ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වඩාත්ම උණුසුම් වනු ඇතැයි බලාපොරොත්තුවක් තැබිය හැකි සහ ඉතාමත් තීරණාත්මක තරගයක් හෙට (12) ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන්නේ වේල්සයේ කාර්ඩිෆ් නුවර, සොෆියා ගාර්ඩ්න් පිටියේ දී යි. මේ එම තරගයේ පෙර විමසුමයි.

ශ්‍රී ලංකාව හා පකිස්තාන කණ්ඩායම රැඳී සිටින මූලික කාණ්ඩය B කාණ්ඩය වන අතර, මෙම කාණ්ඩයේ ඉතාමත් ප්‍රබල කණ්ඩායම් 4ක් සිටියි. පසුගිය 8 වන දා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක්  ලබා ගත් අතර, දකුණු අප්‍රිකාව හා පකිස්තානය අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට පකිස්තානු කණ්ඩායම සමත් විය. ඒ අනුව ජයග්‍රාහී මානසික මට්ටමකින් යුතුව ශ්‍රී ලංකාව හා පකිස්තානය යන කණ්ඩායම් ද්විත්වයම මෙම තරගයට අවතීර්ණ වෙනු ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා තරගයට මොකක් වෙයි ද?

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩාලෝලීන් අපේක්ෂාවෙන් පසුවන “ඉන්දු – ශ්‍රී ලංකා තරගය” හෙට (8) එංගලන්තයේ ලන්ඩන් නුවර, ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත යි.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 147කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 84ක ජය පකිස්තානු කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 58ක් පමණි. තවද එයින් තරග 4ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වන විට, තවත් එක් තරගයක් ලකුණු සම වී අවසන්ව ඇත.

දැනට නිමා වී ඇති ශූරයින්ගේ කුසලාන තරගාවලි 7 තුල දී ම පකිස්තානය හා ශ්‍රී ලංකාව එකිනෙකා මුණ ගැසී ඇත්තේ, තරග තුනක දී පමණක් වන අතර, ඉන් එක් තරගයක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී පකිස්තානය තරග දෙකක් ජයග්‍රහණය කර ඇත. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම 2002 වර්ෂයේ දී ශූරයින්ගේ කුසලානයේ සමශූරතාවය ජයග්‍රහණය කර ඇති අතර, පකිස්තානය කිසිදු අවස්ථාවක දී ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයකට මෙතෙක් සුදුසුකම් ලබාගෙන නොමැත.

[rev_slider ct17-dsccricket]

දෙපිලේ ප්‍රහාරාත්මක තරු

මොහොමඩ් හෆීස්

Mohamed Hafeezදකුණතින් පිතිකරණයේ නිරත වන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්  ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව එක්දින තරග 32ක් ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකා පන්දු හමුවේ ලකුණු 1238ක් ලබාගෙන ඇත්තේ ලකුණු 41.26 පමණ වන සැලකිය යුතු මට්ටමේ ලකුණු සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. හෆීස් එම ලකුණු අතරට ශතක 4ක් හා අර්ධ ශතක 6ක් ලබාගෙන ඇත. එසේම පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කඩුලු 30ක් දවා ගැනීමට සමත් වී ඇත.

ඇන්ජලෝ මැතිව්ස්

Angelo Mathewsනිමා වූ ඉන්දීය තරගය තුල දී ද අගනා කාර්යභාරයක් ඉටු කළ නායක මැතිව්ස් හෙට පැවැත්වෙන පකිස්තානු තරගයේ දී වඩාත් වැදගත් සාධකයකි. පකිස්තානයට එරෙහිව තරග 32ක දී තම දායකත්වය දක්වා ඇති මැතිව්ස්, පකිස්තානයට එරෙහිව ලකුණු 878ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 43.90ක් වැනි සැලකිය යුතු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. තවද ඔහු අර්ධ ශතක 7ක් ඔවුන්ට එරෙහිව වාර්තා කර ඇති නමුත් ශතකයක් පකිස්තානයට එරෙහිව ලබාගෙන නැත.

ශොයිබ් මලික්

CRICKET-ICC-WORLD-T20-MATCH20-IND-PAKපකිස්තානු මැදපෙළ  සවිමත් කරන අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වන මලික්, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්දින ජාත්‍යන්තර තරග 40කට ක්‍රීඩා කර ඇත. එහි දී ලකුණු 34.25ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන මලික් ලකුණු 925ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 7ක් ඇතුළත් වුවත් ශතකයක් අන්තර්ගත නැත. තවද පන්දු යැවීම මඟින් ද යම් සේවයක් ලබා දීමට හැකි මලික් ශ්‍රී ලංකා කඩුලු 25ක් දවා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 32කට කඩුල 3ක් දවා ගැනීම සිය හොඳම පන්දු යැවීම ලෙස සලකුණු කරගෙනයි.

දිනේෂ් චන්දිමාල්

Dinesh Chadimalශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරන මේ දකුණත් පිතිකරුවා ලකුණු 596ක් පකිස්තානු කණ්ඩායමට එරෙහිව ලබාගෙන ඇත්තේ තරග 23කට පමණක් ක්‍රීඩා කරමිනි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 33.11ක් වැනි මට්ටමක පසුවෙන චන්දිමාල් මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමට වැදගත්ම වන පිතිකරුවෙකි. ඔහු පකිස්තානයට එදිරිව ශතක කිසිවක් ලබාගෙන නැති අතර අර්ධ ශතක ත්‍රිත්වයකින් පකිස්තානු පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.

ප්‍රබල පන්දු යවන්නන්

ලසිත් මාලිංග

Lasith Malingaපකිස්තාන  පිතිකරුවන් වුවද දකුණතින් වේග පන්දු යවන මාලිංගගේ පන්දු හමුවේ තරමක දෙගෙඩියාවකින් යුතුව පහර දෙයි. ඒ මාලිංගගේ වෙනස් හා අපූරු පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. මාලිංග තරග 35ක දී පකිස්තානු කඩුලු 47ක් දවා ගැනීමට සමත් ව ඇති අතර, එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 5.32ක පමණ ලකුණු ප්‍රමාණයක් පකිස්තානු පිතිකරුවන්ට ලබා දී ඇත. සිය හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 34කට කඩුලු 5ක් ලබා ගැනීම ක්‍රිකට් ඉතිහාස පොතේ සඳහන් වී තිබේ.

ජුනෙයිඩ් කාන්

Junaid Khanවමතින් වේග පන්දු යවන්නෙකු ලෙස පකිස්තාන පන්දු බල ඇණිය සවිමත් කරන ජුනයිඩ් තරග 10ක දී ශ්‍රී ලංකා කඩුලු 16ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30.18ක් ලෙසින් දක්වයි. එසේම  ජුනයිඩ් එක් පන්දු වාරයකට ශ්‍රී ලංකා පිතිකරුවන්ට දළ වශයෙන්  ලකුණු 6.12ක් පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. ඔහුගේ හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 31කට කඩුලු 3ක් දවා ගැනීම සනිටුහන් වී ඇත.

තිසර පෙරේරා

Thisara Pereraදකුණතින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, පකිස්තාන කණ්ඩායමට එරෙහිව තරග 22ක දී කඩුලු 32ක් දවා ගැනීමට සමත් වී ඇත. 26.62ක් වැනි හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත තිසර පන්දු සංකලනයක් සහිතව පන්දු යවන ක්‍රීඩකයෙකි. මේ ජවසම්පන්න ක්‍රීඩකයා පකිස්තානුවන්ට එදිරිව සිය හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 40කට කඩුලු 4ක් දවා ගෙන ඇති තිසර සාමාන්‍යයෙන් පකිස්තානු පිතිකරුවන්ට එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු  5.39ක් පමණ ලබා දී ඇත.

හසන් අලී

Hassan Aliදකුණත් මඳ වේග පන්දු යවන්නෙකු ලෙසින් පකිස්තානු කණ්ඩායම සතුව සිටින යොවුන් තරුවක් වන හසන් අලී ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව කිසිදු ජාත්‍යන්තර තරගයකට තවමත් ක්‍රීඩා කර නැත. නමුත් ඔහු ජාත්‍යන්තර එක්දින තරග 18ක දී කඩුලු 33ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 38කට කඩුලු 5ක් දවාලීම  ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සනිටුහන් කර ඇති අලී එක් පන්දු වාරයකට දළ වශයෙන්  ලකුණු 5.79ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.

කාර්ඩිෆ් තණතීරුව, පිටිය හා කාළගුණය

ප්‍රේක්ෂකයින් 16,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම කිසිදු එක්දින ජාත්‍යන්තර තරගයක දී මෙම පිටියේ දී මුණ ගැසී නොමැත.

තවද ශ්‍රී ලංකාව මෙම තණතීරුවේ දී ජාත්‍යන්තර එක්දින තරග 3කට මුහුණ දී තිබුණ ද කිසිදු තරගයක් ජයග්‍රහණය කර නැත. පකිස්තානය ද මෙම පිටියේ දී තරග 3කට සහභාගි වී ඇති අතර, ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර, තවත් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.  

එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද  ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සවිමත් පිතිකරණයක් සතු නිසා මෙන්ම පසුගිය දා නිමා වූ ඉන්දීය තරගයේ ප්‍රතිඵලය දෙස බලන විට,  මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කළ විට වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීමට ඇති සම්භාවිතාව ඉතාමත් අවම මට්ටමක පවතියි. තවද 15°C -17°C පමණ තරමක සීතල උෂ්ණත්වයක් කාර්ඩිෆ් අවට ප්‍රදේශය තුල තිබේ.

වර්තමාන තත්ත්වය

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානු කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පකිස්තානුවන් දැනට (ජුනි 10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි  ස්ථානයේ පසුවෙයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 3409ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 90ක් හිමි කර ගෙනයි. 7 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4513ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම වර්ෂ 2015ට පසුව එකදු ජාත්‍යන්තර එක්දින තරගයක දී හෝ එකිනෙකා මුණ ගැසී නොමැත. එබැවින් දෙපිලටම මෙය නවමු අත්දැකීමක් වන අතර, දෙපිලේ බොහෝමයක් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. තවද  ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන අතර, ඒ කියමනට හොඳම නිදසුන මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සාක්ෂි සහිතව පෙන්වා අවසන්ය.

අපේක්ෂිත සංචිතය

ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග.

පකිස්තානය – ශෆ්රාස් අහමඩ් (නායක), අසාර් අලී, ෆක්හාර් ස්මාන්, මොහොමඩ් හෆීස්, ශොයිබ් මලික්, බාබර් අසාම්, ඉමෑඩ් වසීම්, මොහොමඩ් අමීර්, හසන් අලී, ජුනයිඩ් කාන්, ශදබ් කාන්

පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තියුණු හා උණුසුම් තරගය හෙට (12) වේල්සයේ කාර්ඩිෆ් නුවර, සොෆියා ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට ආරම්භ වේ. එම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම මෙවර ශූරයින්ගේ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට