කන්ද උඩරට සුලෝහිත සටනේ පළමු දිනයට විමුක්තිගෙන් 87*ක්

217
Dharmaraja v Kingswood Big match day 1

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ලෙසින් ප්‍රචලිත මහනුවර කිංස්වුඩ් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර 111 වැනි වරටත් පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරගය අද (17) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය. එහි දී විමුක්ති විජේසිරිවර්ධන හා නිවන්ත හේරත් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

චාමර කපුගෙදර, සඳුන් වීරක්කොඩි, නුවන් කරුණාරත්න වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දායාද කිරීමට සමත් වූ මෙම පාසල් මහා සටනේ වැඩි ගෞරවය දිනා ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත්ව සිටින්නේ තරග 35ක් ජයග්‍රහණය කරමිනි.

[rev_slider dfcc728]

කෙසේ හෝ තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව දෙපිලේම නායකයින් කාසියේ වාසිය උරගා බැලූ අතර, එය ජයග්‍රහණය කල කිංස්වුඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

කිංස්වුඩ් විද්‍යාලයට අභියෝගයක් වෙමින් කිංස්වුඩ් මුල්පෙළ පිතිකරුවන් 9 දෙනාම ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට නිවන්ත හේරත් ඇතුළු ධර්මරාජ පන්දු යවන්නන් සමත් විය. මුල සිටම තරගයේ සම්පූර්ණ පීඩනය කිංස්වුඩ් විද්‍යාලයේ හිස මත පතිත වන විට, නොසැලී ක්‍රීඩා කල විමුක්ති තම විදුහල් ලකුණු පුවරුව කඩා වැටී ඇති බව දැක අධිෂ්ඨානශීලී පිතිකරණයක නිරත විය.

එක් මොහොතක දී කඩුලු 9ක් දැවී ලකුණු 108ක් ලෙස සටහන් ව තිබූ කිංස්වුඩ් ලකුණු පුවරුව ලකුණු 167ක් දක්වා ඔසවා තැබීමට අවසන් පිතිකරු සහ විමුක්ති සමත් විය. එහි දී විමුක්ති අවසන් කඩුල්ල ආරක්ෂා කරගෙන මනරම් පිතිකරණයක නිරත වූ අතර, අනෙක් අන්තය රැක ගෙන උපක්‍රමශීලීව ධර්මරාජ ක්‍රීඩකයින් නොසිතූ ලකුණු මට්ටමකට තම කණ්ඩායම ඇඳගෙන යන ලද්දේ තම විද්‍යාලයට යම් සැනසීමක් ගෙන එමිනි.

නිවන්ත හේරත් ලකුණු 27ක් තුල කඩුලු 4ක් ඩැහැ ගන්නා විට, නවින්ද ඩිල්ශාන් හා ගිහාන් විතාරණ අතරේ කඩුලු දෙක බැගින් බෙදී යන ලදි.

තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ධර්මරාජ විද්‍යාලය දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබාගෙන සිටින අතර, ගනිදු කෞෂල්‍ය විසින් එම කඩුලු දෙකම දවාලන ලදි.

ධර්මරාජ විද්‍යාලය කිංස්වුඩ් විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 126ක් පසුපසින් පසුවෙයි.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 167 (64.4): විමුක්ති විජේසිරිවර්ධන 87*, නිවන්ත හේරත් 4/27, නවින්ද ඩිල්ශාන් 2/27, ගිහාන් විතාරණ 2/55

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 41/2 (30): ගනිදු කෞෂල්‍ය 2/18

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (18) ක්‍රියාත්මක වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට