පිතිකරණයේ ඉන්ද්‍රජාලය නිසා මිලියන 20ක පැතුම ඉටුවෙයි

4199
Sri Lanka vs India - ICC CT 2017

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගයට පෙර පැවති පකිස්තානු තරග ජයග්‍රහණයෙන් ඔද වැඩි සිටි ඉන්දියානුවන්ට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අද (08) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව අද පැවැත්වෙන තරගය තමන්ට ‘පුහුණු තරගයක්’ පමණක් වන බවට වහසි බස් දෙඩූ ඉන්දියාවට මේ වන විට අවසන් පූර්ව වටයට පිවිසීමත් අනපේක්ෂිත තත්ත්වයකට පත්ව තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා තරගයට මොකක් වෙයි ද?

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි…

ශූරයින්ගේ කුසලානයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් පරාජයට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින් ආරම්භක පිතිකරු උපුල් තරංගගේ මෙන්ම මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරගේ සේවය ද මීට දිනකට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය. මෙවන් වටපිටාවක් යටතේ පළමු තරගයේ දී පහසුවෙන්ම තම සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයින් පරාජය කළ ඉන්දියාව කණ්ඩායමේ කිසිදු වෙනසකින් තොරවම අද තරගයට එක් වන්නේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්කර දීමේ බලාපොරොත්තුවෙනි.

එබැවින් තරගයට පෙර සිටම විදෙස් මාධ්‍යයන් පවා අනාවැකි පළ කරමින් කියා සිටියේ ඉන්දියානුවන් අද ඕවල් පිටියේ දී ශ්‍රී ලංකාව දණ ගස්වනු ඇති බවටයි. නමුත් ආබාධයන් සහ තරග තහනම් කිරීම් ලෙසින් වෙස් වලාගෙන පැමිණි ආශීර්වාදයත්, ඉන්දියානු පන්දු රකින්නන්ගෙන් ගිලිහී ගිය අවස්ථා කිහිපයත්, පිතිකරුවන් ප්‍රකට කළ අනභිභවනීය ක්‍රීඩා විලාශයත් හේතුවෙන් සමස්ත ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

[rev_slider ct17-dsccricket]

කාසියේ වාසිය දිනා ගත් ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්දියානු කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීමට ඇරයුම් කළේ තරගයට වර්ෂාවෙන් බාධා සිදු විය හැකි බවට පැවසුණු කාලගුණ වාර්තා ද සැලකිල්ලට ගනිමිනි. ඒ හැරුණුකොට ලකුණු හඹා යාමේ දක්ෂ කණ්ඩායමක් වන ඉන්දියානුවන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා නොදීම ද ඔහුගේ අරමුණ වන්නට ඇත. එම ඇරයුම භාර ගත් ඉන්දියානු කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස්කර ගැනීමට සමත් විය.

 ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර පැවැත්වෙන තරගයේ වීඩීයෝ පට නැරඹීමට පිවිසෙන්න 

මෙවන් දැවැන්ත ලකුණක් වාර්තා කිරීමට රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් අතරේ ගොඩ නැගුණු ශතක සබඳතාවයත් ඉනිමේ අවසන් කොටසේ දී එම්. එස්. දෝනි සහ කෙඩාර් ජාදෙව් දැක්වූ වේගවත් පිති හරඹයත් ඔවුන්ට ආධාර විය. ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වුණු ශිකර් ධවාන් අද තම එක්දින දිවියේ 10 වැනි ශතකය ලෙසින් ලකුණු 125ක් රැස්කර ගත්තේය. ඔහුගේ සුපිරි ඉනිමට හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

මීට අමතරව රෝහිත් ශර්මා ලකුණු 78ක් ද, එම්. එස්. දෝනි ලකුණු 63ක් ද රැස් කරමින් ඉන්දියානු ඉනිමට ජීවය සැපයීය. නවක පිතිකරු කෙඩාර් ජාදෙව් නොදැවී ලකුණු 25යි. පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 70කට කඩුලු 2ක් දවා ගත්තේය. කෙසේ වෙතත් මෙම තරගයේ දී පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 7කට එක් කඩුල්ලක් බිඳ හෙලූ අසේල ගුණරත්නව ඉන් අනතුරුව පන්දු යැවීම සඳහා භාවිතා නොකිරීම මතභේදයට තුඩුදුන් සිදුවීමක් බවට පත්විය. ඔහු වෙනුවට අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කළ තිසර පෙරේරාට ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 320 ඉක්මවා යාමට ඉන්දියානුවන් සමත් විය.

ඒ අනුව දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ වටිනාම කඩුල්ලක් වන නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ශ්‍රී ලංකාවට ලකුණු 11 දී අහිමි විය. නමුත් පහසුවෙන් පරාජය භාර නොගන්නා තරුණ ජවයකින් යුතු කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය බලාපොරොත්තු දැල්වූහ. ආබාධයකට ලක්වුණු චාමර කපුගෙදර වෙනුවට ආදේශකයක් ලෙස කණ්ඩායමට එක්වුණු ධනුෂ්ක ගුණතිලක අද හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 76ක් රැස්කර ගත්තේය.

පිටියට පැමිණි විගස යම් තරමක බිඳ වැටීමකට ලක් වුවත් අවස්ථාවට උචිත අන්දමින් තම පිතිකරණය හසුරුවාගත් කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් ලබා ගැනීමට සමත් විය. ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට අනපේක්ෂිත පරාජයක් ගෙන දීමට ඔහු ක්‍රීඩා කළ සුපිරි ටෙස්ට් ඉනිම ශ්‍රී ලාංකිකයින්ගේ මතකයට ගෙන ආ ඔහු ශතකය ආසන්නයේ දී දැවී යාම අද ශ්‍රී ලංකාව පැත්තෙන් එකම කණගාටුදායක සිදුවීම බවට පත්විය. කෙසේ වෙතත් ඔහුගේ මෙම වික්‍රමාන්විත පිතිහරඹය නිසාවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

මෙන්ඩිස් සහ ධනුෂ්ක දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා කැටුව යාමේ වගකීම භාරගත් නායක මැතිව්ස් අද නොදැවී අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. ඒ හතරේ පහර 6ක් සමඟිනි. මීට අමතරව කණ්ඩායමට අත්‍යවශ්‍යම මොහොතේ දී ලකුණු 47ක් රැස්කර ගන්නට කුසල් පෙරේරා සමත්කම් දැක්වීය. පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් නිසා කුසල් පෙරේරා පිටිය හැර යාමෙන් අනතුරුව පිත්ත අතට ගත් අසේල ගුණරත්න පන්දු 21කදී ලකුණු 34ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය. ශ්‍රී ලංකාව හඹාගොස් ජය ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද අද තරගය වාර්තා පොත් අතරට එක්විය.

මෙම ජයග්‍රහණයත් සමඟම B කාණ්ඩයේ පැවැත්වීමට ඉතිරිව ඇති තරග 2 අර්ධ අවසන් පූර්ව තරග 2ක් බවට පත්ව තිබේ. ඒ එහි දී ජයග්‍රහණය හිමි කර ගන්නා කණ්ඩායම් දෙකට කෙළින්ම අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමි වන බැවිනි. ඒ අනුව ලබන 12 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානු කණ්ඩායම සමඟ තවත් අතිශයින්ම වැදගත් තරගයකට අවතීර්ණ වනු ඇත. ඒ කාඩිෆ් හි සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී යි.

ඉන්දියාව – කඩුලු 6ක් දැවී ලකුණු 321 (පන්දුවාර 50): ශිකර් ධවාන් 125, රෝහිත් ශර්මා 78, එම්.එස්. දෝනි 63, කෙඩාර් ජාදෙව් 25*, ලසිත් මාලිංග 2/70, අසේල ගුණරත්න 1/7, තිසර පෙරේරා 1/54.

ශ්‍රී ලංකාව – කඩුලු 3ක් දැවී ලකුණු 322 (පන්දුවාර 48.4): කුසල් මෙන්ඩිස් 89, ධනුෂ්ක ගුණතිලක 76, ඇන්ජෙලෝ මැතිව්ස් 52*, කුසල් පෙරේරා 47, අසේල ගුණරත්න 34*, බුවනේශ්වර් කුමාර් 1/54.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට

India - BattingToss: Sri Lanka
Rohit Sharmac Perera b Malinga78 (79)
Shikhar Dhawanc Mendis b Malinga125 (128)
Virat Kohli c Dickwella b Pradeep0 (5)
Yuvraj Singhb Gunarathne Prasanna7 (18)
MS Dhonic Chandimal b Perera63 (52)
Hardik Pandyac K Perera b Lakmal9 (5)
Kedhar JadavNot Out 25 (13)
Ravindra JadejaNot Out0 (0)
Bhuvneshwar Kumar
Umesh Yadav
Jasprit Bumrah
TotalExtras (14)321/6 (50 overs)
Sri Lanka - BowlingOMRW
Lasith Malinga100702
Suranga Lakmal 101721
Nuwan Pradeep100731
Thisara Perera90541
Danushka Gunathilaka80410
Asela Gunarathne3071
Sri Lanka - BattingToss: Sri Lanka
Niroshan Dickwellac Jadeja b Kumar7 (18)
Danushka GunathilakaRun Out76 (72)
Kusal MendisRun Out89 (93)
Kusal Janith PereraRetired Hurt47 (44)
Angelo MathewsNot Out52 (45)
Asela GunarathneNot Out34 (21)
Dinesh Chandimal
Thisara Perera
Suranga Lakmal
Lasith Malinga
Nuwan Pradeep
TotalExtras (17)322/3 (48.4 overs)
India - BowlingOMRW
Bhuvneshwar Kumar100541
Umesh Yadav9.40670
Jasprit Bumrah100520
Hardik Pandya71510
Ravindra Jadeja 60520
Kedhar Jadav30180
Virat Kohli30170