RCB කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු IPL වලින් ඉවතට

301
AFP

2019 IPL තරගාවලියේ රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික ඩේල් ස්ටේන් උරහිස ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙන් IPL තරගාවලියෙන් ඉවත්ව ඇත.

වාසනාව ටිකක් තිබ්බොත් අපිට ඇති – ඩේල් ස්ටේන්

වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල සිටින ලොව ප්‍රබල වේගපන්දු යවන්නෙක් වන දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට…

රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක නේතන් කවුල්ටර් නයිල් වෙනුවට පසුගිය සතියේ දී සංචිතයට ආදේශ කර ගත් ඩේල් ස්ටේන් මෙසේ ආබාධයට ලක්වන විට ක්‍රීඩා කර තිබුණේ IPL තරග දෙකක් පමණි. ස්ටේන් එළඹෙන මැයි මස අවසානයේ ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන දකුණු අප්‍රිකානු සංචිතයේ ද සිටින ප්‍රබල ක්‍රීඩකයෙකි.

වයස අවුරුදු 35ක් වන ස්ටේන් පසුගිය බදාදා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගය අතරතුර මෙසේ ආබාධයට ලක්ව ඇත.

“ඩේල් ස්ටේන්ට උරහිස ආශ්‍රිතව ආබාධයක් මතු වෙලා තියෙනවා. ඔහු වේගපන්දු යවන්නෙක් නිසා උරහිස ආශ්‍රිතව ආබාධයක් මතු වුනාම ක්‍රීඩා කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා ඔහුට විවේකයක් ලබා දෙන්න අපට සිදු වෙනවා.” බැංගලෝර් කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු වන සංජීව් චුරිවාලා මහතා ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් පවසා සිටියේය.

“ඔහුට IPL තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කරන්න ලැබෙන එකක් නැහැ. අපේ කණ්ඩායම ඉන්න තත්වයත් එක්ක බැලුවොත් ඔහුගේ ජවය නැති අඩුපාඩුව අපිට ගොඩක් දැනේවි. මම ඔහුට කණ්ඩායම් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා වගේම ඉදිරි ක්‍රිකට් දිවියට සුබ පතනවා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ චුරිවාලා මහතා පවසන ලදි.

තවත් ප්‍රබල රටවල් දෙකකට ජාත්‍යන්තර එක්දින වරම්

මේ දිනවල පැවැත්වෙන ලෝක දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම ලකුණු 84කින් පරාජය කළ ඇමරිකා එක්සත් ජනපද…

මෙවර IPL තරග වාරය තුල තරග දෙකක් පමණක් ක්‍රීඩා කළ ස්ටේන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 93ක් හා එක්දින ක්‍රිකට් තරග 125ක් නියෝජනය කර ඇති ස්ටේන් ඒ තරග රටා දෙක තුල පමණක් කඩුලු 635ක් දවාගෙන ඇත.

පසුගිය දෙසැම්බර් මස දී නිමාවුණු පාකිස්තානු – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර ශෝන් පොලොක් (කඩුලු 421) අභිබවා යමින් දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට ද ස්ටේන් (කඩුලු 439) සමත් විය.

දකුණු අප්‍රිකානු වේගපන්දු බල ඇණියේ ප්‍රබල තුරුම්පුව බවට ස්ටේන් පත්වන විට කගීසෝ රබාඩා, ලුන්ගි න්ගිඩි ඇතුළු වේගපන්දු යවන්නෝ ස්ටේන්ගේ සහාය වෙනුවෙන් සිටින අනෙක් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ වෙති.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගය මැයි මස 30 වැනිදා එංගලන්තය සමඟ පැවැත්වෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<