දේවපතිරාජය දෙකෙන් එකට ගෙනා “නිහඬ විප්ලවකාරයා“

1182

1996 වසරේ අවසන් කාර්තුවේ දී පාසල් කොල්ලෙක්ගෙන් ලැබුණ ලිපියකින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ගුරු මණ්ඩලය කැළඹෙති. ඉල්ලීම වී තිබුණේ වාර්ෂික ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ය.

මේ ලිපියෙන් වඩාත් කැළඹෙන්නා විදුහල්පති නිශ්ශංක ගුණසේකර මහතා ය. ඒ එවකට දේවපතිරාජයේ ක්‍රිකට් පැවැතියේ යලට මහට වීම නිසාය. නමුත් ඉල්ලීම ඉවත දැමීමට තරම් හිතක් ඔහුට නොවීලු. එනිසාම විද්‍යාලයීය ගුරු මණ්ඩලය කැඳවා ඔවුන්ගේ ද එකඟතාව අනුව වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු කරති. එය දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ කේන්ද්‍රීය ස්ථානයකි.

අම්බලන්ගොඩ සහෝදරවරුන්ගේ සටන දෙවැනි වරටත්

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් ද්විත්වයක් වන රත්ගම දේවපතිරාජ…

“ඒ කාලෙ අපි රත්ගම ඒකාබද්ධ ක්‍රිකට් කණ්ඩායම කියල ක්‍රීඩා සමාජයක් පවත්වා ගෙන ගියා. මම පාසල් වයසේ හිටියේ. ක්‍රිකට් ඇම්ම හොඳටම තිබුණ කාලෙ. හැම පාසලක්ම බිග් මැච් එකක් ගහද්දී මටත් හිතුණා අපිටත් බිග් මැච් එකක් තිබුණා නම් හොඳයි කියලා. ඒත් අපේ පාසලේ හරිහමන් ක්‍රිකට් කණ්ඩායමක් හිටියේ නැහැ. රත්ගම ඒකාබද්ධෙට සෙල්ලම් කළේ දේවපතිරාජයේ ම අය. විදුහල්පති නිශ්ශංක සර් එක්ක මේ ගැන මුහුණට මුහුණ හමුවෙලා කතා කරන්නත් බැහැ. නමුත් බිග් මැච් සිහිනයත් ලොකුවට ම තියෙනවා. ඕන දෙයක් වෙන්න කියල අනිතිමට කළේ ලියුමක් දාපු එක.”

මේ දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ අවස්ථා සම්බන්ධතා වැඩි හරියකට ම දායක වූ රංජන් ලසන්ත තමන්ට මතක අතීතය සිහිපත් කරමින් ThePapare.com සමඟ එකතු වෙමින් කළ පළමු සිහිපත් කිරීමයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කාණ්ඩයේ 2017/18 තරග වසර පසුගිය දා නිමා වූයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට ජයග්‍රහණය හිමිකර දෙමිනි. ඒ අනුව ඔවුන් එළඹෙන තරග කාලයේ දී පළමු කොටසින් තරග වැදීමට නියමිත ය. මේ ජයග්‍රහණය පසුපස සිටි යෝධ සෙවණැල්ල වූයේ පුහුණුකරු රංජන් ලසන්ත ය. 2000 වසරේ සිට දේවපතිරාජයේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ඔහු තෙවැනි කාණ්ඩයෙන් දෙවැනි කාණ්ඩයට ආ ගමනේ ද දෙවැනි කාණ්ඩයෙන් පළමු වැනි කාණ්ඩයට පැමිණි ගමනේ දී ද පුහුණුකරු වූයේ ය.

රත්ගම දේවපතිරාජයන් දෙවැනි කොටසේ ශූරයෝ වේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න්…

“මගේ ඉල්ලීම අනුව අපිට 1997 වසරේ දී හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමග බිග් මැච් එකක් සෙල්ලම් කරන්න ලැබෙනවා. ඒකට විශේෂයෙන් ම ස්තූති කරන්න ඕන නිශ්ශංක ගුණසේකර විදුහල්පති තුමාට. එතුමා අද ජීවතුන් අතර නැති වුනත් ඔහු අපිව ගෙනැල්ල අපේ ආශාවට ඉඩ දුන්නා. අපිට අවස්ථාවක් ලබා දුන්නා. නමුත් අපිට ඒ තරගය දිනන්න බැරි වුනා. ඒ වුනත් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ඒක ගොඩාක් බලපෑවා.  ”

රංජන් ලසන්ත පාසල් කාලයෙන් පසු එහෙමට ම කියා ක්‍රිකට් ක්‍රීඩාවක් කර නැත. ඔහු ම කියන අයුරින් එය තෙවැනි කාණ්ඩයේ ක්‍රිකට් තරග කිහිපයක් පමණි. එසේ වූව ද ක්‍රිකට් පිළිබඳ ව වූ රංජන්ගේ නොතිත් ආසාවේ නිමාවක් තිබී නැත. ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙකි. හොඳ නරඹන්නෙකි. රංජන් මේ සියලු අත්දැකීම් ලබන්නේ රත්ගම ඒකාබද්ධ කණ්ඩායමෙනි.

“අපි දිගට ම රත්ගම ඒකාබද්ධ කණ්ඩායම පවත්වා ගෙන ආවා. මේ කාලෙ ඒකෙ සභාපති වුණේ නිශාන්ත කුමාර සර්. මගේ ගුරුවරයා. අපෙන් දේවපතිරාජයේ ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව යම් තැනකට ගෙනාවේ නිශාන්ත සර්. ඔහුගේ ආරාධනාවක් මත තමයි මම මගේ ම පාසලේ ක්‍රිකට් පුහුණු කරන්න එන්නේ. ඒ වෙද්දි ඒ පිළිබඳව මට එහෙම දැනීමක් තිබුණේ නැහැ. මම කළේ ක්‍රිකට් ගහපු එක සහ ක්‍රිකට් වෙනුවෙන් උනන්දුවෙන එක විතරයි. නමුත් නිශාන්ත සර් මේ අභියෝගය ලබා දුන්න දවසේ ම මම හිතාගත්තා ඒ දේ හරියට ම කරනවා කියලා. මොකද මගේ හිතේ වෙනත් කිසිම දෙයක් තිබුණෙ නැහැ ක්‍රිකට් හැර. මම ඉතා ම ආසාවෙන් ඒ දේ බාර ගත්තා.“

අම්බලන්ගොඩ සහෝදරවරුන්ගේ සටන දෙවැනි වරටත්

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් ද්විත්වයක් වන රත්ගම දේවපතිරාජ…

රංජන්ගේ ක්‍රිකට් පුහුණුකාර කටයුතු ආරම්භ වෙන්නේ2000 වසරේ දී ය. ඒ දේවපතිරාජයේ වයස අවුරුදු 13න් පහළ සහ 15 පහළ කණ්ඩායම් පුහුණුකරු ලෙසිනි. අනතුරුව 2003 වසරේ සිටි සියලුම කණ්ඩායම්වල පුහුණුකරු වෙන්නේ රංජන් ය.

“අපි මුලින් ම කුසලානයකට දිනන්නේ 2004 වසරේ දී වයස අවුරුදු 16න් පහළ තෙවැනි කොටසේ අනුශූරතාවය. අවසාන තරගය තිබුණේ ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය සමඟ. එතැන සිට අපි ඉතා ම කෙටි කාලයකින් වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ පළමු කොටසට පිවිසෙනවා. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අවුරුදු 4ක් තෙවැනි කොටසේ ක්‍රීඩා කරනවා. ඊට පස්සෙ තවත් අවුරුදු 4ක් ගෙවෙන මේ අවුරුද්දේ අපිට දෙවැනි කොටසින් පළමු කොටසට උසස් වෙන්න අවස්ථාව උදාවෙනවා. පුහුණුකරුවෙක් ලෙසින් එද්දි මම ගහල තිබුණෙ ඩිවිෂන් ත්‍රී එකක් විතරයි. එතැන ටික කාලයක් සිටිද්දී ඩිවිෂන් ටූ එකක් ගැහුවා. මම ක්‍රිකට් ඉගෙන ගත්තේ අනෙක් අය කරන කියන දේ බලා සිටලා. හැම කෙනෙක්ගෙන් ම මම ඉගෙන ගත්තා.විශේෂයෙන් ම මතක් කළ යුතුයි දේවපතිරාජ ක්‍රිකට්වලට උදව් කළ අය අතුරින් නිශාන්ත සර් විශේෂයි. නිශාන්ත සර් අපිව යම් තැනකට ගෙනාවා. ක්‍රිකට්වලින් පමණක් නොවේ. අපේ ජීවිත පවා හැදුවා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. “ ඒ රංජන්, රංජන්ගේ ක්‍රිකට් වපසරිය දකින අයුරුය.

“ඒ වගේ ම තමයි මම අදටත් මේ වෙනුවෙන් මගේ කාලයෙන් වැඩි කාලයක් ගත කරනවා. හෙට ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් අද දවසේ ඒ ගැන ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් එක ඇතුලේ කරන කියන දේ විතරක් නෙවේ ක්‍රීඩකයන් ද සිටිනවා. මම විශ්වාස කරනවා අපිට මේ ගමන මේ තරම් ඉක්මනට එන්න පුළුවන් වුණේ ඒ කැපවීම මත කියලා. “ රංජන් නැවත පැවසුවේ ය.

මේ ගමන පහසු වන්නට නැති බැව් රංජන්ගේ කතාව සාධාරණීය කරණය කරයි. බාධක අතුරින් පැමිණි ප්‍රධානතම බාධකය වන්නේ 2004 වසරේ දී සුනාමි ව්‍යසනයට දේපතිරාජයන්ට මුහුණ දීමට සිදු වීමයි. නමුත් එය බාධාවක් කර නොගනිමින් තමන්ගේ ගමන යෑමට රංජන් ඇතුළු පිරිස සමත් වන්නේ ය.

“අපේ ගමනෙදි වැඩිම හරියක් තිබුණෙ බාධක ම තමයි. අදටත්  එහි වෙනසක් නැහැ. ක්‍රිකට් ගහන්න කියල කිසිම දෙයක් තිබුණෙ නැහැ. අඩුම තරමින් පුහුණුවීම්වලට අවශ්‍ය බෝල පවා තිබුණේ නැහැ. කැඩිච්ච බෝලවලට ටේප් ගහල තමයි අපි පුහුණුවීම් කළේ. අනෙකුත් උපකරණවල පවා අඩු-පාඩු බොහෝමයි. කාගෙන්වත් ලැබෙනකම් නොසිට අපි අපට තියෙන විදිහට පුහුණුවීම් කළා. එදා සිට ම අපිට පාසලෙන් ලැබුණේ තරගාවලියේ තරගවල විනිසුරු ගාස්තු සහ ක්‍රීඩාංගණ ගාස්තු පමණයි. අනෙක් සෑම දෙයක් ම ක්‍රිකට් ක්‍රීඩා කළ ළමයින්ගේ දෙමාපියන් විසින් තමයි කළේ. ඔවුන් විශාල කැපවීමක් කළා. මෑතක දී ආදි ක්‍රිකට් සංසදය අපිට සහයෝගය දක්වනවා. අඩුම තරමින් අපිට සයිඩ් විකට් එකක් නෙට් එකක්වත් නැහැ. ඒකත් අපි විසින් හදාගත්ත එකක් තමයි තියෙන්නේ. “ රංජන් සිහිපත් කරන්නේ ය.

දේවපතිරාජයන්ගේ මේ ක්‍රිකට් ගැහිල්ල ලෙහෙසියක් නොවූව ද මේ මගින් පන්නරය වෙමින් ක්‍රිකට් ලොව ජය ගත් ක්‍රීඩකයෝ බොහොමයකි. තරිඳු කෞෂාල් ඒ අතුරින් කියැවෙන පළමු වැන්නා ය. දේවපතිරාජයන් අතුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන පළමු වැන්නා වන්නේ තරිඳු ය.

“පුහුණුවීම්වල දී වැඩි හරියක්ම මහන්සි වෙලා කැප වුණේ කෞෂාල්. ඔහු ඉතා හොඳ සටන්කාමියෙක්. ලෙහෙසියෙන් පරාජය වෙන්න කැමති කෙනෙක් නෙමේ. ඔහුට ඕන වුණේ තමන් මුහුණ දෙන ඕනෑම තරගයක දී තමන්ගේ යුතුකම නොපිරිහෙළා ඉටු කරන්න. අළුත් අළුත් දේ ඉගෙන ගන්න. ඔහු අපිට ලැබුණ සම්පතක්. ඒ වගේ ම තමයි රොෂාන් ලක්මාල්, ගයාන් හර්ෂප්‍රිය, නිර්වන්ත තීක්ෂිල වගේ අය දේවපතිරාජයෙන් බිහි වූ දක්ෂයන්. වර්තමාන කණ්ඩායමේ සිටින රවීන් යසස් ගැන ද අපිට ඇත්තේ ඉතා ම ඉහළ බලාපොරොත්තුවක්. “

මේ පුහුණුකරුවෙක් සතු වත්කම් ය. මේ වත්කම් ලබා ගැනීමේ දී රංජන් පළමු දශකයේ දී පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරනුයේ ස්වේච්ඡාවෙනි. ඒ වෙනුවෙන් කිසිදු ගෙවීමක් නොලැබුණ ද ඔහු තමන් බාර ගනු ලැබූ කාර්ය නොපිරිහෙළා ඉටු කළේය. අඩු-පාඩු එමට තිබුණ ද ඒ සියල්ල පසෙක තබමින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මුවහත් කිරීමට ඔහු නිරතුරුව වෙහෙසුණේ ය. නමුත් ඇතැම් තැන්වල දී ඔවුන්ව නොසලකා හැරීම ගැන නම් රංජන්ට ඇත්තේ චෝදනාවකි.

“අපිට අපේ ක්‍රීඩකයන්ට අහිමි වූ දේවල් බොහෝමයි. විශේෂයෙන් ම කියන්න ඕන අපි ෆයිනල් එකක් ගැහුවත් මේ කිසිදු තරගයකට සිලෙක්ටර් කෙනෙක් හෝ අඩුම තරමින් පළාත් හෝ දිස්ත්‍රික් පුහුණුකරුවෙක් අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා බලන්න ආවෙ නැහැ. අපි ෆයිනල් සිලෙක්ට් වුණහම පුහුණුවීම්වලට ටර්ෆ් විකට් එකක් ඉල්ලුවා. ඒක ලැබුණෙත් නැහැ. ඒ දේවල් නැති වුනත් කමක් නැහැ. අඩුම තරමින් අපේ තරග බලන්න එන්න තිබුණා. වයස අවුරුදු 19න් පහළ ට්‍රයල්ස් අපේ අය හොඳට කරලත් බැලුවෙ නැහැ. රවීන් යසස් වගේ කෙනෙක් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට හොඳ බෝනස් එකක්. නමුත් ඔහුට අවස්ථාවක් ලැබුණෙ නැහැ. වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයෙක් ඉන්නවා 19න් පහළ තරගවල දී ශතක දෙකක් ලබා ගත්ත. එහෙත් වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරද්දී ඔහු නැහැ. මේ දේවල් මගින් අවස්ථාවන් අහිමි වෙන්නේ අපේ ක්‍රීඩකයන්ට. අඩුම තරමින් මේ අයට අපේ ෆයිනල් එක හෝ බලන්න එන්න තිබුණා. කුරුණෑගල අය ඇවිත් හිටියා. එහෙම නම් අපේ අයට එන්න බැරි කමක් නැහැ නේද?“ රංජන් පෙරළා අපෙන් ද විමසන්නේ ය.

රංජන්ගේ චෝදනාව හදවතින් ම නැගෙන්නකි. රංජන් සාමාන්‍යයෙන් බලවත් ම වරදක් නොවී නම් කිසිවක් ම නොපවසන තැනැත්තෙකි. නිහඬ විප්ලවකරුවෙකි. ඔහුගේ මේ ගමන සුළු-පටු නැත. ඇතැම් විට මේ තරම් ඉක්මනින් පළමු කොටස දක්වා පැමිණි පාසලක් නොමැති තරම් ද විය හැකිය. දේවපතිරාජයෝ ක්‍රීඩා කළ සෑම තරගාවලියක දී ම කුමක් හෝ කතා කළ යුතු යමක් කළහ. අවධානය දිනා ගත්හ. එහෙත් තීරණාත්මක කණ්ඩායම් තේරීම්වල දී ඔවුන්ට අවස්ථාවක් නැත. රංජන් චෝදනා කරනුයේ ඒ ගැන ය.

මේ චෝදනාත් සමඟින් රංජන් දැන් තමන්ගේ දෙවැනි ඉනිමට සූදානම් වෙමින් සිටී. ඒ එළඹෙන තරග වාරයේ දී පළමු කොටසේ තරගාවලියට සූදානම් වෙමිනි.

“ලෙහෙසියි කියල කිසිම දෙයක් හිතන්නේ නැහැ. ලොකු අභියෝගයක්. අපිට තියෙන අඩු-පාඩු එහෙම ම තියාගෙන තමයි අපි පළමු කොටසට එන්නේ. නමුත් අපේ ඉලක්කය වෙන්නේ මේ තරගාවලියේ දී දෙවැනි වටයට පිවිසීම. අපේ කණ්ඩායමෙන් මේ වසරේ ක්‍රීඩා කළ අයගෙන් අඩු වෙන්නෙ රවීන් යසස් පමණයි. අපි මේ තැනට ආවේ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන් 5 දෙනෙක් සහ වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩකයන් 3ක් දෙනෙක් සමඟින්. ඔවුන් ඉදිරි වසරවලදීත් ක්‍රීඩා කරනවා. ඒක අපිට විශාල ශක්තියක්. ඒ අයත් සමඟින් හොඳ ගමනක් යන්නයි අපේ බලාපොරොත්තුව. අපි ජයග්‍රහණය ලැබූ සෑම අවස්ථාවක ම නිශාන්ත සර් අපිත් එක්ක හිටියා. නමුත් දැන් නිශාන්ත සර් වෙනත් පාසලකට ඉන්නේ. ඒක ටිකක් හිතට වදින සිදුවීමක්. කොහොම වුනත් නිශාන්ත සර් දේවපතිරාජ ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ සේවය වෙනුවෙන් අපි සෑම දෙනාගේ ම ගෞරවය එතුමාට හිමි වෙනවා. “ රංජන් පැවැසුවේ ය.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අළුත් ම සාමාජිකයන් වූ දේවපතිරාජයන්ට සුබ පැතුම් එක්කරන ThePapare.com මේ ජයග්‍රහණය පිටුපස සිටි ඒ නිහඬ විප්ලවකරුවාට ද සුබ පැතුම් එක් කරමු.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<