අම්ලා සහ තහීර් සිංහ බලාපොරොත්තු බොඳ කරයි

407
Champions trophy

සුපිරි පිතිකරුවන් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 299කට සීමා කිරීමට අද (03) ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද මැදපෙළ පිතිකරුවන් දැක්වූ එක්දින ක්‍රීඩාවට නොගැළපෙන අසාර්ථක පිතිකරණ රටාව හේතුවෙන් ලකුණු 96ක පරාජයක් භාර ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ අනුව පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරි තරගවල දී මීට වඩා වගකීමකින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ වාර්තා කිරීම ශ්‍රී ලංකා පිළට අනිවාර්ය වී තිබේ.

>> ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු සටනට පෙර විමසුමක්

අද තරගයට ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් උපුල් තරංග කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. වසර දෙකකට පමණ පසු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබුණු අතර ආබාධ තත්ත්වයන්ගෙන් සුවය ලැබූ ඩේවිඩ් මිලර් සහ ඉම්රාන් තහීර් අද දකුණු අප්‍රිකානු කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා එක්කොට තිබුණි.

ඉනිම ආරම්භ කළ හෂිම් අම්ලා සහ ක්වින්ටන් ඩි කොක් අසාමාන්‍ය ලෙස මන්දගාමී අයුරින් පන්දුවට පහර දුන් අතර ඒ හේතුවෙන් පන්දුවාර 10ක් ගත වන විටත් දකුණු අප්‍රිකානු ඉනිමට එකතු වී තිබුණේ ලකුණු 32ක් පමණි. ශ්‍රී ලංකා පිළේ පන්දු යැවීම ආරම්භ කළ ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල් සංයමයකින් යුතුව පන්දු යැවීම ද දකුණු අප්‍රිකානුවන්ගේ මෙම වෙනසට හේතුවක් විය. පවර්ප්ලේ අවස්ථාවෙන් අනතුරුව ලකුණු 23ක් ලබා සිටි ක්වින්ටන් ඩි කොක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙඩිමුරය දියත් කරන්නට නුවන් ප්‍රදීප් සමත් විය. ඒ කඩුල්ල පිටුපස සිට නිරෝෂන් දික්වැල්ල රැක ගත් විශිෂ්ට උඩ පන්දුවක ආධාරයෙනි.

 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයේ වීඩීයෝ පට නැරඹීමට පිවිසෙන්න 

ඉන් අනතුරුව පිටියට පිවිසි ෆැෆ් ඩු ප්ලෙසිස් ලකුණු 8ක් ලබා සිටිය දී අපරීක්ෂාකාරී පහරක් එල්ල කරමින් තමන්ව දවා ගැනීමට අවස්ථාවක් ලබා දුන්න ද එය ඩීප් ෆයින්-ලෙග් හි පන්දු රැකි ලසිත් මාලිංග විසින් බිම අත හරින ලදි. ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් ප්ලෙසිස් අද හෂිම් අම්ලා සමඟ ලකුණු 144ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගුවේය. අවසානයේ නැවතත් පන්දුව අතට ගත් නුවන් ප්‍රදීප් ලකුණු 75ක් ලබාසිටි ෆැෆ් ඩු ප්ලෙසිස් දවා ගනිමින් මෙම සුපිරි සබඳතාවය නිමා කිරීමට සමත් විය. ඒ මිඩ්-විකට් හි සිට දිනේෂ් චන්දිමාල් රැක ගත් අති විශිෂ්ට උඩ පන්දුවත් සමඟයි. ඒ වන විට ප්ලෙසිස් හතරේ පහර 6ක් එල්ල කොට තිබුණි.

[rev_slider ct17-dsccricket]

දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු වේගය ඉහළ නැංවීම සඳහා උත්සාහ දැරූ ඒ. බී. ඩිවිලියර්ස්ව ඊළඟ පන්දු වාරයේ දී ම දවා ගන්නට සීක්කුගේ ප්‍රසන්න සමත් විය. ඒ වන විට ඩිවිලියර්ස් රැස්කොට තිබුණේ ලකුණු 4ක් පමණි. නමුත් මහා පවුරක් ලෙසින් දකුණු අප්‍රිකානු ඉනිම දරා සිටි හෂිම් අම්ලා අද තම එක්දින දිවියේ 25 වැනි ශතකය වාර්තා කරමින් තම කණ්ඩායමට යම් ජීවයක් ගෙන දුන්නේය. ඔහුට අමතරව තරගයේ අවසන් කොටසේ දී ජේ. පී. ඩුමිනි නොදැවී රැස් කර ගත් ලකුණු 38 නිසා දකුණු අප්‍රිකානුවන්ට අද පන්දුවාර 50 අවසානයේ ලකුණු 299ක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.

ඡායාරූප අැල්බමය: ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව | ICC ශූරයින්ගේ කුසලානය 2017 – තෙවැනි තරගය

විශේෂයෙන්ම වැඩ බලන නායක ලෙස කටයුතු කරන උපුල් තරංග ඉතාමත් නුවණැති අන්දමින් පන්දු යවන්නන් පස්දෙනා මාරු කිරීම ද, පන්දු රකින්නන් නිසි ස්ථාන වල රැඳවීම ද දකුණු අප්‍රිකානුවන්ට පහසුවෙන් ලකුණු ලබා ගැනීමට බාධාවක් විය. සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා පිළේ පන්දු රැකීම සහ කණ්ඩායම් හැඟීම අද ඉහළ තත්ත්වයක පැවතිණ. එසේම වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් ද කණ්ඩායමට ඉටු වූ සේවය සුළුපටු නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම කරන අවස්ථාවන් හිදී නුවන් ප්‍රදීප් කඩුලු 2ක් බිඳ හෙලූ අතර තරගය පුරාවටම ඔහුගේ පන්දුකරණය දකුණු අප්‍රිකානුවන්ට අභියෝගයක් විය. මීට අමතරව සුරංග ලක්මාල් සහ සීක්කුගේ ප්‍රසන්න එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිම ආරම්භ කළ නායක උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 69ක සබඳතාවයක් පිහිටුවමින් කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ දැමීමට සමත් වූහ. නමුත් පන්දු 33ක දී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 41ක් රැස් කර ගත් දික්වැල්ල දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පසුපස පාදයට ඇද වැටුණි. කුසල් මෙන්ඩිස් පැමිණි විගස හතරේ පහර 2ක් එල්ල කරමින් ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළ ද ඔහු ලකුණු 10කට සීමා විය.

තත්වය තවත් නරක අතට හැරෙන්නේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් 18 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කිරීමත් සමඟයි. එහි දී දිනේෂ් චන්දිමාල් දුවද්දී දැවී යාමකට ගොදුරු වූ අතර කපුගෙදර තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. කෙසේ වෙතත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ලකුණු 57ක් රැස් කිරීම කණ්ඩායමට මද සැනසිල්ලක් ගෙන දීමට සමත් විය. 32 වැනි අර්ධ ශතකය ලෙස වාර්තා වුන තරංගගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය.

තරංග දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වුණු කුසල් පෙරේරා (44*) සහ සීක්කුගේ ප්‍රසන්න (13) කෙටි සබඳතාවයක් ගොඩ නැගූව ද එය ලකුණු 300ක් හඹා යාම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඒ අනුව පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 203කට සීමා විය. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට බරපතල හිසරදයක් බවට පත්වී ඇති ඉම්රාන් තහීර් අද දිනයේ දීත් කඩුලු 4ක් බිඳ හෙලමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. මීට අමතරව ක්‍රිස් මොරිස් කඩුලු 2ක් දවාලීය. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් මෙම තරගය පහසුවෙන් ජය ගත්තේ ලකුණු 96කිනි.

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 299 (පන්දුවාර 50): හෂිම් අම්ලා 103, ෆැෆ් ඩු ප්ලෙසිස් 75, ජේ.පී. ඩුමිනි 38*, නුවන් ප්‍රදීප් 2/54, සුරංග ලක්මාල් 1/51, සීක්කුගේ ප්‍රසන්න 1/72.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 41.3): උපුල් තරංග 57, නිරෝෂන් දික්වැල්ල 41, කුසල් පෙරේරා 44*, සීක්කුගේ ප්‍රසන්න 13, ඉම්රාන් තහීර් 4/27, ක්‍රිස් මොරිස් 2/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<