විශිෂ්ට හඹා යාමකින් සෝන්ඩර්ස් රිනවුන් පරදයි; ඩිෆෙන්ඩර්ස්ට තියුණු ජයක්

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය - රිනවුන් ක්‍රීඩා සමාජය

354

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 9 වන සතියේ තරගයක් ලෙස ඊයේ (10) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී පසුපසින් හඹාඑමින් ගෝල 3-2ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

කින්නියා අභියෝගයට ජෝසප්වරුන්ගෙන් ප්‍රබල පිළිතුරක්

වයස අවුරුදු 18න් පහළ …

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට කිසිදු අවස්ථාවක් නිර්මාණය කරගැනීමට අපොහොසත් වුවත් තරගය ඉදිරියට යත්ම සෝන්ඩර්ස් ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වෙමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය.

ඒ අනුව සෝන්ඩර්ස් නායක ක්‍රිෂාන්ත අබේසේකර ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වුවත් ඔහු ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත.

පළමු අර්ධයේ මැද භාගය පමණ වන විට රිනවුන් ක්‍රීඩකයින් ද සම්පූර්ණයෙන් තරගයට අවතීර්ණ වෙමින් තරගයේ පාලනය තමන් දෙසට යොමුකර ගන්නට සමත් විය. ඒ අනුව තරගයේ 31 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඊබ්‍රහිම් ජීමෝ තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය.

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ද රිනවුන් ක්‍රීඩකයින් හට ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගැනීමට සමත් වූයේ නැත.

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00 – 01 රිනවුන් ක්‍රීඩා සමාජය

පළමු අර්ධය අවසාන වන විට පවත්වා ගත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දෙවන අර්ධයට ද ඒ අයුරින්ම රැගෙන ගිය රිනවුන් ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 8ක කාලයක් ගතවන විට තරගයේ සිය දෙවැනි ගෝලය ද වාර්තා කරගන්නට සමත් විය. එවර ක්‍රියාත්මක වෙමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ මොහොමඩ් ආශාත් විසිනි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් නිර්මාණය කරගන්නට සමත් වුවත් දෙපිළේම ක්‍රීඩකයින් ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ නමුත් 77 වන සහ 81 වන මිනිත්තුවල දී ක්‍රියාත්මක වූ සෝන්ඩර්ස් ක්‍රීඩකයින් අඛණ්ඩව ගෝල දෙකක් වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එහි දී එම ගෝල වාර්තා කර ගනු ලැබුවේ පිළිවෙළින් සුන්දරාජ් නිරේෂ් සහ මොහොමඩ් නලීම් විසිනි.

ඒ හරහා තරගය දෙපිළටම විවෘත වීමත් සමඟ කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් දෙසට යොමුකර ගන්නට උත්සාහ දැරූ අතර දෙපිළේම එම උත්සාහයන් ව්‍යර්ථ කර දමන්නට ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ කණ්ඩායම් දෙකේම ගෝල රකින ක්‍රීඩකයින් දෙපළ සමත් විය.

කෙසේ නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ රිනවුන් ක්‍රීඩකයින් චමත් රශ්මිත හමුවේ ගෝල රාමු කලාපය තුළ දී සිදු කරනු ලැබූ ‘foul’ කිරීමක් වෙනුවෙන් සෝන්ඩර්ස් කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එය ලබාගත් නිරේෂ් තරගයේ සිය දෙවැනි ගෝලයට ද හිමිකම් කියමින් විශිෂ්ට හඹා යාමක් සාර්ථක කරගනිමින් තරගයේ ජයග්‍රහණය සෝන්ඩර්ස් කණ්ඩායමට හිමිකර දෙන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 03 – 02 රිනවුන් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – සුන්දරාජ් නිරේෂ් (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – සුන්දරාජ් නිරේෂ් 77’, 90+2’, මොහොමඩ් නලීම් 81’
  • රිනවුන් ක්‍රීඩා සමාජය – ඊබ්‍රහිම් ජීමෝ 31, මොහොමඩ් ආශාත් 53’

කහ කාඩ්පත්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – ඉසුරු පෙරේරා 38’, සජිත් ධර්මපාල 87’

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට නාවලපිටියේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රහාරයක්

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය හා ක්‍රිස්ටල් ….

ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය – නිව් යංග්ස් පාපන්දු සමාජය

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 9 වන සතියේ තවත් තරගයක් ඊයේ (10) ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය අතර කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති අතර එම තරගය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කළ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට එන්නට සමත් විය.

ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජ කණ්ඩායම ලකුණු 19ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳෙමින් මෙම තරගය සඳහා පිවිසියේ මෙහි ජයග්‍රහණය හිමිකරගෙන ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා උසස් වීමක් ලබාගැනීමේ අරමුණින් වන අතර අනෙක් පසින් නිව් යංග්ස් කණ්ඩායම මෙම තරගය සඳහා පිවිසියේ ලකුණු 9ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ 11 වන ස්ථානයේ රැඳෙමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඒ අනුව ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් තරගයට සාර්ථක ප්‍රබල ආරම්භයක් ලබාගනිමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර ඒ හරහා ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට ඔවුන් සමත් විය. එහි දී විශේෂයෙන් නිරෝෂන් පතිරණ හට සහ කසුන් ප්‍රදීප් හට ගෝලයක් රැස්කර ගැනීමට හොඳ අවස්ථාවන් දෙකක් හිමි වූ නමුත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

නිව් යංග්ස් ක්‍රීඩකයින් ද තරගය ඉදිරියට යද්දී ඊට හොඳින් අවතීර්ණ වෙමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට වූ අතර ඒ අනුව බී. එස්. නීමෝ හට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් ඔහු ද එය සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත.

නැවතත් ක්‍රියාත්මක වූ ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක දීම ගෝලයක් වාර්තා කරගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් ඔවුන්ගේ ක්‍රීඩකයින් පන්දුව ගෝල රාමුව තුළට යොමුකරන්නට දැක්වූ දුර්වලතාවය හේතුවෙන් එම අවස්ථාවන් සියල්ලම ව්‍යර්තව ගිය අතර ඒ අනුව පළමු අර්ධය නිමාව දුටුවේ කිසිදු ගෝලයක් වාර්තා නොවෙමිනි.

පළමු අර්ධය: ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය 00 – 00 නිව් යංග්ස් පාපන්දු සමාජය

පළමු අර්ධයේ ක්‍රියාත්මක කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දෙවන අර්ධයට ද ඒ අයුරින්ම රැගෙන ගිය ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් හට නැවතත් ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් තරගයේ 70 වන මිනිත්තුව දක්වාම ඔවුන් එන් එකක් වත් සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. ඒ අනුව තරගයේ 70 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අසිකුර් රහුමාන් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යමිනි.

ඉන් අනතුරුව ද ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් විශිෂ්ට ගෝල රැකීමක නිරත වූ නිව් යංග්ස් ගෝල රකින ක්‍රීඩක දනුෂ්ක රාජපක්ෂ ඔවුන්ගේ එම උත්සාහයන් සාර්ථකව ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

ජාතික පාපන්දු පුහුණුකරු ක්‍රීඩා සමාජ පිළිබඳ අසතුටෙන්

ශ්‍රී ලංකා ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලී …

පසුව තරගයේ 81 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ නිව් යංග්ස් ක්‍රීඩකයින් තරගයේ සිය පළමු ගෝලය වාර්තා කරගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සමකර ගනිමිනි. එහි දී එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ නීමෝ විසිනි.

කෙසේ නමුත් ඉන් මිනිත්තු 4කට පසුව ක්‍රියාත්මක වූ ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩක සුරාජ් බර්නාඩ් සිය කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය ඔවුන් දෙසට යොමුකර ගන්නට සමත් විය.     

සම්පූර්ණ කාලය: ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය 02 – 01 නිව් යංග්ස් පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා – අසිකුර් රහුමාන් (ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය)

ගෝල ලාභීන්

  • ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය – අසිකුර් රහුමාන් 70’, සුරාජ් බර්නාඩ් 85’
  • නිව් යංග්ස් පාපන්දු සමාජය – බී. එස්. නීමෝ 81’

කහ කාඩ්පත්

  • ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය – ටී. ජේ. ලක්මාල් 50’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<