ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන පාසල් මහා ක්‍රිකට් තරගයක් වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් සටන පසුගිය 24 වැනිදා 117 වැනි වරටත් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, එම තරගය ජය පරාජයෙන් තොරව අද (26) අවසන් විය.

ලහිරුගේ අර්ධ ශතකය සාන්ත තෝමස් ඉනිම රැක ගනී

මහා ක්‍රිකට් තරග අතරින් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන තරගයක් වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන රුහුණු මහා ක්‍රිකට් සටන ඊයේ…

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලයේ ආරාධනය පරිදි පිටියට පිවිසි සාන්ත සර්වේසස් විද්‍යාලය, තම ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 207ක් රැස්කර ගන්නා ලදි. එහි දී වමතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩක තිලිණ ප්‍රශාන් අර්ධ ශතකයක් තම ලකුණු ගොන්නට එකතු කර ගැනීමට සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වීමට ආසන්නව තිබිය දී තම පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි සාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් යුගලය ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට තිලිණ ප්‍රශාන් ඇතුළු පන්දු යවන්නන් සමත් වූයේ, සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු දිනය තුළ යම් වාසිදායක තත්වයක් ද උදා කරමිනි. තරගයේ පළමු දිනය අවසන් වන විට, සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 4ක් ලබාගෙන සිටින ලදි.

එතැන් පටන් ආරම්භ වූ දෙවන දිනය තුල සාන්ත තෝමස් විද්‍යාලයේ මුල් පෙළ හා මැදපෙළ පිතිකරුවන් ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට  සාන්ත සර්වේසස් විද්‍යාලයේ තිලිණ ප්‍රශාන් ඇතුළු පන්දු යවන්නන් සමත් වූ අතර,  මැදපෙළ පිතිකරණය යම්තාක් දුරකට සවිමත් කළ රමින්ද ප්‍රවිනාත් හා එක්වූ ළහිරු ඩිල්ශාන් මනා සබඳතාවයක් ගොඩනංවමින් ඊයේ (25) දිනය පුරාවටම තම විදුහල් ඉනිම දියත් කරවිය.  එහි දී රමින්ද ප්‍රවිනාත් ලකුණු 43කට දැවී යන ලදි.

කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලෙස ලකුණු පුවරුව සටහන් වෙද්දී තරගය තෙවන හා අවසන් දිනයට අද (26) ආරම්භ වූ අතර, ළහිරු ඩිල්ශාන් ඒ වන විට නොදැවී ලකුණු 63*ක් ලබාගෙන සිටියේය.

[rev_slider dfcc728]

 

වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් සාන්ත තෝමස් ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කල ළහිරු ඩිල්ශාන් තම විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය ද ලබා දෙමින් ලකුණු 72ක් ලබාගෙන සිටිය දී දැවී යාමත් සමඟින් සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 211කට අවසන් විය.

පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ සාන්ත සර්වේසස් විද්‍යාලයේ  තිලිණ ප්‍රශාන් ලකුණු 48ක් තුල කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 4ක අවාසියක් ද ඇති පිටියට පැමිණි සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 42ක් ලබා ගැනීමට සුපුන් කාවින්ද සමත් වූ අතර, ඔහු දෙවන ඉනිම තුල දී අර්ධ ශතකය ලබා ගැනීමට අසමත් වී දැවී යන ලදි. තුන් ඉරියව් අංශයේම දස්කම් දක්වන තිලිණ තම උපරිම දක්ෂතා උපයෝගී කරගනිමින් ලකුණු 38ක් රැස්කරගත් අතර ලකුණු 174ක් ලබාගෙන සිටිය දී තම විද්‍යාලයේ දෙවන ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කරන ලදි.

අවසානයේ ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් සාන්ත තෝමස් පිතිකරුවන් ඉදිරියේ තිබුණ ද, එය ලබා ගැනීමට හැකි තරම් පන්දුවාර ප්‍රමාණයක් ඉතිරිව නොතිබුණි. පන්දුවාර 3යි පන්දු 4කදී කිසිවෙකු නොදැවී ලකුණු 20ක් ලබාගෙන සිටිය දී  අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36, ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  211 (පන්දුවාර 110.1): ලහිරු ඩිල්ශාන් 72, රමින්ද ප්‍රවිනාත් 43, තරුශ කාවින්ද 30, තිලිණ ප්‍රශාන් 6/48

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉනිමකඩුලු 6ක් දැවී ලකුණු 174 dec (පන්දුවාර 68): සුපුන් කාවින්ද 42, තිලිණ ප්‍රශාන් 38, කේශර නුවන්ත 24, සඳරැ නෙත්මින 25*, හෂින් දිල්මින් 4/59 

 සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 20 (පන්දුවාර 3.4)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට