ධම්මික ප්‍රසාද් එංගලන්තය අතහැර ලංකාවට

390
Dhammika Prasad

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන  ධම්මික ප‍්‍රසාද්ට තරගාවලිය අතහැර යළි දිවයිනට පැමිණීමට සිදුව තිබේ.

එසෙක්ස් කණ්ඩායම සමඟ පැවති පළමු පුහුණු තරගයේදී ඇතිවූ උරහිසේ ආබාධයක් හේතුවෙන් ධම්මික දෙවැනි පුහුණු තරගයටද සහභාගි නොවූ අතර ඔහුට ටෙස්ට් තරගද ක්‍රීඩා කළ නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණය දැනුම් දෙන ලදි.

ධම්මික ප‍්‍රසාද් ඊයේ (18 වැනිදා) පැවැති ශාරීරික යෝග්‍යතාව පිරීක්සීමේ පරීක්ෂණය අසමත්වීම හේතුවෙන් ඔහුව නැවතත් ප‍්‍රතිකාර සදහා යොමු කිරීමට තීරණය කළ බව කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක මහතා පැවසීය.

මෙම සංචාරය සඳහා විශේෂඥ වේග පන්දු යවන්නෝ සිවු දෙනෙක් එක්ව සිටිති. ශ්‍රී ලංකා පිලේ සිටින පළපුරුදු වේග පන්දු යවන්නකු වන සුරංග ලක්මාල් මේ වන විට අංක 4 පන්දු යවන්නා බවට පත්ව තිබෙන බවත් එනිසාම ඔහු අද තරගයට ක්‍රීඩා නොකරන බවත් චරිත් සේනානායක මහතා පැවසීය.

ධම්මික ප‍්‍රසාද් අද (19) රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා එංගලන්තයේ  සිට  පිටත්ව ඒමට නියමිතය.

දකුණතින් වේග පන්දු යවන්නකු වන කසුන් රාජිත හෝ වමතින් වේග පන්දු යවන විශ්ව ප‍්‍රනාන්දු එංගලන්ත සංචාරයට ධම්මික ප්‍රසාද් වෙනුවට එක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න