කොළඹ තුරග තරග පිටියේ දී රිනවුන් කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල 3 -1 ක් ලෙස ලබා ගනිමින් ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානය තවදුරටත් තමන් සන්තකයේම තබා ගන්නට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

බ්ලූ ස්ටාර් ශූරතා සිහිනය යුධ හමුදාව බොඳ කරයි

පුරා මාස ගණනාවක් ඇඳී ආ 2016/17 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ අවසන් සතියේ තරග අද (04) සාර්ථකව නිමා විය.

මෙම තරගයට පෙර පැවති තරගයේ දී නාවික හමුදා කණ්ඩායම පරාජය කරන්නට බ්ලු ස්ටාර් කණ්ඩායම අසමත් වීම හේතුවෙන් මෙවර ලීග් තරගාවලියේ අවසන් තරගය සැබවින්ම අවසන් මහා තරගයක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත් ශූරතාව සඳහා රිනවුන් කණ්ඩායමට මේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම ප්‍රමාණවත්ව තිබුණු අතර කොළඹ පාපන්දු සමාජයට ශූරතාව සඳහා ජයග්‍රහණයක් අත්‍යාවශ්‍ය විය.

මේ කණ්ඩායම් දෙකම මීට පෙර අවසන් වරට සහභාගී වූ තරග පරාජය වෙමින් මෙම තරගයට පිවිසි අතර, මෙම තරගයේ ආරම්භයේ සිට වඩාත් ඉහල දක්ෂතා ප්‍රදර්ශනය කලේ කොළඹ පාපන්දු සමාජයයි.

ටෝබි ෆ්‍රැන්සිස් රිනවුන් ක්‍රීඩකයන් පරයමින් ගෝලය වෙත පන්දුව එල්ල කල ද එවර රිනවුන් කණ්ඩායමේ ගැලවුම් කරුවා වුනේ ගෝල කණුවයි.

පන්දුවේ පාලනය වැඩි කාලයක් පුරා කොළඹ ක්‍රීඩා සමාජය සතු වුවත් අත්‍යවශ්‍ය මොහොතක දී ඔවුන්ගේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන්ගේ අවධානය බිඳී යාමෙන් තරගයේ වාසිය රිනවුන් කණ්ඩායමට පිරිනමන්නට සිදු විය.

රිනවුන් නායක මොහොමඩ් රිෆ්නාස් එල්ල කල නිදහස් පහරක් ආරක්ෂක ක්‍රීඩකයන්ගේ ඇඟේ වැදී ආපසු පැමිණීමේ දී ගෝල සීමාව වෙත ඉහලින් එල්ල කරන්නට ඔහු පියවර ගත් අතර, ප්‍රතිවාදීන්ගෙන් පන්දුව පිළිබඳ අවධානය මදකට ගිලිහී ගිය අවස්ථාවක් ක්ෂණයෙන් හඳුනා ගත් ජෝබ් මයිකල් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ තමන් සහ ගෝලය අතර සිටි එකම බාධකය වූ දැල් රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් සරල පහරකින් මගහැර පන්දුව ගෝලය තුලට යොමු කර, තරග රටාවට එරෙහිව රිනවුන් කණ්ඩායම ඉදිරියට ගෙන යමිනුයි.

කෙසේ වෙතත් මෙම වාසිය වැඩි කාලයක් නොපැවති අතර පළමු අර්ධය අවසන් වීමට සුළු කාලයකට මත්තෙන් සර්වාන් ජොහාර් විසින් යොමු කල පන්දුවකින් ඩේවිඩ් ඔසේජි වාර්තා කල ගෝලය තරගයේ ග්‍රහණය නැවත කොළඹ කණ්ඩායම වෙත ගෙන එන්නට සමත් විය.

පළමු අර්ධය – රිනවුන්  1 – 1 කොළඹ පාපන්දු සමාජය

දෙවන අර්ධයේ මිනිත්තු 10ක් ගත වන විට කොළඹ කණ්ඩායම තරගයේ වාසිය සම්පූර්ණ ග්‍රහණයට නතු කර ගත්තේ මොමාස් යාපෝ විසින් නිවැරදිව ලබා දුන් පන්දුවක් ප්‍රතිවාදී ක්‍රීඩකයන් රැසක් අතරින් ගෝලය තුලට යොමු කරමිනුයි.

කොළඹ ක්‍රීඩා සමාජයෙන් තවත් ප්‍රබල උත්සාහයක් දියත් කෙරුණ ද රිනවුන් දැල් රකින්නාගේ විශිෂ්ටත්වය හේතුවෙන් ඔවුන් හට තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට හැකි විය.

රිනවුන් කණ්ඩායමත් ගෝල ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් සඳහා මග විවර කර ගත්ත ද ඒවා අවසානය තෙක් සාර්ථක කර ගන්නට නොහැකි විය. කොළඹ ක්‍රීඩකයන් තම වාසිය ආරක්ෂා කර ගැනීමට සමත් විය.

අවසානයේ අහමඩ් ශස්නි තරග අවසානය ආසන්නයේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් කොළඹ ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය. අනතුරුව රිනවුන් කණ්ඩායමේ තවත් ගෝල උත්සාහයක් වළක්වන්නට කොළඹ කණ්ඩායමේ දැල් රකින්නා සමත් වීමත් සමඟ ඔවුන් නොකඩවා දෙවන වසරටත් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන් ලෙස අභිෂේක ලැබීය.

අවසන් ලකුණු තත්ත්වය – රිනවුන් ක්‍රී. ස. 1 – 3 කොළඹ පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා : සර්වාන් ජොහාර් (කොළඹ පා. ස.)

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්

  • රිනවුන් – ජෝබ් මයිකල්.
  • කොළඹ – ඩේවිඩ් ඔසේජි, ධනුෂ්ක මධුශංක, අහමඩ් ශස්නි
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<