ඩී. එස්. අභියෝගයට පීතරයන්ගෙන් සාර්ථක පිළිතුරක්

457

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කෝඩුකාරයන් වන කොළඹ ඩී එස්. සේනානායක විද්‍යාලය සමඟ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 36 – 05ක් ලෙස ජය ගන්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය. පළමු අර්ධය තුල ඔවුන් පෙරමුණ ගෙන සිටියේ ලකුණු 17 – 00 ක් ලෙසයි.

වැලිසර අහස තරමක අඳුරු ස්වභාවයක් ගෙන තිබූ අවස්ථාවක සාන්ත පීතර පුහුණුකරු කොලින් දිනේෂ් තම කණ්ඩායමේ ආරම්භක සංයෝගය තරමක් වෙනස් කර තිබුණේ පසුගිය සතියේ රාජකීය කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමඟයි. පීතරයන් තරග ආරම්භයේ සිටම පන්දුවේ පාලනය තමන් සතුව රඳවා ගන්නට සමත් වුවත්, පළමු මිනිත්තු 20 පසු වන තුරුම ඔවුන්ට ලකුණු ලබා ගැනීමට අවස්ථාව නොලැබුණේ ඩී. එස්. ආරක්ෂක ක්‍රීඩකයන් තම රාජකාරි නිසි අයුරින් ඉටු කිරීම හේතුවෙනුයි. කෙසේ වෙතත් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් සාන්ත පීතර කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවීමට ස්ටීවන් සිවරාජ් සමත් විය. (ඩී එස් 00 – 03 ශා. පීතර)

ඉන් අනතුරුව පළමු අර්ධය තුල දී ඩී එස්. සේනානායක විද්‍යාලයට ලකුණු ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් උදා වුනත්, පන්දුව නිසි අයුරින් පාලනය කර ගැනීමට නොහැකි වීමත්, පීතරයන්ගේ විශිෂ්ට ආරක්ෂක පෙළ ක්‍රීඩා විලාශයත් හේතුවෙන් ඔවුන්ට ගෝල සීමාව පසු කරන්නට හැකියාව නොලැබුණි. මේ අතර සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් පළමු වරට උත්සාහක දිනුම් රේඛාව පසු කරන්නට දැවැන්ත ප්‍රොප් ක්‍රීඩක නිඛිල් යාපා සමත් වූ අතර සිවරාජ් එහි ප්‍රවර්තනය නිවැරදිව එල්ල කරන ලදි. (ඩී එස් 00 – 10 ශා. පීතර)

වේල්ස් කුමරුවන් සමතලා කළ විද්‍යා ප්‍රහාරය

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතිය ආරම්භ කරන්නට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් විය.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ දී නායක දියත් ප්‍රනාන්දු හට සාන්ත පීතර කණ්ඩායමේ ලකුණු වාසිය තවත් වැඩි කර ගන්නට අවස්ථාව ලැබුණේ ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් දර්ශනීය පන්දු පාලනයක් පෙන්වමින් ඉදිරියට ගෙන ආ පන්දුවක් උපයෝගී කර ගනිමිනුයි. සිවරාජ්ගේ ප්‍රවර්තන උත්සාහය මෙවර ද සාර්ථක විය. (ඩී එස් 00 – 17 ශා. පීතර)

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 00 – 17 සාන්ත පීතර විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වී වැඩි කාලයක් ගත වන්නට මත්තෙන් සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට විඟර් ක්‍රීඩක ෂෙහාන් තිවංක සමත් වුනේ රග්බි ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත මනාව ප්‍රදර්ශනය කළ කණ්ඩායමෙන් ලද සහයෝගය හේතුවෙනුයි. තරමක් අසීරු ප්‍රවර්තනයක් වූ මේ අවස්ථාව ද සිවරාජ් හට මග හැරුනේ නැත. (ඩී එස් 00 – 24 ශා. පීතර)

ඩී. එස්. ක්‍රීඩකයන් වාහාම ඊට ප්‍රතිචාර දක්වමින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වූ අතර එහි හිමිකරු වුනේ හුකර් ක්‍රීඩක සී. එස්. සංජනයි. සාන්ත පීතරයන්ගේ ආරක්ෂක පෙළ උදාසීන වූ අවස්ථාවකින් ප්‍රයෝජන ගනිමින් වාර්තා කල මෙම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ඩී එස් 05 – 24 ශා. පීතර)

සාන්ත පීතර කණ්ඩායමේ සිව්වන උත්සාහක දිනුම වාර්තා කරමින්  අතිරේක ප්‍රසාද ලකුණ වෙත ඔවුන් ගෙන ගියේ තම ශක්තියෙන් ඩී. එස්. ආරක්ෂාව බිඳ දැමූ උමාර් මොහිදීන් විසිනුයි. සිවරාජ් තම සිව්වන ප්‍රවර්තනයත් සාර්ථකව ගෝල කණු අතරින් යොමු කරන ලදි. (ඩී එස් 05 – 31 ශා. පීතර)

තරගයේ අවසාන උත්සාහක දිනුම සටහන් වුනේ සාන්ත පීතර නායක දියත් ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන්. ඔහුගේ වේගය සහ ධාවන රටාව හමුවේ ඩී. එස්. ක්‍රීඩකයන් නිරුත්තර වෙද්දී දියත් තම දෙවන උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර අවාසනාවන්ත ලෙස සිවරාජ් හට මේ තරගයේ පළමු සහ එකම වරට ගෝල කණු මග හැරුණි. (ඩී එස් 05 – 36 ශා. පීතර)

අවසන් ලකුණු තත්ත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 05 – 36 සාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: දියත් ප්‍රනාන්දු (ශා. පීතර නායක)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

ඩී. එස්. සේනානායක විද්‍යාලය

  • උත්සාහක දිනුම් : C. S. සංජන

සාන්ත පීතර විද්‍යාලය

  • උත්සාහක දිනුම් : නිඛිල් යාපා, ෂෙහාන් තිවංක, උමාර් මොහිදීන්, දියත් ප්‍රනාන්දු (2)
  • ප්‍රවර්තන : ස්ටීවන් සිවරාජ් (4)
  • දඬුවම් පහර  : ස්ටීවන් සිවරාජ්

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට