කළු තොප්පිකාරයින් මට්ටු කළ එංගලන්තය අවසන් පූර්ව වටයට

784
ඡායාරූප ESPN Cricinfo වෙබ් අඩවියෙනි

ඊයේ (06) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කාඩිෆ් හිදී පැවති තරගයෙන් ලකුණු 87ක ජයග්‍රහණයක් තහවුරු කර ගත් සත්කාරක එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තහවුරු කර ගත්හ.

පසුගිය ලිපි: තමිම්ගේ සුපිරි ඉනිම නිසා ඕස්ට්‍රේලියාව වැට උඩට

ඒ මේ දක්වා ඔවුන් ක්‍රීඩා කළ තරග ද්විත්වයම ජයග්‍රහණය කරමිනි. මේ වන විට වර්ෂාවෙන් තරග 2ක්ම සේදී ගිය A කාණ්ඩයෙන් ඉදිරි වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ නවසීලන්තය යන කණ්ඩායම් තුනටම තවමත් අවස්ථාව ඇත.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක එංගලන්ත කණ්ඩායමට හිමි කර දුන්නේය. ඒ සාපේක්ෂව අඩු දුර හතරේ සීමාවක් සහිත කාඩිෆ් තණතීරුවේ ලැබෙන ඕනෑම ඉලක්කයක් පසුවට හඹා යෑමේ බලාපොරොත්තු ඇතිවයි. ඒ අනුව ඉනිම ඇරඹූ එංගලන්ත මුල්පෙළ සබඳතාවයන් බොහෝ දුරට අංක 3 පිතිකරු ජෝ රූට් රැස් කළ අර්ධ ශතකය මත රැඳී තිබුණි.

මීට පෙර එංගලන්තය මුහුණ දුන් බංග්ලාදේශය සමඟ තරගයේ දී ද ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය රූට් ඊයේ දිනයේ දීත් ලකුණු 64ක් රැස් කළේය. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟිනි. කෙසේ වෙතත් රූට්ගේ දැවී යාමෙන් අනතුරුව එංගලන්ත ඉනිමේ කඩුලු එකින් එක බිඳ වැටුණු අතර කඩුලු 6ක් දැවී යන විට එංගලන්ත ඉනිමට එක්වී තිබුණේ ලකුණු 230ක් පමණි. ඒ වන විට එංගලන්තයට ලකුණු 300 සීමාව ද සිහිනයක් වන ලකුණු දිස්වුනු නමුත් අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි ජෝස් බට්ලර් නිසා එම අභියෝගය ජය ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා විය.

පන්දුවාර 50 නිමා වන තුරුම කඩුල්ලේ රැඳී සිටි බට්ලර් ලකුණු 61ක් රැස් කරන්නට සමත් විය. ඒ හයේ පහර සහ හතරේ පහර දෙක බැගින් එල්ල කරමිනි. මීට අමතරව ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 56ක් ද, තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ලකුණු 48ක් ද එංගලන්ත පිළ වෙනුවෙන් රැස්කර ගත්හ. පන්දු යැවීමේ දී මද වේග පන්දු යවන ක්‍රීඩක කුරේ ඇන්ඩර්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. ටිම් සවුති ලකුණු 44ට කඩුලු 2යි.

ලකුණු 311ක දැවැන්ත ඉලක්කය හඹා යාමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු ආරම්භයේ දී ම බොඳ කරන්නට පළමුවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජේක් බෝල් සමත් විය. ඒ ලකුණු කිසිවක් ලබා ගැනීමට පෙර ආරම්භක පිතිකරු ලූක් රොන්කිගේ මැද ඉන්න බිඳ හෙලමිනි. ඉන් ඇතිවූ පීඩනය නිසා නවසීලන්තය සෑහෙන තරම් මන්දගාමී පිතිකරණ රටාවකට අවතීර්ණ විය. කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක් ද එක්කළ නවසීලන්තය ඉනිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සෑහෙන දුරට සාර්ථක කර ගත්හ.

[rev_slider ct17-dsccricket]

නවසීලන්තය සතු තාක්ෂණයෙන් අග තැන්පත් සුපිරි පිතිකරුවෙකු වන කේන් විලියම්සන් ඊට ලකුණු 87කින් දායක විය. රොස් ටේලර් ලකුණු 39යි. ඒ අනුව පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේ නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 158ක් ලබා සිටියහ. මෙම ස්ථාවර පදනම ජයග්‍රහණයක් බවට පත් කිරීමට එක් නවසීලන්ත මැදපෙළ පිතිකරුවෙකුගෙන් ප්‍රවේගකාරී ඉනිමක් අවශ්‍ය වූ නමුත් එය ඉටුකර දීමට කුරේ ඇන්ඩර්සන්, ජිමී නීශම් සහ නීල් බෲම් වැනි කිසිදු පිතිකරුවෙකු සමත් නොවීය.

ඒ අනුව නවසීලන්ත ඉනිමේ නිමාව සනිටුහන් වන්නේ සියල්ලන්ම දැවී ලකුණු 223ක් ලකුණු පුවරුව මත සටහන් කරමිනි. ඒ වන විටත් තවත් පන්දුවාර 5කට වැඩි ප්‍රමාණයක් නවසීලන්ත ඉනිමේ ඉතිරිව පැවතුණි. සුවිශේෂී පන්දු යැවීමක යෙදුණු ලියාම් ප්ලන්කට් ලකුණු 55කට කඩුලු 4ක් බිඳ හෙලමින් නවසීලන්ත ජය ගමනට දැවැන්ත බාධකයක් විය. මීට අමතරව නවක ක්‍රීඩක ජේක් බෝල් සහ අඩිල් රශීඩ් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. ඒ අනුව සත්කාරක එංගලන්තය මෙම තරගය ජය ගත්තේ ලකුණු 87කිනි.

මීට අමතරව ඊයේ තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවාගත් නවසීලන්ත කණ්ඩායමට තවත් ගැටලුවකට මුහුණ දීමට ද සිදු විය. ඒ නියමිත කාලය අවසන් වන විට ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට තවත් පන්දුවාර 2ක් ඉතිරිව තිබූ බව පවසමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් දඩ මුදලක් නියම කිරීම හේතුවෙනි. ඒ අනුව නායක කේන් විලියම්සන්ගේ තරග ගාස්තුවෙන් 40%ක් ද, සෙසු ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 20%ක් ද කපා හැරීමට ICCය පියවර ගත්තේය.

එංගලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 310 (පන්දුවාර 49.3): ජෝ රූට් 64, ජෝස් බට්ලර් 61*, ඇලෙක්ස් හේල්ස් 56, බෙන් ස්ටෝක්ස් 48, ලියාම් ප්ලන්කට් 15, ජේසන් රෝයි 13, ඔයින් මෝර්ගන් 13, කුරේ ඇන්ඩර්සන් 3/55, ඇඩම් මිල්න් 3/79, ටිම් සවුති 2/44.

නවසීලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 44.3): කේන් විලියම්සන් 87, රොස් ටේලර් 39, මාර්ටින් ගප්ටිල් 27, ජිමී නීශම් 18, නීල් බෲම් 11, කුරේ ඇන්ඩර්සන් 10, ලියාම් ප්ලන්කට් 4/55, ජේක් බෝල් 2/31, අඩිල් රශීඩ් 2/47.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට