ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩාලෝලීන් අපේක්ෂාවෙන් පසුවන “ඉන්දු – ශ්‍රී ලංකා තරගය” හෙට (8) එංගලන්තයේ ලන්ඩන් නුවර, ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත යි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව B කාණ්ඩයෙන් තරග කරන අතර, ඊට අමතරව මෙම කාණ්ඩයේ තවත් ප්‍රබල කණ්ඩායම් 4ක් සිටියි. පසුගිය දා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අනපේක්ෂිත ලෙස ලකුණු 96කින් පරාජයට පත්වූ අතර, ඉන්දියාව හා පකිස්තානය අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 124කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව ඉන්දියානු කණ්ඩායම ජයග්‍රාහී මනසකින් තරගයට අවතීර්ණ වනු ඇත. ඔවුන් සමඟ සසඳන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික මට්ටම තවදුරටත් ශක්තිමත් විය යුතුය. තවද ඉන්දීය මාධ්‍ය ඉන්දු – ශ්‍රී ලංකා තරගය ඉන්දීය කණ්ඩායමට පුහුණු තරගයක් ලෙසින් හඳුන්වා දෙමින් හෑල්ලුවට ලක්කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම මේ වන තෙක් අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 175ක් ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 103ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 54ක් පමණි. එමෙන්ම තරග 17ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වන විට, තවත් එක් තරගයක් ලකුණු සමව අවසන් වී ඇත.

දැනට නිමා වී ඇති ශූරයින්ගේ කුසලාන තරගාවලි 7 තුළ දී ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකිනෙකාට එදිරිව තරග වැදී ඇත්තේ දෙවරක් පමණක් වන අතර, එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී, එක් තරගයක ජය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී ඇත. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම 2002 වර්ෂයේ දී ශූරයින්ගේ කුසලානයේ සමශූරතාවය ජයග්‍රහණය කර ඇති අතර, 2013 වර්ෂයේ ශූරතාවය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

දෙපිලේ ප්‍රහාරාත්මක තරු

Mahendra Singh Dhoniමහේන්ද්‍ර සිං දෝනි

“Captain Cool” යන අන්වර්ථ නාමයෙන් ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වී ඇති දෝනි, ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව එක්දින තරග 57ක් ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකා පන්දු හමුවේ ලකුණු 2086ක් ලබාගෙන ඇත්තේ ලකුණු 61.35ක පමණ ඉහළ හා විශිෂ්ට ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි. දෝනි එම ලකුණු අතරට ශතක දෙකක් හා අර්ධ ශතක 16ක් ලබාගෙන ඇත. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට සමත්කම් පෙන්වන සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස දෝනි හැදින්වීමට හැකිය.

Angelo mathews iccඇන්ජලෝ මැතිව්ස්

එතරම් යහපත් ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවූ නිසා, පසුගිය දා නිමාව දුටු දකුණු අප්‍රිකානු තරගයට තම දායකත්වය ලබා දීමට ඔහු අසමත් වූ නමුත්, හෙට පැවැත්වීමට නියමිත තරගයට මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගෙන ක්‍රීඩා කරනු ඇත. මැතිව්ස් ඉන්දියාවට එරෙහිව තරග 30ක ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ලකුණු 883ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 44.15ක් වැනි සැලකිය යුතු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. මැතිව්ස් එක් ශතකයක් හා අර්ධ ශතක 5ක් ඉන්දියානු කණ්ඩායමට එරෙහිව වාර්තා කර ඇත.

විරාට් කෝලි

Kholiඉන්දීය නායකයා ලෙසින් මැදපෙළ සවිමත් කරන කෝලි, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්දින තරග 40කට ක්‍රීඩා කර ඇත. එහි දී ලකුණු 56.24ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන කෝලි, ලකුණු 1856ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 10ක් හා ශතක 6ක් ලබාගෙන ඇත. එසේම ඔහු අර්ධ ශතකයක් ලබා ගතහොත් පහසුවෙන්ම ශතකයක් වෙතට යාමේ වැඩි ඉඩකඩක් ඇති ක්‍රීඩකයෙකි.

දිනේෂ් චන්දිමාල්

chandiශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ කවදත් ශක්තිමත් කළ මේ දකුණත් පිතිකරුවා ලකුණු 409ක් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබාගෙන ඇත්තේ තරග 17කට පමණක් ක්‍රීඩා කරමිනි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 29.21ක් වැනි මට්ටමක පසුවන චන්දිමාල් මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමට වැදගත්ම වන පිතිකරුවෙකි. ඔහු ශතක එකක් හා අර්ධ ශතක දෙකකින් ඉන්දීය පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.

[rev_slider ct17-dsccricket]
ප්‍රබල පන්දු යවන්නන්

ලසිත් මාලිංග

Malingaඉන්දීය පිතිකරුවන් වුව ද මාලිංගගේ පන්දු හමුවේ තරමක් දුර්වල වීම සුලබ අත්දැකීමකි. අන් ක්‍රීඩකයින් සතුව නොමැති, මාලිංගගේ වෙනස් හා අපූරු පන්දු යැවීමේ තාක්ෂණය එසේ වීමට හේතු පාදක වී ඇත. මාලිංග තරග 33ක දී ඉන්දීය කඩුලු 38ක් දවා ගැනීමට සමත් ව ඇති අතර, එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 5.94ක පමණ ලකුණු ප්‍රමාණයක් ඉන්දීය පිතිකරුවන්ට ලබා දී ඇත. මාලිංගගේ හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 64කට කඩුලු 3ක් ලබා ගැනීම ක්‍රිකට් ඉතිහාස පොතේ වාර්තා අතරට ද එක් වී ඇත.

රවිචන්ද්‍රන් අශ්වින්

දකුණත් දඟ පන්දු යවන්නෙකු ලෙස ඉන්දීය පන්දු බල ඇණිය බලාත්මක කරන අශ්වින්, තරග 20ක දී කඩුලු 32ක් සිය කණ්ඩායම වෙනුවෙන් දවා ගැනීමට සමත් වී ඇති අතර, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය කඩුලු 27.15ක් ලෙසින් දක්වන අශ්වින් එක් පන්දු වාරයකට ශ්‍රී ලංකා පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 4.64ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 32කට කඩුලු 3ක් දවාලීම සනිටුහන් වී ඇත.

DSC_5238නුවන් කුලසේකර

සුපුරුදු පරිදි සිනහ මුසු මුහුණකින් ක්‍රීඩා කරන මේ සොඳුරු දකුණත් මඳ වේග පන්දු යවන්නා, ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 37ක දී කඩුලු 42ක් දවා ගැනීමට සමත් වී ඇත. 39.59ක හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත කුලසේකර, පන්දුව පහසුවෙන්ම දෙපසටම දෝලනය කිරීමට උපන් හපනෙකි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 40කට කඩුලු 4ක් දවා ගෙන ඇති කුලසේකර, සාමාන්‍යයෙන් ඉන්දීය පිතිකරුවන්ට එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු  5.29ක් පමණක් ලබා දී ඇත.

උමේෂ් යාදෙව්

yadavවේග පන්දු යවන්නෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම දක්ෂයෙක් වන යාදෙව්, තරග 13ක දී ශ්‍රී ලංකා කඩුලු 15ක් දවාගෙන ඇත. ලකුණු 53කට කඩුලු 4ක් දවාලීම ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව යාදෙව්ගේ හොඳම පන්දු යැවීම ලෙසින් දැනට වාර්තා ගත වී ඇති අතර එක් පන්දු වාරයකට දළ වශයෙන්  ලකුණු 6.12ක් පමණ ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දී ඇත.

ඕවල් තණතීරුව හා පිටිය

එකවර ප්‍රේක්ෂකයින් 23,500කට පමණ තරග නැරඹීමට හැකි ලෙස ඉදි කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 2002 වර්ෂයේ දී පැවැත්වූ එක්දින ජාත්‍යන්තර තරගය හැරුණු කොට, වෙනත් කිසිදු තරගයක් පවත්වා නොමැත. පැවැත්වූ එකම තරගය ද කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වී ඇත.

තවද ශ්‍රී ලංකාව මෙම තණතීරුවේ දී එක්දින ජාත්‍යන්තර තරග 12කට මුහුණ දී ඉන් තරග 4ක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම ද මෙහි දී එක්දින ජාත්‍යන්තර තරග 12කට සහභාගි වී ඇත. ඔවුන් ද තරග 4ක් ජයග්‍රහණය කර ඇත.  එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද  ඉතා වාසිදායක තණතීරුවක් ලෙස සැලකේ.

තවද නිමා වූ ස්කොට්ලන්ත තරග දෙක හා පුහුණු තරග ද්විත්වය තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන්, පන්දු යවන්නන්ට සාපේක්ෂව පෙරමුණේ පසු විය. තවද ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත තරගවල දී පළමුව පන්දුවට පහර දී විශාල ලකුණක් ලබා ගත්ත ද, එම තරග දෙකම පරාජයට පත්විය. එබැවින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළ හොත්, ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කිරීම වඩාත් සුදුසු වෙයි. කෙසේ වෙතත් නිමා වූ දකුණු අප්‍රිකානු තරගයේ පිතිකරණයේ මෙන්ම පන්දු රැකීමේ දී වූ අඩුපාඩු මඟ හරවා ගෙන ක්‍රීඩා කිරීමට සමත් වුවහොත් එම තීරණය වඩාත් උචිත තීරණයක් වනු නොඅනුමානයි.

වර්තමාන තත්ත්වය

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, ඔවුන් දැනට (ජුනි 6) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලකුණු 3770ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 118ක් හිමි කර ගෙනයි. 6 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4345ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92ක් ලබාගෙනයි

අවසන් නිගමනය

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම වර්ෂ 2014ට පසුව එකදු ජාත්‍යන්තර එක්දින තරගයක දී හෝ එකිනෙකා මුණ ගැසී නොමැති හෙයින් දෙපිලටම මෙය නවමු අත්දැකීමක් වීමට ඉඩ ඇත. දෙපිලේ බොහෝමයක් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හදුනා ගෙන නොමැත. එසේම ඉන්දීය කණ්ඩායමේ තරග ඉතිහාසය විශ්ලේෂණය කරන විට පෙරමුණේ පසු වුවද, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වා ගන්නා  කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින් අවිනිශ්චිත ක්‍රීඩාවක් වන නිසාවෙනි.

අපේක්ෂිත සංචිතය

ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග,

ඉන්දියාව – විරාට් කෝලි (නායක), මහේන්ද්‍ර සිං දොණි, රෝහිත් ශර්මා, ශිකර් ඩවාන්, යුවරාජ් සිං , හාර්ඩ්ක් පාන්ඩයා, රවීන්ද්‍ර ජඩේජා, උමේෂ් යාදෙව්, ජාස්ප්‍රිට් බුම්රා, බුවනේස්වර් කුමාර්, රවිචන්ද්‍රන් අශ්වින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<