ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය හොඳ ද?

67

වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය ද ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීම ඉතා වැදගත්. කෙසේ වෙතත් දිගින් දිගටම ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වන පීඩනය හා නිමක් නොමැති තරග හා පුහුණුවීම් යටතේ ක්‍රීඩකයින්ට සිය මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක පවත්වා ගැනීමට පුළුවන් ද?

“100ක් ගහලා තියේ නම් කණ්ඩායම තියෙන්නේ ඔබේ අතේ”

ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු මයාන්ක් …

මේ ගැටලුව පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සිය අවධානය යොමු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් මානසික සෞඛ්‍ය යළි ඉහළ නංවා ගැනීමේ අරමුණින් කණ්ඩායමෙන් ඉවත් වීම එයට හේතුවයි. එක්දින තරග රටාවේ ලොව හොඳම ක්‍රීඩකයෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් පසුගිය මාසයේ දී “තමාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීමට” කෙටි විවේකයක් ගැනීම කතා බහට ලක් වුනා.

Will Pucovski මෙවැනිම ගැටලුවක් නිසා මේ වන විටත් විවේකයන් දෙකක් ලබාගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව හා පකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ කිරීමට දින කිහිපයක් තිබිය දී නික් මැඩින්සන් ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙවැනිම විවේකයක් ඉල්ලා තිබෙනවා. 

මේ ක්‍රීඩකයින් තිදෙනාගේ විවේකයන් පිළිබඳව වැඩි විස්තර මාධ්‍යයට සඳහන් කර නැතත් ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධානි බෙන් ඔලිවර් පවසා තිබුණේ තමා මේ වසර මුලදී මෙම තනතුර භාර ගැනීමෙන් අනතුරුව තමා වැදගත් කරුණු රාශියක් නිරීක්ෂණය කළ බවයි.

“මම නිරීක්ෂණය කළ පළමු දේ ක්‍රීඩකයින්ගේ කාලසටහනේ කිසිම විවේකයක් නොමැති බවයි” ඔහු SEN ක්‍රීඩා නාලිකාව වෙත පවසා තිබුණා. “මේ දේවල් දුටු විට මට හිතෙන්නේ අපි කාලය, ශක්තිය හා සම්පත් ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවන්නට තව ආයෝජනය කරන්න ඕන. ඒ වගේම මේ ගැටලු ඉතා ඉක්මනින් හඳුනා ගන්න ඕන.”

ටෙස්ට් වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් යොවුන් ක්‍රීඩකයින් පිළිබඳ කනස්සල්ලෙන් පවසා සිටියේ ඔවුන් සිය අවිවේකී කාලසටහන් මැද සති ගණන් සිය නිවෙස් වලින් ඈත්වී පවුල්වලට, සිය මිතුරන් වලට කාලය වෙන් නොකරන බවයි. “ඔබට ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ලොකු පීඩනයක් එල්ල වෙනවා, කාලසටහන් නම් හරිම අප්‍රසන්නයි” ස්ටාර්ක් පවසා සිටියා. ස්ටර්ක් මේ දිනවල පුරුෂයින්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරවන්නට ආකර්ෂණීය උඩුරැවුලක් ද වවා ගනිමින් “Movember” වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා.’

තවත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට මානසික ගැටලුවක්!

මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා කිහිපයක් මත ග්ලේන් මැක්ස්වෙල් ක්‍රිකට් …

“ධනාත්මක දේ තමයි ක්‍රීඩකයින් තමන්ට සිතෙන දේ තමන්ගේ ගැටලු පිළිබඳ අවංකව කතා කරන විට ඔවුන්ට මහත් පහසුවක් දැනෙනවා.” ඔහු තවදුරටත් පවසා සිටියා. “ඉස්සර නම් ක්‍රීඩකයෝ හිතේ තිබෙන දේවල් දරාගෙන සිටියා, ඒ දේවල් ඇතැම් නරක දේවල් වලට හැරෙන්න පුළුවන්.”

ප්‍රකට ක්‍රිකට් විචාරයෙකු වන රොබර්ට් Craddock පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ඉහළ මානසික අභියෝගයක් බවයි.

“ක්‍රිකට් ශාරීරිකව ප්‍රතිවාදීන් හා හැපෙන ක්‍රීඩාවක් නොවේ. නමුත් එහි මානසික අභියෝග ගොඩක් තිබෙනවා. සෑහෙන වෙලාවක් ක්‍රීඩකයින්ට කිසිවක් නොකර සිතා සිතා ඉන්නට සිදු වන නිසා අපි හිතනවාට වඩා එය අභියෝගාත්මකයි. පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වන විට ඔවුන්ගේ මානසික පීඩනය ඉතා ඉහළයි.”

මෙය ඕස්ට්‍රේලියාවට පමණක් අදාළ වූ ගැටලුවක් නොවේ. හිටපු එංගලන්ත නායක මාක්ස් ට්‍රෙස්කොතික් 2006 වසරේ දී ඉන්දීය සංචාරයෙන් ඉවත් වූයේ ද එංගලන්ත ආරම්භක පිතිකරුවෙකු වූ ජොනතන් ට්‍රොට් 2013 වසරේ දී අළුබඳුන තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් වූයේ ද අධික මානසික පීඩනයෙන් පීඩා විඳී නිසා බව සඳහන්.

මැක්ස්වෙල්ගේ විවේක කාලය පිළිබඳ අදහස දක්වමින් ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියේ තමන්ට ද එවන් අමිහිරි මානසික තත්වයන්ට මුහුණ දීමට සිදු වූ බවයි. “මැක්ස්වෙල් ප්‍රසිද්ධියේ විවේකයක් ලබා ගැනීම ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොඳ උදාහරණයක්. ඔබ හොඳම මානසික තත්වයක නැත්නම් ඔබ කොච්චර උත්සහ කළත් හරි යන්නේ නෑ. මිනිසෙකු වශයෙන් ඔබට දරා ගන්න බැරි මට්ටමකට එනවා.” බංගලාදේශයට එරෙහි තරගයට ප්‍රථමව පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කළා. 

“ඔබට ක්‍රීඩාවෙන් විවේකයක් අවශ්‍යයි. එහෙමයි කියන්නේ ඔබ සටන අතහැරියා කියන එක නොවේ. ඔබට නැවුම් බවක් අවශ්‍ය නිසයි.”

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මානසික ගැටලු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් …

කෝලි පවසා සිටියේ 2014 වසරේ ඉන්දියාවේ එංගලන්ත සංචාරයේ දී තමන්ට ලකුණු නොමැති වීම නිසා හා තමන්ගේ සිතුවිලි බෙදා ගැනීමට කිසිවෙකු නොමැති වීම නිසා තමන්ට ද එවැනි අපහසුතාවයකට ලක්වීමට සිදු වූ බවයි.

“මම දැනගෙන හිටියේ නැහැ මොකද්ද කරන්නේ කියලා. කාටද කියන්නේ කියලා” ඔහු පවසා සිටියා. 

බලධාරීන්ට තිබෙන විශාලතම ගැටලුව නම් ක්‍රීඩකයින්ගේ මානසික පීඩනය මැනීමට හා ගැටලු ඇති ක්‍රීඩකයින් හඳුනා ගැනීමට ක්‍රමයක් නැති වීමයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩා විද්‍යා හා ක්‍රීඩා වෛද්‍ය කළමනාකරු වන Alex Kountouris පවසා සිටියේ ඔවුන් මෙම තත්වයන්ට හේතු හඳුනා ගැනීමට ඉතා මහන්සි වන බවයි.

“සමාජයට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා මානසික සෞඛ්‍ය පිළිබඳව, නමුත් අපි හොඳින්ම දන්නවා නිහඬතාව නොවෙයි උත්තරය කියලා.” ඔහු පවසා සිටියා. “ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විශ්වාස කරනවා අපිට මෙම ගැටලු විසඳන්න පුළුවන් කියලා. අපි ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය පළමු තැන තියා ඔවුන්ට හැකි උපරිම සහය දෙනවා.”

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<