ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු අත් හැර දැමීමට සිදු වුනේ මූලික වටයේ තරග තුනෙන් දෙකක් පරාජය වීමත් සමඟයි. තරගාවලියේ ඉදිරි ගමන අවසන් කර නැවත මවු රට බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී විය.

විශ්‍රාම ගැනීම පිළිබඳ පැතිරෙන කටකතා ගැන මාලිංග කතා කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන 2017 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා එක්වුණු…

”අපිට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වීම ගැන මුළු රටම දුක් වෙන බව අපි දන්නවා. අපිත් මේ පරාජය පිළිබඳ කනගාටු වෙනවා. කණ්ඩායමක් ලෙස අපි මේ පරාජයේ වගකීම සම්පූර්ණයෙන් භාර ගන්නවා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණක් බෙල්ලෙන් අල්ලා ගෙන ඔවුන්ව විවේචනය නොකරන ලෙස. එය අසාධාරණයි. අපි කණ්ඩායමක් ලෙස හැමෝම වග කිව යුතුයි විශේෂයෙන්ම මම වගකිව යුතුයි මේ පරාජයන් පිළිබඳව. අතිශය සාර්ථක නොවුනත් මෙම තරග සංචාරය තුල අපේ දස්කම් සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක තිබුණා. විශේෂයෙන් ඉන්දියාව සමඟ තරගයේ දී තරුණ ක්‍රීඩකයන් පන්දුවට පහර දුන් ආකාරය ඉතා ප්‍රශංසනීයයි. පන්දු රැකීමේ දුර්වලතා තිබුනත් අපි දුර්වලම කණ්ඩායම නොවේ. ඉතින් මේ තරගාවලියෙන් ඉගෙන ගත් දේ සමඟ ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා.’‘ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගාවලිය පිළිබඳ අත්දැකීම් සංක්ෂිප්ත කළේ එලෙසයි.

පාකිස්තානය සමඟ පැවති පළමු වටයේ අවසන් තරගය තුල දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් පහසු උඩපන්දු 3ක් ගිලිගී ගිය අතර එම අවස්ථා සියල්ලේ දී ම පන්දු යවන්නා ලෙස කටයුතු කළේ ලසිත් මාලිංග වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් තමන්ට අහිමි වූ කඩුලු පිළිබඳ තමන් තුල කිසිදු කලකිරීමක් නොමැති බවයි මාලිංග පවසන්නේ.

[rev_slider ct17-dsccricket]

”කිසිම කලකිරීමක් නැහැ, මොකද මමත් ඕනෑ තරම් උඩපන්දු අතහැරලා තියනවා. උඩපන්දුවක් ගිලිහී යාම තරග පරාජයට හේතුවක් නොවේ. සමහර විට මම කඩුලු නොගත්තා නම් කියන එකක් නැහැ ඔයා නිසා මැච් එක පැරදුනා කියලා, ඒත් කැච් එකක් අතහැරුනාම කියනවා ඒක නිසා පැරදුනා කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ.”

එමෙන්ම තරගයක් තුල ක්‍රීඩකයන් අතින් සිදු වන ඇතැම් අතපසු වීම් පිළිබඳව පුහුණුකරුවන්ට දොස් පැවරීම ද සාධාරණ නොවන බවයි මාලිංග පෙන්වා දෙන්නේ.

මම විකට් 5ක් ගත්තොත් කවුරුත් චම්පක සර්ට හොඳ කියන්නේ නැහැ. ඒ වගේ තමයි. උඩපන්දුවක් මිස් වුනොත් පන්දු රැකීමේ පුහුණුකරුට බනිනවා. හැබැයි ඇල්ලුවොත් ඔහුට හොඳ කියන්නේ නැහැ. ඒක තමයි ක්‍රිකට්වල හැටි.”



ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගයකට ක්‍රීඩා කළේ මාස 19කට පමණ පසුවයි. සිය නැවත පැමිණීමේ තරගාවලිය තුල දැක්වූ දස්කම් පිළිබඳ ඔහු තුල පවතින්නේ එතරම් ධනාත්මක ආකල්පයක් නම් නොවේ. නොකඩවා තරග තුනක් ක්‍රීඩා කිරීම පිළිබඳ සතුටු වන නමුත් ඒ කිසිදු තරගයක් තුල පෙර පරිදි තරග දිනවන පන්දු යවන්නෙකු බවට පත් වීමට නොහැකි වීම පිළිබඳ තමන්ට පැහැදීමක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කිරීමට හැකියාව ඇති දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට මාලිංග ලබා දුන්නේ මෙවන් පිළිතුරක්. ”මෙතන නායකයා ඉන්නවා, තේරීම් කමිටුව ඉන්නවා, සභාපතිතුමා ඉන්නවා. ඒ අය තීරණය කරයි මාව තෝර ගන්නවා ද නැද්ද කියලා තෝරා ගත්තොත් ක්‍රීඩා කරනවා.”



මෙම තරගාවලිය තුල පන්දු යවන්නන් යොදා ගත් ආකාරය පිළිබඳව ඇතැම් අවස්ථාවල දී නායක ඇන්ජලෝ මැතිව්ස්ට විවිධ සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් විචාරකයන්ගෙන් ද චෝදනා එල්ල වූ අතර එම චෝදනා පිළිබඳ නායකයා දරන්නේ මෙවන් අදහසක්. ”කවුරු විවේචනය කරත් මට වැඩක් නැහැ. ඕනෑම කෙනෙකුට තරගය ඉවර වෙලා ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒක මටත් පුළුවන්. නායකයෙක් විදිහට පිටිය මැද දී ගන්න තීරණවලට මම වගකියනවා.”

උදාහරණයක් ලෙස ඉන්දීය තරගයේ දී ලකුණු අතර සිටි කුසල් ජනිත් හට කඩුලු අතර දිවීමට නොහැකි නිසා ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ගත් තීරණය පෙන්වා දුන් මැතිව්ස් පැවසුවේ ඉන් අනතුරුව පිටියට පිවිසි අසේල ගුණරත්න අසාර්ථක වූවා නම් එම තීරණය පිළිබඳව ද තමන්ට විවේචන එල්ල වීමට හැකියාව තිබුණු බවයි.

”මම තීරණ ගන්න බය නැහැ. අනිත් අය මොනවා කිව්වත් මට වැඩක් නැහැ. මම ගන්න තීරණවලට මම වගකියනවා. ඒවා හරි ගියොත් එහෙමයි. වැරදුනොත් මම ඒක ඉගෙන ගන්නවා.”



ඉන්දියාව සමඟ තරගය ජය ගැනීමෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් තම ක්‍රීඩා නිල ඇඳුමේ මුද්‍රණය කර ඇති නම ක්‍රීඩාගාරය වෙත ප්‍රදර්ශනය කළේ යම් පණිවුඩයක් ලබා දෙන අයුරිනුයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ ඇසූ පැනයකට මැතිව්ස් ලබා දුන්නේ තරමක හාස්‍යජනක පිළිතුරක්.



TP-139කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකුගෙන් මෙවන් සුවිශේෂී ඉරියව්වක් දක්නට ලැබෙන්නේ කිසිවෙකුට යම් පණිවුඩයක් ලබා දීමට බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාමාන්‍ය පිළිගැනීමයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා පෙන්වා දුන්නේ තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුව ද යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් තුලින් වඩාත් හොඳ අනාගතයක පෙර නිමිති දැක ගැනීමට හැකි වූ බවයි. ඔහු පවසන පරිද්දෙන් ශූරයින්ගේ කුසලාන තරගාවලිය තුළ ලැබූ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් සහ සිදු වූ අඩුපාඩු මඟ හරවා ගනිමින් ඉදිරියේ දී මෙරට පැවැත්වෙන සිම්බාබ්වේ සහ ඉන්දීය තරග සංචාර තුල දී ශ්‍රී ලංකා ධජය ඉහළින් ලෙලදෙන අයුරු දැක බලා ගැනීම මෙරට සුවහසක් ක්‍රිකට්ලෝලීන්ගේ ඒකායන පරමාර්ථය වනු ඇති.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට