2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ ගමන අවසන් කරමින් අද (12) කාඩිෆ් හිදී පැවති තරගයෙන් පාකිස්තානු කණ්ඩායම කඩුලු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වූහ. එහි දී පිතිකරුවන්ගේ අසාර්ථක වීමත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වගකීම කරට ගෙන ක්‍රීඩා කළ නමුත් පන්දු රකින්නන්ගේ අතපසු වීම් නිසා ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක් උරුම විය.

පකිස්තානු ශ්‍රී ලංකා තරගයේ වැඩි වාසිය කා හට ද?

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වඩාත්ම උණුසුම් වනු ඇතැයි බලාපොරොත්තුවක්..

පාකිස්තානු නායකයාගේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළේ ආරම්භය ලකුණු 26කට සීමා කරමින් කලින් තරගයේ දී සුපිරි ඉනිමක් දියත් කළ ධනුෂ්ක ගුණතිලකව ලකුණු 13කට දවා ගැනීමට අද ජුනෙයිඩ් කාන් සමත් විය. ඒ ධනුෂ්ක යාර 30 සීමාවට ඉහළින් එල්ල කිරීමට උත්සාහ දැරූ පන්දුව ශොයිබ් මලික් විසින් පහසුවෙන් රැක ගැනීමත් සමඟයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව ලකුණු 56ක සබඳතාවයක් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල අතරේ ගොඩ නැඟුණි. අවසානයේ මෙම සබඳතාවය බිඳ හෙලන්නට මොහොමඩ් සෆ්රාස් පන්දුව භාර කරන්නේ දකුණු අප්‍රිකානුවන් සමඟ පැවති තරගයේ දී සුපිරි දක්ෂතා ප්‍රකට කළ හසන් අලිටයි.

නායකයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කළ හසන් අලි සුපිරි පන්දුවක් මඟින් කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. ඒ වන විට කුසල් රැස් කරගෙන තිබුණේ ලකුණු 27ක් පමණි. ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් කඩුල්ලට ඈතින් ඇදී යන දුර්වල පන්දුවක් පිත්තෙන් කඩුල්ල වෙතට හරවා ගනිමින් නවක ක්‍රීඩක ෆහීම් අශ්රාෆ්ට තම මංගල එක්දින කඩුල්ල හිමි කර දුන්නේය. එක්දින තරග 100කටත් වඩා අත්දැකීම් ඇති චන්දිමාල් අතිශය තීරණාත්මක තරගයක දී වගකීම් විරහිත ආකාරයෙන් ලකුණු නොලබාම දැවී යාමේ වගකීම භාර ගන්නේ ඔහු ද, නැතහොත් තේරීම් කමිටුව ද යන්න ප්‍රශ්නාර්ථයකි.

කෙසේ හෝ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කරමින් ශ්‍රී ලංකාවට නැවතත් ඉහළ ලකුණක් කරා යාමේ අඩිතාලම නායක මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල දමා දුන්නේය. තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට හැරෙමින් තිබූ මොහොතේ පාකිස්තානු නායකයා නැවතත් තම ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාගෙන් තම වාසනාව උරගා බැලීමට තීරණය කළේය. ඒ වනවිට ලකුණු 161කට කඩුලු 3ක් ලෙස සටහන් වුන ශ්‍රී ලංකා ඉනිම කණපිට හැරෙන්නේ එතැන් සිටයි.

ලකුණු 38ක් ලබා සිටි ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කඩුල්ල මොහොමඩ් ආමීර්ගේ පන්දුවක් හමුවේ බිඳ වැටීම මෙම නාය යාමේ ආරම්භය බවට පත්විය. කුසල් පෙරේරාගේ ආබාධය නිසා ශ්‍රී ලංකාවේ සිට ආනයනය කෙරුණු ධනංජය සිල්වා ද අද එක් ලකුණකට දැවී ගියේ අනෙක් අන්තයෙන් පන්දු යැවූ ජුනෙයිඩ් කාන්ට තම දෙවැනි කඩුල්ලත් හිමි කර දෙමිනි. මෙම කඩුලු පූජාව එතකින් නතර නොකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 167ක් වෙද්දී වටිනා කඩුලු 7ක්ම පාකිස්තානු වේග පන්දු යවන්නන්ට හිමි කර දුන්හ. ඒ අතරතුර නිරෝෂන් දික්වැල්ල ලකුණු 73කට ද, තිසර පෙරේරා එක් ලකුණකට ද දැවී ගියේය.

[rev_slider ct17-dsccricket]

අනිවාර්යයෙන්ම ජය ගත යුතු තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ මෙම වගකීම් විරහිත පිතිකරණය නිසා ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාවටවත් ලඟාවිය නොහැකි තත්ත්වයක් උදාවන්නේ ඒ අනුවයි. කෙසේ වෙතත් පිතිකරුවන් මඟ දමා ගිය කාර්‍යභාරය භාර ගත් සුරංග ලක්මාල් පන්දු 34ක් තුල දී ලකුණු 26ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිළ එම අවමානයෙන් ගලවා දුන්නේය. සුරංගගේ දැවී යාමෙන් අනතුරුව අනෙක් අන්තයේ පිතිකරුවාත් ආරක්ෂා කර ගෙන පන්දුවට පහර දීමට උත්සාහ කළ අසේල ගුණරත්නගේ ඉනිම ද අද ලකුණු 27දී නිමා විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිම නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී සියලු දෙනාම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 236ක් පමණි. ඉනිමේ අර්ධයක් ගෙවී යන විට ලකුණු 300ක් කරා යාමට හැකියාව තිබූ ඉනිම මෙවන් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීම සමස්ත කණ්ඩායමේ ම අවාසනාව බවට පත්විය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිළේ සියලුම කඩුලු පාකිස්තානු වේග පන්දු යවන්නන් සිව්දෙනා අතරේ බෙදී ගියේය. ඒ ජුනෙයිඩ් කාන් සහ හසන් අලි අතරේ කඩුලු 3 බැගින් සහ මොහොමඩ් ආමීර් සහ ෆහීම් අශ්රාෆ් අතරේ කඩුලු 2 බැගිනි.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 237ක පහසු ඉලක්කයක් හිමි වුණු පාකිස්තානු කණ්ඩායම ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක් එක් කරමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈත් කිරීමට සමත් විය. ඒ අතරතුර ධනුෂ්ක ගුණතිලකගෙන් ඉතාමත් පහසු උඩ පන්දුවක් සහ දුවද්දී දවා ගැනීමක් ගිලිහී යනු දැක ගන්නට ලැබුණි. ඉන් ප්‍රයෝජන ගත් අසාර් අලි ලකුණු 34ක් ද, ෆකාර් සමන් ලකුණු 50ක් ද රැස්කර ගැනීමට සමත් වූහ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රබලව තරගයට අවතීර්ණ වූ අතර එහි මූලිකත්වය ගත්තේ නුවන් ප්‍රදීප් විසිනි. ඒ ෆකාර් සමන් සහ බාබර් අසාම් නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමිනි. මීට අමතරව ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයේ සහයෙන් අසාර් අලිවද පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත් විය. අද මොහොමඩ් හෆීස් එක් ලකුණකටත්, ෂොයිබ් මලික් ලකුණු 11කට සීමා වීමත් සමඟ ශ්‍රී ලංකාවට නැවතත් ජයග්‍රහණයේ දොරටු විවර විය. ඉමාඩ් වසීම් ලකුණු 4යි.

මේ ආකාරයෙන් ඉතාමත් ඉක්මනින් පාකිස්තානු පිතිපෙළ බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ තරගය සාර්ථක ලෙස නිමා කිරීමට පමණි. ඒ පාකිස්තානු කණ්ඩායමේ කඩුලු 6ක්ම ලකුණු 137ක් තුල දී බිඳ වැටුණු බැවිනි. කෙසේ වෙතත් ෆහීම් අශ්රාෆ් ලකුණු 15ක් රැස් කරමින් පාකිස්තානුවන්ට තවදුරටත් තරගයේ රැඳී සිටීමට සහයක් ලබා දුන්නේය. අශ්රාෆ් දැවී යාමෙන් අනතුරුව පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් සමඟ එක්වුණු මොහොමඩ් ආමීර් පාකිස්තානුවන්ට නොසිතූ ජයක් හිමි වන තුරුම තම කඩුලු ආරක්ෂා කර ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් පාකිස්තානු පිළ පරාජය කිරීමට නම් මොහොමඩ් සෆ්රාස් පිටියෙන් ඉවත් කළ යුතුම වූ මොහොතේ මාලිංගගේ පන්දුවකට මිඩ්-ඕන් හි සිටි තිසර පෙරේරා අතට ලැබුණු පහසු උඩ පන්දුව ගිලිහී යාම මෙම තරගය කණපිට හැරවූ සිදුවීම බවට පත්විය. ඒ වන විට පාකිස්තානුවන් ලකුණු 200ක්වත් ලබාගෙන නොතිබුණු නිසා පාකිස්තාන නායකයා පිටියෙන් ඉවත් වීමෙන් තරගය ශ්‍රී ලංකාව දෙසට හැරීමට වැඩි ඉඩකඩක් පැවතුණි. ඉන් අනතුරුව සෆ්රාස් අහමඩ් සීක්කුගේ ප්‍රසන්න වෙත ලබා දුන් අපහසු උඩ පන්දුව ද ඔහු අතින් ගිලිහී ගියේ ශ්‍රී ලංකාවේ අවාසනාව පැහැදිලිව කියා පාමිණි.

ශ්‍රී ලංකා පිළේ පන්දු රකින්නන් අතින් සිදු වූ මෙම සමාව දිය නොහැකි ආකාරයේ වැරදිවලින් ප්‍රයෝජන ලබාගත් පාකිස්තාන ක්‍රීඩකයින් පන්දුවාර 44යි පන්දු 5ක් අවසානයේ අදාළ ඉලක්කය පසුකර යමින් ඓතිහාසික ජයග්‍රහණයක කොටස්කරුවන් බවට පත්වූහ. ඒ මිලියන 20කට වැඩි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ ශූරයින්ගේ කුසලාන බලාපොරොත්තු බොඳ කර දමමිනි. තරගයේ වීරයා සම්මානය තම 7 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පාකිස්තාන කණ්ඩායමට ජය මාවත පෙන්වූ සෆ්රාස් අහමඩ්ට හිමි විය. තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය අනිද්දා (14) එංගලන්තය සහ පාකිස්තානය අතර මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වේ.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 236 (පන්දුවාර 49.2): නිරෝෂන් දික්වැල්ල 73, ඇන්ජෙලෝ මැතිව්ස් 39, කුසල් මෙන්ඩිස් 27, අසේල ගුණරත්න 27, සුරංග ලක්මාල් 26, ජුනෙයිඩ් කාන් 3/40, හසන් අලි 3/43, ෆහීම් අශ්රාෆ් 2/37.

පාකිස්තානය – කඩුලු 7ක් දැවී ලකුණු 237 (පන්දුවාර 44.5): සෆ්රාස් අහමඩ් 61*, ෆකාර් සමන් 50, අසාර් අලි 34, මොහොමඩ් ආමීර් 28*, ෆහීම් අශ්රාෆ් 15, නුවන් ප්‍රදීප් 3/60.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<