තමිම්ගේ සුපිරි ඉනිම නිසා ඕස්ට්‍රේලියාව වැට උඩට

730
AUS-BAN
ඡායාරූප - espncricinfo වෙබ් අඩවියෙනි

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ඊයේ (05) ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වූයේ ඕස්ට්‍රේලියාව හා බංග්ලාදේශ කණ්ඩායම් අතරයි. මෙය මෙම තරගාවලියේ පළමු දිවා රාත්‍රි තරගය වූ අතර, මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්විය.

පසුගිය ලිපි: ලොවක් බලා සිටි තරගයේ ජය ඉන්දියාවට

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායක මශ්රෆ් මොර්ටාසා, පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තේ  පිතිකරුවන් 8 දෙනෙකුගෙන් සමන්විත තම පිතිකරණය මගින් ඕස්ට්‍රේලියාවට ලකුණු 300ක පමණ අභියෝගයක් ලබා දීමේ අරමුණ ඇතුවයි. ඒ අරමුණ බල ගැන්වීම සඳහා ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට අවතීර්ණ වූ පසුගිය තරගයේ ශතකයක් ලබා ගත් තමිම් ඉක්බාල් හා ඔහුගේ සහයක සවුම්ය සරක්කාර්ගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 22කට සීමා කරමින් ලකුණු 3ක් ලබාගෙන සිටි සරක්කාර් දැවී යන ලදි. එම කඩුල්ල මිචෙල් ස්ටාක් විසින් දවා ගැනීමට සමත් විය.

පසුව පිටියට පැමිණි වමත් පිතිකරු ඉම්රුල් කයිස් හා තමිම්ගේ දෙවන කඩුල්ලේ සබඳතාවයට ද වැඩි කාලයක් පුරාවට පිටිය තුල රැඳීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු බලඇණිය ඉඩ ලබා දුන්නේ නැත. කයිස් ලකුණු 6ක් ලබාගෙන සිටිය දී පැට් කියුමින්ස්ගේ පන්දුවකට පෙර පාදයේ සිට කවර් පොයින්ට් කලාපය හරහා පහරක් එල්ල කර අතර එය සාර්ථක ලෙස තම සුරතෙහි රඳවා ගන්නට ආරෝන් ෆින්ච් සමත් විය.

බංග්ලාදේශ මැදපෙළ පිතිකරණය සතුව සිටින සුපිරි දකුණත් පිතිකරුවෙකු මෙන්ම බංග්ලාදේශයේ කඩුලු රකින්නා ලෙස ක්‍රියා කරන මුශ්ෆික රහීම් පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 9ක් ලබාගෙන පිටිය තුල ස්ථාවර වීමට යන බව ඉවෙන් මෙන් වටහා ගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, මොයිසස් හෙන්රිකස් අතට පන්දුව ලබා දුන් අතර, ඒත් සමඟින් ක්‍රියාත්මක වූ හෙන්රිකස් රහීම්ව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර පිටියෙන් ඉවත්කර දැමීමට සමත් විය. රහීම්ගේ දැවී යාමත් සමඟින් සිව්වන කඩුල්ල සඳහා පිටියේ එක්වූ ශකීබ් අල් හසන් හා තමිම් ලකුණු 69ක දැකුම්කළු හා අගනා සබඳතාවයක් ගොඩනංවමින්, ලකුණු 53කට කඩුලු 3ක් ලෙසින් සටහන් වූ බංග්ලාදේශ ඉනිම, ලකුණු 122ක් දක්වා ඔසවා තබන ලදි. බංග්ලාදේශ ඉනිමේ පස්වන කඩුල්ල ලෙසින් දැවී ගිය ශකීබ් 4 පහර දෙකක් සමඟින් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වූ අතර, ට්‍රැවිස් හෙඩ්ගේ පන්දුවකට ඉදිරියට පැන ආරක්ෂාකාරී පහරක් එල්ල කිරීමට සැරසුණු ශකීබ්ගේ පාදයේ ගැටුණු පන්දුව කඩුල්ල මුවා කිරීමේ කිරීමේ වරදට හසු විය. නමුත් එයින් නොසැලුණු ශකීබ් එම තීරණය අභියෝගයට ලක්කරමින් තෙවන විනිසුරුවරුන් වෙත යොමු කළ ද, එම අවස්ථාව ව්‍යර්ථ වී යන ලදි.

[rev_slider ct17-dsccricket]

සබීර් රෙහෙමාන් හා මහමදුල්ලා ලකුණු 8 බැගින් බංග්ලාදේශ ලකුණු පුවරුවට එක්කළ පසුව ක්‍රීඩාගාරයේ අසුන්ගත කිරීමට ඇඩම් සැම්පා සමත් විය. තමිම් එක අන්තයක් රැකගෙන ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ දක්ෂ හා සාර්ථක පිතිකරණය නිරත වුවත්, ඔහුට පමණක් එම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට නොහැකි විය. එහි දී ශකීබ් හා මෙහෙදි හසන් හැරෙන්නට මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් විසින් තමිම් හට අවශ්‍ය සහාය යම්තාක් මට්ටමකට හෝ ලබා දීමට අසමත් විය. මෙහෙදි හසන් එක් 4 පහරක් සමඟින් ලකුණු 14ක් රැස්කර ගන්නට සමත් විය.

තමිම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එදිරිව මීට පෙරාතුව එකදු ශතකයක් හෝ එක්දින ජාත්‍යන්තර පිටියේ දී ලබාගෙන නොතිබූ අතර, එම සිහිනය සාර්ථක කර ගැනීමට තවත් ලකුණු 5ක් පමණක් ලබා ගැනීමට අවශ්‍යව තිබිය දී මිචෙල් ස්ටාක්ගේ බවුන්සර් පන්දුවට අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. ඔහුගේ එම ලකුණු 95ක ඉනිමට වර්ණවත් 4 පහර 6ක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. ඊට පසු පන්දුවෙන් මොර්ටාසා දවාලූ ස්ටාක් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව අභියසට පැමිණිය ද, එය නූලෙන් මග හැරෙන ලදි. අවසානයේ බංග්ලාදේශ ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 182කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.

පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ස්ටාක්, ලකුණු 29කට කඩුලු 4ක් හා පා දඟ පන්දු යවන  සැම්පා කඩුලු 2ක් ද දවා ගන්නා ලදි. ඊට අමතරව ග්ලෙයින් මැක්ස්වෙල් හැර අනෙකුත් පන්දු යවන්නන් සියලුම දෙනා විසින් එක් කඩුල්ල බැගින් දවා ගනිමින් තම උපරිම සහය දක්වන ලදි.

අනතුරුව තරගය ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගල පිටියට පැමිණීමට සූදානම්ව සිටිය ද, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ නිසා තරගය මිනිත්තු 20ක් පමණ පමා විය. වර්ෂාව නිමාවීමත් සමඟින් ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ වූ අතර, ඩේවිඩ් වොනර් හා ආරොන් ෆින්ච් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 45ක සබඳතාවයක් ලකුණු පුවරුවට එක් කළ අතර, එය නිමා වූයේ 4 පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබාගෙන සිටි ෆින්ච් දැවී යාමත් සමඟිනි. නායක ස්ටීවන් සමිත් හා වෝනර් දෙපළ දෙවන කඩුල්ල සඳහා පිටියේ හැසිරීම හොඳින් අවබෝධ කරගෙන පන්දුවට පහර දුන් අතර, මෙහි දී වෝනර් අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගවල දී ලබා ගත් මුළු ලකුණු 4000 සීමාව පසු කිරීමට සමත් විය. ඕස්ට්‍රේලියානු ඉනිම එක් කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලෙසින් සටහන් වන විට, ඕවල් පිටියට නැවතත් වර්ෂාව ඇද හැලුණි.

ඒ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසාවෙන් තරගයේ විනිසුරුවරුන් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කළ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් හෝ ජයග්‍රහණය ලබා දීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවම වශයෙන් පන්දුවාර 20ක් වත් ක්‍රීඩා කළ යුතුව තිබුණි. ඕස්ට්‍රේලියාව මෙම තරගාවලියේ සහභාගි වූ දෙවන තරගය ද වර්ෂාවට සේදී යාම නිසා ඔවුන්ට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇති හැකියාව ඉතා අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

බංග්ලාදේශය – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 44.3): තමිම් ඉක්බාල් 95, ශකීබ් අල් හසන් 29, මෙහෙදි හසන් 14, මිචෙල් ස්ටාක් 29/4, ඇඩම් සැම්පා 13/2

ඕස්ට්‍රේලියාව -83/1 (පන්දුවාර 16): ඩේවිඩ් වෝනර් 40*, ස්ටීවන් ස්මිත් 22, රුබෙල් හුසේන් 21/1

මෙම තරගාවලියේ මීළඟ තරගය නවසීලන්තය හා එංගලන්තය අතර අද (6) කාර්ඩිෆ් හිදී පැවැත්වේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3ට ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<