කොළඹ – ජාවා ලේන් සමයි; තීරණාත්මක ජය සෝන්ඩර්ස්ට

406

කොළඹ පාපන්දු සමාජය – ජාවා ලේන් SC

කොළඹ පාපන්දු සමාජය සහ ජාවා ලේන් ක්‍රීඩා සමාජය අතර 2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 14 වන සතියේ තරගයක් ලෙස ඊයේ (31) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතරුව ජය-පැරදුමෙන් තොරව  නිමාවට පත්වූයේ කණ්ඩායම් දෙකම ගෝල 4 බැගින් වාර්තා කරගනිමිනි.

සුපර් සන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැනවූ තහනමත් සමඟ කොළඹ පාපන්දු සමාජය ඔවුන්ට එරෙහිව ලබාගත් ජයග්‍රහණයෙන් හිමි වූ ලකුණු 3 අහිමි වීමත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය කරා පහත වැටී තිබූ අතර අනෙක් පසින් මීට පෙර පැවති තරගයේ දී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වාර්තා කර ගත් ජයග්‍රහණයත් සමඟ ජාවා ලේන් ක්‍රීඩා සමාජය තරගාවලියෙන් ඉවතට යාමේ තර්ජනයට ලක්විය.

ක්‍රිස්ටල් පැලස්, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයෙන් සමාව ඉල්ලයි

පසුගිය දා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ඇතිවූ සිදුවීම් මාලාවකට ….

තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් කොළඹ ක්‍රීඩකයින් තරගයේ 6 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. කෝනර් පහරකින් පන්දුව ලබාගත් නිරාන් කණිෂ්ක එහි දී එය ගෝල රාමුව අසළට යොමු කළ අතර එය ගෝල රාමු කලාපයෙන් ඉවත් කිරීමට ජාවා ලේන් ක්‍රීඩකයින් අසමත් වීමත් සමඟ එහි දී පන්දුව ලබාගත් මොහොමඩ් ආකීබ් එය ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් එම ගෝලය වාර්තා විය.

ජාවා ලේන් ක්‍රීඩකයින් ද ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වෙමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර එහි දී ෂෆ්රාස් කයිස් ලබා දුන් පන්දුවක් හරහා මොහොමඩ් අබ්දුල්ලා හට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉහළින් ඇදී ගියේය.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කර ගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් එහි දී ඔවුන් ඒවා සාර්ථකව අවසන් කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඒවා අවසානයේ ව්‍යර්ථ වන්නට විය.

කෙසේ නමුත් තරගයේ 37 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ෂෆ්රාස් කයිස් ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සමකරමිනි.

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 1 – 1 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ද පළමු අර්ධයේ දී මෙන් කොළඹ ක්‍රීඩකයින් පන්දුව ඔවුන් සතුව තබාගනිමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරූ අතර අනෙක් පසින් ජාවා ලේන් ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවන් හරහා ක්‍රියාත්මක වීමට උත්සාහ දැරීය.

එහි දී පළමුව ක්‍රියාත්මක වූ කොළඹ ක්‍රීඩකයින් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කර ගනු ලැබුවේ නැවතත් තරගයේ පෙරමුණ ගනිමිනි. එහි දී එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ සර්වාන් ජොහාර් විසිනි.

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ කොළඹ ක්‍රීඩකයින් තරගයේ සිය තෙවැනි ගෝලය ද වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. එහි දී මොහොමඩ් රිෆ්නාස් ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ මොහොමඩ් ආකීබ් විසිනි.

කෙසේ නමුත් ඊට වහාම පිළිතුරු දැක්වූ ජාවා ලේන් ක්‍රීඩකයින් තරමක් වාසනාවන්ත ගෝලයක් හරහා නැවතත් තරගයට අවතීර්ණ වන්නට සමත් විය. එහි දී කොළඹ නායක රව්මි මොහිදීන් පන්දුවට හිසින් එල්ල කළ පහරක් ඔහුගේම ගෝල රාමුව තුළට යොමුවීමෙන් එම ගෝලය වාර්තා විය.

Video – “Wing දෙකෙන් attack එක වැඩි කරා” – ජානක

Navy Sea Hawks FC පුහුණුකරු ජානක සිල්වා Renown කණ්ඩායම….

ඉන් අනතුරුව ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මාලක පෙරේරා විශිෂ්ට පහරක් ගෝල රාමුව තුළට යොමුකිරීමත් සමඟ ජාවා ලේන් ක්‍රීඩකයින් තරගයේ සිය තෙවැනි ගෝලය ද වාර්තා කර ගනු ලැබුවේ නැවතත් තරගයේ ලකුණු තත්වය සමකර ගනිමිනි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම සිය ගෝල රකින්නන් මාරු කිරීමට කටයුතු කළ අතර ඒ අනුව ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් අත්දැකීම් බහුල ධම්මික සෙනරත් කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් කවීෂ් ප්‍රනාන්දු ද තරගයට ආදේශ කරනු ලැබීය.

කෙසේ නමුත් එහිදී නැවතත් ක්‍රියාත්මක වූ ජාවා ලේන් කණ්ඩායම මොහොමඩ් අබ්දුල්ලා හරහා තරගයේ සිය සිව්වැනි ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ප්‍රථම වතාවට මෙම තරගයේ පෙරමුණ ගනිමිනි.

මිනිත්තු කිහිපයකට අනතුරුව ඊට පිළිතුරු ලබා දුන් කොළඹ පාපන්දු සමාජයේ බොඩ්රික් දිමිත්‍රි සිය කණ්ඩායමේ සිව්වැනි ගෝලය වාර්තා කර ගනු ලැබුවේ නැවතත් තරගයේ ලකුණු තත්වය සමකරමිනි.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් අසමත් විය. එමෙන්ම තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ දෙපිළේම ක්‍රීඩකයින් දැඩි ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට යොමුවීමත් සමඟ තරගයේ උණුසුම ඉහළ ගියත් එහි දී තවත් ගෝල වාර්තා නොවූ අතර ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් ආතුරුව මෙම තරගය ජය-පැරදුමකින් තොරව නිමාව දුටුටේ ය.

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 4 – 4 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ෂෆ්රාස් කයිස් (ජාවා ලේන් ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • කොළඹ පාපන්දු සමාජය – මොහොමඩ් ආකීබ් 6′ 58′, සර්වාන් ජොහාර් 56′, බෝඩ්රික් දිමිත්‍රි 77′
  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය – ෂෆ්රාස් කයිස් 37′, රව්මි මොහිදීන් 59′ (OG), මාලක පෙරේරා 62′, මොහොමඩ් අබ්දුල්ලා 70′

කහ කාඩ්පත්

  • කොළඹ පාපන්දු සමාජය – රව්මි මොහිදීන් 84′
  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය – ෂෆ්රාස් කයිස් 9′

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<


සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – නිව් යංග්ස් ක්‍රීඩා සමාජය  

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ නිව් යංග්ස් ක්‍රීඩා සමාජය අතර 2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 14 වැනි සතියේ තරගයක් ලෙස ඊයේ (31) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී නැවත වරක් හඹා යාමක් සාර්ථක කර ගත් සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝල 2-1ක් ලෙස එම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය.

නිව් යංග්ස් ක්‍රීඩකයින් හට තරගය ආරම්භයේ දීම ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී සී. බී. ඔලෝහුන්වා එල්ල කළ පහර පහසුවෙන් රැකගන්නට සෝන්ඩර්ස් ගෝල රකින ක්‍රීඩක අසංක විරාජ් සමත් වූ අතර ඉන් අනතුරුව අනෙක් අන්තයේ දී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ද අවස්ථාවක් හිමිවුවත් එහි දී මොහොමඩ් නලීම්ගේ පහර ඉවතට යොමුකරන්නට නිව් යංග්ස් ගෝල රකින ක්‍රීඩක ධනුෂ්ක රාජපක්ෂ සමත් වෙද්දී එහි දී ලැබුණු කෝනර් පහර හරහා පන්දුව ලබා ගන්නට නැවතත් නලීම් සමත් වුවත් එහි දී ඔහු ගෝල රාමුව ආසන්නයේ සිට එල්ල කල පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

ආසියාවේ ජාමයත්, ඉරානයේ ගෝලයත් රකින්නා

පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයන්ගෙන් බහුතරයක් යුරෝපා සහ ලතින්….

එතැන් පටන් පළමු අර්ධයේ අවසන් මිනිත්තු 5 දක්වා පමණ කාලය වනතුරු තරගය දැඩි උදාසීන ස්වරූපයක් ගැනුවේ කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවන් නිර්මාණය කරගන්නට අසමත් වූ නිසාය. එහි දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හට නිදහස් පහර අවස්ථා හිමිවුවත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් අසමත් වූ අතර දුර සිට පහරවල් එල්ල කරමින් ගෝල වාර්තා කරගැනීමට ඔවුන් උත්සාහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහයන් ද සාර්ථක වූයේ නැත.

කෙසේ නමුත් පළමු අර්ධයේ අවසන් මිනිත්තු 5 තුළ තරගයේ ස්වභාවය වෙනස් වූ අතර කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් නිර්මාණය කරගන්නට සමත් විය. ඒ අනුව තරගයේ 40 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ බී. එස්. නීමෝ විසින් ඔලෝහුන්වා ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් එම ගෝලය වාර්තා විය.  

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 0 – 1 නිව් යංග්ස් ක්‍රීඩා සමාජය  

සෝන්ඩර්ස් ක්‍රීඩකයින් හඹා ගොස් තරග ජයග්‍රහණය කිරීමට ආගන්තුකයින් නොවූ අතර ඒ අනුව දෙවන අර්ධය ආරම්භයේ පටන් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ ඔවුන්ට තරගයේ ලකුණු තත්වය සම කිරීමට දෙවන අර්ධය ආරම්භ වී ගතවූයේ මිනිත්තු 5ක කාලයක් පමණි. එහි දී සජිත් ධර්මපාල ලබා දුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ නායක ක්‍රිෂාන්ත අබේසේකර විසිනි.

ඉන් අනතුරුව තරගයේ පාලනය ඔවුන් යටතට පත්කරගත් සෝන්ඩර්ස් ක්‍රීඩකයින් හට ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

අනෙක් අන්තයේ නිව් යංග්ස් ක්‍රීඩකයින් හට ද ගෝල රැස්කර ගැනීමට අවස්වථාන් කිහිපයක් හිමි වූ අතර ඔවුන් ද ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 85 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ චමෝද් දිල්ශාන් පන්දුව ගෝල රාමු කලාපය තුළට රැගෙන යමින් වේගවත් පහරක් හරහා පන්දුව ගෝල රාමුව තුළට යොමු වූයේ සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යමිනි.

ඉන් අනතුරුව සෝන්ඩර්ස් කණ්ඩායමේ කසුන් ජයසූරිය හට තරගය අවසන් වීමට පෙර ගෝල රාමුව ඉදිරියේ ඉතා පහසු අවස්ථාවන් ද්විත්වයක් හිමිවුවත් ඒවා සාර්ථක කරගැනීමට ඔහු අසමත් විය. කෙසේ නමුත් මෙහි දී ද හඹා යාම සාර්ථක කර ගත් සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 2 – 1 නිව් යංග්ස් ක්‍රීඩා සමාජය  

ThePapare.com තරගයේ වීරයා – සනෝජ් සමීර (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – ක්‍රිෂාන්ත අබේසේකර 50′, චමෝද් දිල්ශාන් 85′
  • නිව් යංග්ස් ක්‍රීඩා සමාජය – බී. එස්. නීමෝ 40′

කහ කාඩ්පත්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – සජිත් ධර්මපාල 12′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<