ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ, සුපිරි 8 දෙනාගේ වටය ඊයේ (3) ආරම්භ වූ අතර මෙම සතියේ අවසන් තරඟ ද්විත්වය අද (4) කොළඹ තුරඟ තරඟය පිටියේදී පැවැත්විය. එහි පළමු තරඟය නිමාවූයේ සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ගෝල 5 – 0 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරදෙමිනි. දෙවන තරගයේදි කිසිදු කණ්ඩායමක් එක් ගෝලයක් හෝ වාර්තා කිරීමට අපොහොසත් විය.

පසුගිය ලිපි: සුපිරි අටේ ප්‍රථම දිනයේ ජය බ්ලූ ස්ටාර් සමාජයට

නාවික හමුදා ක්‍රීඩා සමාජය හා සොලිඩ් ක්‍රීඩා සමාජය අතර තරඟය

මෙම තරඟය සඳහා නාවික හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ සුපිරි 16 දෙනාගේ වටයේ, B කාණ්ඩයෙන් තෙවන ස්ථානය වාර්තා කරමින් වන අතර, සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම A කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගනිමින් මෙම වටය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

මෙම තරඟය සවස 4.00ට විනිසුරුතුමාගේ නාලා නාදය සමගින් අාරම්භ වූයේ නාවික හමුදා කණ්ඩායමේ ප්‍රදීප් රොද්‍රිගෝ විසින් එල්ල කල පහරත් සමගිනි.

අනතුරුව තරගයේ මුල් විනාඩි කිහිපය තුළ නාවික හමුදාව තරගයේ හොඳින් ක්‍රීඩා කරන ලද නමුදු, පළමු අර්ධයේ අර්ධයක් නිමාවන විට නැවතත් තරඟයට අවතීර්ණ වූ සොලිඩ් කණ්ඩායම වෙනුවෙන් 25 වන මිනිත්තුවේදී ඕ. අයි. අබුමේර් විසින් ගෝලයක් ලබාගන්නා ලදි.

පළමු අර්ධය නිමාවට ආසන්නව තිබියදී ඉතා හොදින් ක්‍රීඩා කරමින් තරගයේ බලය පැතිරවීමට සොලිඩ් කණ්ඩායම සමත් වූ අතර එහි ස්ථාවර බව වැඩි කරමින් 43 වන මිනිත්තුවේදී එම්. ජී. එස්. ප්‍රමෝද් තම කණ්ඩායමේ දෙවන ගෝලය, ඉතා පහසුවෙන් ලබා ගන්නා ලදි.

පළමු අර්ධය අවසන් වනවිට,

නාවික හමුදා කණ්ඩායම 00 02 සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම

අනතුරුව තරගයේ දෙවන අර්ධයට, සොලිඩ් කණ්ඩායමේ තක්ෂිල දනෝජ් විසින් ආරම්භය ලබා දුන් අතර 72 වන මිනිත්තුවේදී තක්ෂිල දනෝජ් සොලිඩ් කණ්ඩායමේ තෙවන ගෝලය වාර්තා කිරීමට සමත් විය.

විනිසුරුතුමා විසින් 73 වන මිනිත්තුවේදී සගායම් ගොඩ්වින් හට කහ කාඩ්පතක් ලබා දුන් අතර 84 වන මිනිත්තුවේදී නාවික හමුදා ක්‍රීඩක ජෙරන් ප්‍රනාන්දු හට ද කහ කාඩ්පතක් ලබා දෙන ලදි.

අවසානයේ 88 වන හා 90 වන මිනිත්තු වලදී එස්. සජීවන් විසින් තවත් ගෝල දෙකක් ලබාගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය, විශිෂ්ට ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන ලදි.

තරගයේ අවසන් ලකුණු තත්ත්වය,

නාවික හමුදා කණ්ඩායම 00 05 සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම

ගෝල ලබාගැනීම්,

නාවික හමුදා කණ්ඩායම (0) –

සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම (5) – ඕ.අයි.අබුමෙර්(25), එම්.ජී.එස්.ප්‍රමෝද් (43), තක්ෂිල ධනෝජ් (72), එස්.සජීවන් (88,90)

කහ කාඩ්පත්

නාවික හමුදා කණ්ඩායම – ජෙරන් ප්‍රනාන්දු

සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම – සගායම් ගොඩ්වින්

ThePapare.com තරගයේ වීරයා – එම්. ජී. එස් ප්‍රමොද් (සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම )

තරඟයේ විනිසුරු – මොහොමඩ් ඉර්ෂාන්


නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය හා කොළඹ පාපන්දු සමාජය අතර තරඟය

මෙම තරඟය සඳහා නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේ, සුපිරි 16 දෙනාගේ වටයේ B කාණ්ඩයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් වන අතර,  කොළඹ පාපන්දු සමාජය A කාණ්ඩයේ තෙවන ස්ථානය ලබා ගනිමින් සහ ගියවර ශූරයින් ලෙස මෙම වටය සඳහා පිවිසෙන ලදි.

තුරඟ තරඟ පිටියේ කෘතීම අාලෝකය මධ්‍යයේ නිව් යන්ග්ස් කණ්ඩායමේ අන්කමා ජෝජ් එල්ල කල පහරත් සමඟ තරගය ආරම්භ විය.

පළමු අර්ධයේ කණ්ඩායම් දෙකම කරට කර තරඟයක නිරත වූ අතර දෙපිලටම ගෝල අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරිනි.

17 වන මිනිත්තුවේදී විනිසුරුතුමා විසින් නිව් යන්ග්ස් ක්‍රීඩක හසිත ප්‍රියංකර හට කහ කාඩ්පතක් ලබාදෙන ලදි. කෙසේ වෙතත් පළමු අර්ධය තුළ කොළඹ පාපන්දු කණ්ඩායම, තරඟකාරී බවින් නිව් යන්ග්ස් කණ්ඩායමට වඩා ඉදිරියෙන් පසුවිය. අවසානයේ පළමු අර්ධය නිමාවූයේ ගෝල 00-00 ක් වශයෙනි.

පළමු අර්ධය අවසන් වනවිට,

නිව් යංග්ස් කණ්ඩායම 00-00 කොළඹ පාපන්දු  කණ්ඩායම

දෙවන අර්ධය කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩක සර්වාන් ජොහාර් විසින් ආරම්භ කරන ලදි.

ආරම්භයේ සිට පෙර අර්ධයේ පරිදීම දෙපිලම සමසේ දස්කම් දැක්වීමට සමත් විය. දෙපිලම ඉතාමත් ක්‍රීඩාශීලීව උද්යෝගයෙන් මෙන්ම ක්‍රීඩාවේ ගරුත්වය රැකගනිමින් තරඟ වැදුණු අතර දෙපිලම ඉතා දක්ෂ ලෙස ගෝල ලබාගැනීමට උත්සාහ කලද, ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයින්ගේ දක්ෂතා නිසා කිසිදු කණ්ඩායමක එකදු ක්‍රීඩකයෙකුටවත් ගෝලයක් ලබා ගැනීමට නොහැකි විය.

තරගයේ අවසන් ලකුණු තත්ත්වය,

නිව් යංග්ස් කණ්ඩායම 00-00 කොළඹ පාපන්දු  කණ්ඩායම

කහ කාඩ්පත්

නිව් යංග්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම- හසිත ප්‍රියන්කර (17)

ThePapare.com තරගයේ වීරයා –අඩ්ජෙයි රිචඩ්ස් (නිව් යංග්ස් කණ්ඩායම)

සුපිරි 8 දෙනාගේ තරගාවලියේ මීළඟ සතියේ තරග, කොළඹ CR & FC පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

2016.09.10 (සෙනසුරාදා)

  • 4.00 – බ්ලුස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරඟය
  • 6.00 – රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා නිව් යංග්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරඟය  

2016.09.11 (ඉරිදා)

  • 4.00 – යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම හා නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරඟය
  • 6.00 – කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම හා සොලිඩ් පාපන්දු සමාජ කණ්ඩායම අතර තරඟය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට