉනිමක පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ ලකුණු 14කට ලබාගත් කඩුලු 6යි. 

මේ දක්ෂතා හේතුවෙන්ම මෙවර “Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019” සම්මාන උළෙලේ දී සඳරුවන් ආධුනික නැඟී එන පාසල් (Up and Coming Schools) අතරින් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නේය. 

“Dialog සම්මාන උළෙල වැනි සම්මාන උළෙලක දී මගේ දක්ෂතා අගය කළ පළමු අවස්ථාව මේක. ඇත්තට ම ඒ සම්මානයට මාව නිර්දේශ කර තිබීමත් මට ලොකු ගෞරවයක් ලෙසිනුයි, හැඟී ගියේ. මට මගේ විශ්වාසය අනුව දක්ෂතා අතරට එන්න පුළුවන් වුනා. ඒ වෙනුවෙන් විශාල ලෙසින් මහන්සි වුනා. පාසල්, පංති නොගියත් මම කවදාවත් ක්‍රිකට් පුහුණුවීම් මඟ හැරියේ නැහැ. හැමදාම පුහුණුවීම්වලට සහභාගී වෙලා ඒ දේවල් නිසි විදිහට කළා. මම විශ්වාස කරනවා මට මේ සම්මානය ලැබුණේ ඒ කැපවීමට කියලා. මම ඒ ගැන සතුටු වෙනවා.” සඳරුවන් තව දුරටත් ප්‍රකාශ කළේය

සඳරුවන් ගලහිටියාවෙන් තම ක්‍රිකට් දිවිය වර්ණවත් කර ගත්ත ද ඔහු පළමු වෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කරන්නේ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙනි. ඔහු පළමු වසරේ සිට 11 වසර දක්වාම ඉගෙනුම ලබන්නේ එම විද්‍යාලයේය. 

“මම ශිෂ්‍යත්ව පංතියේ ඉගෙනුම ලබද්දී අම්මගෙන් පොරොන්දුවක් ගත්තා. ඒ ශිෂ්‍යත්වය අවසන් වුනාට පස්සේ ක්‍රිකට් පුහුණුවීම්වලට එක්ක ගෙන යන්න කියලයි. අම්මගේ එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ මගේ ක්‍රිකට් වෙනුවෙන් තිබුණ ආසාවට. ඒත් අම්ම මගේ කීමට ඒ අවස්ථාවේ කැමති වුනා. කිව්ව වගේම මගේ ක්‍රිකට් ජීවිතය පටන් ගන්නේ ඊට පස්සේ.” සඳරුවන් මතකය ආවර්ජනය කළේය. 

මහානාම ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ පවන්ගේ නඩය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ ………

ඒ ආවර්ජනය එතරම් සුන්දර නැත. සඳරුවන් හැරෙන්නට වෙනත් කෙනෙක් වූවා නම් එය ඔහුගේ ක්‍රිකට් දිවියේ ආරම්භයත් අවසානයත් එකම දිනයේ වීමට ඉඩ තිබුණි. 

“මම අම්මත් එක්කයි පුහුණුවීම්වලට ගියේ. අම්ම මාව බාර දුන්න සර් ටික වේලාවකින් මාත් එක්ක අම්ම ළඟට ඇවිත් කිවුවා මෙයා හරි යන්නේ නැහැ එක්කගෙන යන්න. සෙල්ලම් කරන බැහැ. හදන මට්ටමකත් නැහැ කියලා.” සඳරුවන් පැවැසුවේය.

මේ හඳුන්වා දීම ඕනෑම කෙනෙක්ගේ ක්‍රීඩාවක් නතර කරන ලකුණු වීමට හොඳටම ඉඩ තිබුණි. කුඩා සඳරුවන්ට ඒ ගැන එදා එතරම් වැටහීමක් තිබී නැත. ඔහු එදා ගෙදර එන්නේ ඊට පසුවදා නැවත පුහුණුවීම්වලට යෑමට ය. 

එහෙත් සඳරුවන්ගේ මව. ඇය මේ සහතිකයත් සමඟින් එළඹෙන දිනය කෙසේ තීරණය කරයි ද? කෙසේ වෙතත් තම පුතාගේ ක්‍රිකට් සෙල්ලමේ තරම දන්නා මව, කේ. පියසීලි මහත්මිය මේ කියමන තඹේකට මායිම් නොකළාය. එහෙත් පුහුණුකරු කියූ දෑ…? ඇය දෙලොවක් අතර අතරමං වූ ප්‍රශ්නය වූයේ එයයි. ඇය මේ ගැටලුව ලිහා ගන්නේ අසල්වාසීන් සහ පාසල හා ඇසුරු කරන අයගෙන් විස්තර විමසමිනි. එහි දී ඇය දැන ගන්නේ පුතා ගැන සහතිකය දුන් තැනැත්තා සහායකයෙක් බවයි. ඇය පසුව දා ද සුපුරුදු වේලාවට ම ක්‍රිකට් පුහුණුවීම්වලට සඳරුවන් කැටුව ගියාය. 

“එදා හිටියෙ වෙන සර් කෙනෙක්. අම්ම මාව ඒ සර්ට බාර දුන්නා. මම හවස් වෙනකම්ම සෙල්ලම් කළා. පුහුණුවීම් ඉවර වුනාම අම්ම සර්ගෙන් මම ගැන ඇහුවා. ඒ වෙලාවේ සර් කිවුවේ, හොඳ හැකියාවක් තියෙනවා. අත අරින්නේ නැතිව හදල ගත්තොත් ජාතික කණ්ඩායම දක්වා යන්න පුළුවන් කියලයි.”

පුතාගේ ක්‍රිකට් සෙල්ලමට එතරම් ම කැමැත්තකින් නොසිටියට ද, එතැන් සිට සඳරුවන්ගේ සෙවණැල්ල සේ රැඳී සිටීමට මව ඉටා ගත්තාක් මෙන් සෑම තරගයක්ම පැවැත්වෙද්දී සඳරුවන්ගේ මව ද එහි වූවාය. එවකට යුද හමුදාවේ සේවය කළ සඳරුවන්ගේ පියා වන වයි. ඒ. ඩී. චන්ද්‍රරත්න මහතා සඳරුවන්ගේ තනි නොතනියට පිට්ටනි ගානේ නොපැමිණිය ද අවශ්‍ය සෑම දෙයක් ම කිරීමට ඔහු නොපසුබට විය.  

කෙනෙක්ගේ කතාව බොරු කරමිනුත් තවෙකෙක්ගේ කතාව සත්‍ය කරමිනුත් සඳරුවන්ගේ කතාව අපට මෙතැන් සිට ගලපා ගත හැකිය. 

ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩා කළ පළමු වසරේ දී ම සඳරුවන් තෙවැනි කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අභිෂේක ලබන්නේය. එපමණක් නොවේ එම වසරේ දී පරාක්‍රම විද්‍යාලය දෙවැනි කාණ්ඩයට උසස් කිරීමට ද සඳරුවන්ගේ දක්ෂතා උපයෝගී වෙන්නේය. දෙවැනි වසරේ දෙවැනි කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි සඳරුවන් එවර තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබන්නේය. ඒ සඳරුවන්ගේ වසර දෙකක දක්ෂතා ය. 

වයස අවුරුදු 15න් පහළ පළමු වසරේ දී මතක හිටින යමක් කිරීමට සඳරුවන්ට නොහැකි වූව ද දෙවැනි වසරේ දී ලකුණු 500කට ආසන්න ප්‍රමාණයක් කඩුලු 15කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් බස්නාහිර පළාත් වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට සුදුසුකම් ලැබීමට වාසනාව ලැබුවේය. 

ක්‍රිකට් ලෝක කුසලානයක පහස ඉන්දියාවට ලබා දුන් ‘ජිමී’

ඉදිමුණ තොල් සගලකින් ද, ලේ තැවරුණ කමිසය ද හැඳගෙන ඔහු ……….

එතැනින් පරාක්‍රම විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවතීමේ තිත තබන සඳරුවන් අනතුරුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණෙන්නේය. එවකට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නේ දෙවැනි කාණ්ඩයයි. නමුත් එවකට සඳරුවන් ඇතුළු කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙති. ඒ හේතුවෙන් ඊළඟ වසරේ දී එම කාණ්ඩයේ පළමු කොටසින් තරග වැදීමට ගලහිටියාවට උසස් වීම් ලැබෙන්නේය. ඊට පසු අවුරුද්දේ දී පළමු කොටස නියෝජනය කරමින් සඳරුවන් තරග 6කට මුහුණ දෙමින් ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 525ක් ලබා ගෙන කණ්ඩායමේ විශ්වාසවන්ත ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේය. 

වයස අවුරුදු 19න් පහළ තෙවැනි කාණ්ඩයේ තරගාවලිය යටතේ 2017/18 තරගාවලිය නියෝජනය කළ ගලහිටියාව ක්‍රීඩකයන් අතුරින් සඳරුවන් එවර ශතක දෙකක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 744ක් ද, කඩුලු 27ක් ලබා ගනිමින් දක්ෂතා දක්වන්නේය. මෙවර තරගාවලියේ දී ඔවුන් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට වරම් ලැබීම හේතුවෙන් එළඹෙන වසරේ දී දෙවැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා සිටී. එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ සඳරුවන් වෙත ය. 

“විශාල වගකීමක්. නමුත් ඉතා හොඳින් මේ තරගාවලියට මුහුණ දෙන්න අපි සූදානම් වෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් කණ්ඩායමේ සහ පළාත් කණ්ඩායම නියෝජනය කරමින් ලබා ගත් අත්දැකීම් මේ තරගාවලියේ දී උපයෝගී කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” සඳරුවන් පැවැසුවේය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ අවසන් 25 දෙනා අතර සැරිසරන්නෙක් බවට ද සඳරුවන්ගේ දක්ෂතා උපයෝගී කරගෙන තිබේ. සඳරුවන්ගේ ගමනේ දී පාසල් දෙකටම උසස් වීම් ලබා දීමට ඔහුගේ දක්ෂතා උපයෝගී වී තිබේ. එවැනි දක්ෂතාවක් කෙනෙක්ට වේ නම් ඒ කලාතුරකින්ම විය හැකිය. නමුත් මේ සඳහා පැමිණි ගමන ලෙහෙසි නොවන බවයි ඔහු පවසන්නේ. 

පියා සමඟින්

“විශාල ලෙසින් අඩු-පාඩු තිබුණා. අපේ පවුලේ මමත් අක්කත් පමණක් වුනත් අක්කගෙ අවශ්‍යතාවලට වඩා මගේ අවශ්‍යතා වැඩි වුනා. මොන දේ කිවුවත් අම්මත් තාත්තත් ඒ දේ මට ගෙනත් දුන්නා. සමහර අවස්ථාවල දී ණය වෙලා පවා මට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ගෙනත් දීල තියෙනවා. ඇත්තටම මම මේ තත්ත්වයට ගෙනාවෙ මගේ අම්මත් තාත්තත්. ඒ වගේම මගේ අවශ්‍යතා ඉදිරියේ අක්කා, ඇයගේ අවශ්‍යතාවක් මඟ හැර ගත් අවස්ථාවන් ඕනෑ තරම්. ඇය කළ කැප කිරීම ද මගේ ගමනට ආශීර්වාදයක් වුනා.”

සඳරුවන්ගේ ස්තූති කතාවේ ඔවුන්ට අමතරව චානක මන්ත්‍රීරත්න, අසේල සම්පත් සේ ම සුදේෂ් යන මහත්වරුන් ද, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් සියලුම දෙනා ද පරාක්‍රම විද්‍යාලයේ සහ ගලහිටියාව විද්‍යාලයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු සියලුම දෙනා ද විද්‍යාල දෙකේම ඔහු සමඟ ක්‍රීඩා කළ සෑම ක්‍රීඩකයෙක්ම ද සිහිපත් කිරීමට ඔහු අමතක නොකළේය.

“තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වල ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊට පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා.” සඳරුවන් ThePapare.com වෙත තම බලාපොරොත්තු පැවැසුවේ ඒ ආකාරයෙනි.

ඔහුගේ එම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවායි ThePapare.com හි අපගේ ද පැතුමයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<