ක්‍රීඩා ප්‍රතිරූ – ආසියාවේ කළු වෙළඹ දමයන්ති දර්ශා

1756

කොළඹවිතානගේ දමයන්ති දර්ශා 1975 පෙබරවාරි 13 වැනිදා පවුලේ වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දුටුවාය.

දකුණු ආසියානු රන් පදක්කම් 3කින් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාව සැරසූ දර්ශා, ජාත්‍යන්තර වාර්තා 8කට හිමිකම් කියන්නේ ක්‍රීඩාව තුළ තමන් හඹා ගිය ඉලක්කයේ නිවැරදිභාවය ලොවට කියාපාමිනි. 1992 වර්ෂයේ දී බාසිලෝනා ඔලිම්පික් උළෙල නිය‍ොජනය කළ දර්ශා, ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කළ ‍ලාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක්විය.

“ම‍ගේ මීටර් 400 ආසියාතික වාර්තාව අවසානයට තිබුණු ආසියාතික තරගයේ දී බිඳ දැම්මා කියලා ආරංචි වුනා, නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ මගේ වාර්තාව මට තවම තියෙනවා.”

පානදුර සාන්ත ජෝන් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය ඊට පසු පානදුර බාලිකා විද්‍යාලයට ඇතුළත් විය. පාසල් අවධියේ දී උස පැනීම, දුර පැනීම ඉසව් තුළින් තම හැකියාවන් පෙන්වූ දර්ශා පාසල් මලල ක්‍රීඩා තරගවල ඉදිරියෙන් සිිටි ක්‍රීඩිකාවකි.

1990 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජෝන් ටාබර්ට් තරගාවලියට සහභාගී වූ දර්ශා, එවකට මලල ක්‍රීඩාවේ ප්‍රවීනයෙකු වූ සුනිල් ගුණවර්ධනයන්ගේ ඇස ගැටුණි.

නිසඟ කුසලතාවය, කැපවීම හා නිවැරදි මඟ පෙන්වීමත් නිසා 1991 පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්ව, ආසියානු වාර්තාවක් සමඟින් ජය ගන්නට දර්ශාට හැකි වූයේ ශ්‍රී ලංකාවේ නාමය දකුණු ආසියාව තුළ ස්ථාපිත කරමිනි.

“දැන් ඔලිම්පික් යන්නේ කී දෙන‍ාද, ඇත්තටම දකුණු ආසියාතික තරගය ගත්තොත් පදක්කම් කියන එක හීනයක් වෙලා. අපි දෙවන පෙළ හදන්න ඕනේ. හැදිලා නැති එකේ ප්‍රශ්නයක් තියෙන්නේ.”

විදේශීය රටවල ඔවුන් සමඟ එකට ක්‍රීඩා කළ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද වන විට එම රටවල් හි පරිපාලන කටයුතු සඳහා සම්බන්ධ කර ගෙන තිබෙන බවත් ඒ රටවල ක්‍රීඩාවේ දියුණුවට ඔවුන් යොදවා ගෙන තිබෙන නමුත් ලංකාව තුළ ඒ වැනි ක්‍රමවේදයක් නොමැති බව දර්ශා ThePapare.com වෙත පැවසීය.

“අපි විතරක් නෙමෙයි අපෙන් ඉස්සෙල්ලා ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩක් ඉන්නවා. උදාහරණයක් විදියට එස්. එල්. බී. රෝසාගේ ඉදලා පහළට ගත්තම කොච්චර ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවද, මගේ පුහුණුකරුත් ඉන්නවා. ඒ අයව  මේ  ක්‍රීඩාවේ උන්නතියට, ක්‍රීඩාවේ දියුණුවට යොදවා ගන්න ක්‍රමවේදයක් නැහැ. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ හා ස්තූති වන්ත වෙන්න ඕනේ අපේ ඉතිහාසයේ හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගෙන් එස්. බී . දිසානායක ඇමති තුමා හිටපු කාලේ තමයි අපි හැමෝම දක්ෂතා පෙන්නුවේ. එ්කට ඇත්තමට තිබුණා හේතුවක්. මොකද අපි පදක්කම් ගන්න කලින්, අපි තරග ජය ගන්න කලින් ඒ අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. අපේ පවුලට ආදායමක් හොයලා දීලා, අපිට දෙන කෑම බීම වල පෝෂණය පැත්තෙන් වටපිටාව හදලා දීලා අපිට ක්‍රීඩා කරන්න පුළුවන් මානසිකත්වය හදන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. ඒක නැත්නම් ජයග්‍රහණ වාර්තා කරන්න බැහැ.

>> තවත් සාකච්ඡා කළ මාතෘකා බොහෝයි. නරඹන්න සම්පූර්ණ වීඩියෝව.