එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය හෙට (3) ලන්ඩන් නුවර ඕවල් පිටියේ දී පැවැත්වේ. මේ ඊට පෙර අප විසින් කරන පෙර විමසුමක්.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියට අවතීර්ණ වන්නේ B කාණ්ඩයෙන් වන අතර, ඉන්දියාව, පකිස්ථානය එහි සිටින සෙසු කණ්ඩායම් වේ. මේ අතරින් ප්‍රබලතම කණ්ඩායම් ලෙස දකුණු අප්‍රිකා හා ඉන්දීය කණ්ඩායම් හැඳින්විය හැක.

>> ශූරයින්ගේ කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් ද?

මුහුණට මුහුණ

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් පිටිය තුල 1992 වර්ෂය තුල සිට මේ දක්වා එකිනෙකා සමඟින් එක්දින තරග 68ක දී මුණ ගැසී ඇත. ඒ අතුරෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 34ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තරග 29ක් ජයග්‍රහණය කර ඔවුන්ට සැලකිය යුතු අභියෝගයක් ලබා දීමට සමත් වී ඇත. මේ අතුරෙන් තරග 4ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇති අතර, එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් ව ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එදිරිව 2014 වර්ෂයෙන් පසුව කිසිදු එක්දින තරගයක් ජයග්‍රහණය කර නොමැත.

[rev_slider ct17-dsccricket]

දැනට නිමා වී ඇති ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලි 7 තුල ම ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම එකිනෙකා හමු වී ඇත්තේ තරග 3ක දී පමණි. වර්ෂ 1998 දී ලකුණු 92කින් හා 2006 දී ලකුණු 78කින් එම තරග ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත්ව ඇති අතර, 2009 වර්ෂයේ දකුණු අප්‍රිකානුවන්ට එදිරිව නිමා වූ තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 55කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම 1998 දී ශූරයින්ගේ කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 2002 වර්ෂයේ දී ඉන්දීය කණ්ඩායම සමඟින් සම ශූරතාවය දිනා ගෙන ඇත.

 දෙපිලේ ප්‍රහාරාත්මක තරු

  • ඒ. බී. ඩිවිලියර්ස්

ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක විය හැකි, අගනා නායකත්ව ලක්ෂණවලින් පරිපූර්ණ මෙන්ම පිටියේ ඕනෑම දිශාවකට පහරක් එල්ල කළ හැකි දක්ෂ පිතිකරුවෙකු වන මොහු, ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව තරග 22ක දී ලකුණු 927ක් ලබාගෙන ඇත්තේ ලකුණු 54.52ක ඉහළ මට්ටමේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. ඒ අතරට අගනා ශතක දෙකක් හා අර්ධ ශතක 7ක් අන්තර්ගත වී ඇත.

AB de

  • උපුල් තරංග

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන වමත් පිතිකරු උපුල් තරංග, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා මෙන්ම පිත්තෙන් ද යම් කාර්යයක් කළ හැකි ඉවසිලිවන්ත පිතිකරුවෙකි. තම පිතිකරණය මගින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එදිරිව ඔහු තරග 17ක දී ලකුණු 455ක් ලබාගෙන ඇති අතර, මෙම සංචිතයේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතුරෙන් එක්දින තරගයක දී දකුණු අප්‍රිකානුවන්ට එදිරිව ශතකයක් ලබාගෙන ඇති එකම පිතිකරු ද තරංග වේ. මීට අමතරව ඔහු තවත් අර්ධ ශතක 2ක් ද ලබාගෙන ඇත.

  • හෂිම් අම්ලා

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 15ක දී තම දායකත්වය දක්වා ඇති මේ නිහතමානී පිතිකරුවා පිත්තෙන් ලකුණු 799ක් රැස්කළේ, ශතක 4ක් හා අර්ධ ශතක 3ක් ශ්‍රී ලංකාවට එදිරිව ලබා ගෙනයි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 57.07ක් ලෙස සටහන් වී ඇත. තවද මොහු ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව අර්ධ ශතකයක් ලබා ගතහොත්, ශතකයක් වෙත යාමට වැඩි ඉඩකඩක් පවතින ක්‍රීඩකයෙකි.

  • දිනේෂ් චන්දිමාල්

දකුණතින් පිතිකරණයේ නිරත වෙමින් මැදපෙළ සවිමත් කරන ක්‍රීඩකයෙක් ලෙස චන්දිමාල් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනාදරය දිනා ගෙන ඇත. චන්දිමාල් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව තරග 13ක දී අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 346ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 38.44ක් ලෙස රඳවා ගෙනයි.

පන්දු යවන විශිෂ්ටයෝ

  • ලසිත් මාලිංග

ක්‍රිකට් පිටිය තුල වෙනස්ම ආකාරයකට අත හසුරුවමින් බිහිසුණු ලෙස පන්දු යවන මාලිංග කලකට පසුව එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන අතර, මෙම සුවිශේෂී පන්දු යවන්නා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එදිරිව තරග 17ක් තුල ලකුණු 789ක් පමණක් ලබා දෙමින් කඩුලු 32ක් දවාලීමට සමත්ව ඇත. ඒ අතරට 2007 ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එදිරිව පිට පිට පන්දු 4ක් තුල කඩුලු 4ක් ද දවා ගනිමින් ලෝක වාර්තාවක් ද තබා ඇත.

  • මෝනි මෝකල්

දකුණතින් වේග පන්දු යවන මෝකල් ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව තරග 14ක් ක්‍රීඩා කර ලකුණු 616ක් තුල කඩුලු 21ක් දවා ගැනීමට සමත්ව ඇති අතර, ඔවුන් සතුව සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැදින්වීමට හැකිය.

Thisara

  • තිසර පෙරේරා

තුන් ඉරියව්වෙන් ම කැපීපෙනෙන චරිතයක් රඟ දක්වන තිසර, තරග 8ක් තුල දකුණු අප්‍රිකානු කඩුලු 9ක් තම කඩුලු ගොන්නට එක් කරගෙන ඇත. එසේම ඔහුගේ පන්දු යැවීම තුල කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 28.00ක් ලෙසින් සටහන් වන විට, තිසරගේ පන්දු හමුවේ දකුණු අප්‍රිකානුවන් ලකුණු 252ක් රැස්කරගෙන ඇත.

  • ඉම්රාන් තාහීර්

දකුණතින් පා දඟ පන්දු යවමින් පිතිකරුවන් බොහෝමයක් අසරණ තත්ත්වයකට ඇඳ දැමීමට හැකි දක්ෂ පන්දු යවන්නෙකු ලෙස තාහිර් සැලකිය හැකිය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 9කට ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 352ක් පමණක් ලබා දෙමින් කඩුලු 20ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 17.60ක් ලෙස සටහන් කරගෙනයි.

ඕවල් තණතීරුව හා පිටිය

ප්‍රේක්ෂකයින් 23,500කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව මෙම තණතීරුවේ දී තරග 10කට මුහුණ දී ඉන් තරග 4ක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රතිවාදී දකුණු අප්‍රිකානුවන් මෙහි දී එක්දින ජාත්‍යන්තර තරග 7කට සහභාගි වී ජයග්‍රහණය කර ඇත්තේ තරග දෙකක් පමණි. එම තරග දෙකම 1998 හා 1999 වර්ෂයේ දී ජයග්‍රහණය කර ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තණතීරුව මත 2013 වර්ෂයේ දී අවසන් වරට ක්‍රීඩා කරත්, ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ 2016 වර්ෂයේ දී ය. එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද  ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ.

තවද නිමා වූ ස්කොට්ලන්ත තරග දෙක හා පුහුණු තරග ද්විත්වය තුල දී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු යවන්නන්ට සාපේක්ෂව පෙරමුණේ පසු විය. තවද ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත තරගවල දී පළමුව පන්දුවට පහර දී විශාල ලකුණක් ලබා ගත්ත ද, එම තරග දෙකම පරාජයට පත්විය. එබැවින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.

වර්තමාන තත්ත්වය

මේ වන විට (මැයි 29 වැනි දා දත්ත අනුව) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයේ කිරුල දරාගෙන සිටින දකුණු අප්‍රිකානුවන් ලකුණු 5549ක් ලබාගෙන ප්‍රසාද ලකුණු 121ක් හිමි කරගෙන සිටියි. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4273ක් හා ප්‍රසාද ලකුණු 93ක් ලබාගෙනයි.

අවසන් නිගමනය

දෙපිලම සන්සන්දනය කර බැලූ විට, දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව යම්තාක් මට්ටමකට පෙරමුණේ පසුවෙන බවක් පෙන්නුම් කළ ද, ඒ තරග ඉතිහාසය පිරික්සා බලා අප හට එළඹීමට හැකි නිගමනයක් පමණි.

නමුත් ක්‍රිකට් යනු බොහෝ සෙයින් අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් නිසාවෙන්, එම තරගය තුල හා එම අවස්ථාව තුල අඩුපාඩු අවම ලෙස තබා ගෙන ක්‍රීඩා කරන කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි ය. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරගාවලි කිහිපයකටම එක් නොවූ ප්‍රබල ක්‍රීඩකයින් සංයෝගයක් සහිතව මෙම තරගාවලියට පිවිසෙන නිසා දෙපිල අතරම, සීතල යුද්ධයක් ලෙසට මෙම තරගය පත්වන බව නම්  නොඅනුමානයි.

සංචිතයන්

ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, කුසල් ජනිත්, සීකුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, කුසල් මෙන්ඩිස්

දකුණු අප්‍රිකාව – ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හෂිම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඩීන්, ෆෆ් ඩියු පෙලෙසිස්, කුවින්ටන් ඩී කොක්, ජෝන් පෝල් ඩුමිනි, ඉම්රාන් තාහීර්, කේශව් මහරාජ්, ඩේවිඩ් මිලර්, මෝනි මෝකල්, ක්‍රිස් මොරිස්, වේන් පානෙල්, ඩුවෙයින් ප්‍රිටෝරියස්, කැගිසෝ රබාඩා, ඇන්ඩලී පෙහෙලුකවායෝ

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට