ලෝක කුසලාන ජයග්‍රහණයේ ‘අදිසි හස්තය’ වූ ආනා පුංචිහේවා

ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන - 5

246

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමුවැන්නේ සිටම එහි කොටස්කරුවන් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වුවද ටෙස්ට් තත්ත්වය හිමි වූයේ 1982 වසරේ දී ය. ටෙස්ට් වරම් ලැබුව ද ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන දිනා ගන්නා තෙක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දුවන ලද්දේ ‘ගන්ධබ්බ’ අවධියක මෙන් බව ඒ පිළිබඳව උනන්දුව දක්වන කොයි කවුරුත් දන්නා කරුණකි.

එහෙත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑම උපත සිදු වූයේ අර්ජුන රණතුංගයන්ගේ නායකත්වය යටතේ පැවති 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුවය.

මෙදා සිහිනයක් තරමටම ළඟා විය නොහැකි තරමට ඈතට ගොස් තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මෙරට ක්‍රියාත්මක ක්‍රීඩා අතරින් දැවැන්තමයා බවට පත්වීමට එසේත් නැතහොත්, ඩොලර් මළු ගණනින් ලැබී වෘත්තීය තලයට පත් ක්‍රීඩාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්වීමේ ආරම්භය සිදු වූයේ මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟමය.

ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී සිම්බාබ්වේට පමණක් ඉදිරියෙන් සිටි අප ඊට පසු අවුරුද්දේ ලෝක ශූරයින් බවට කිරුළු පැලඳ වූයේ, යෝධ වැඩපිළිවෙළක් තිරයෙන් පිටුපස සිදු වූ නිසාය. ඒ යෝධ වැඩපිළිවෙළේ නියමුවා වූයේ හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා මහතාය.

ඔහු ගැන බොහෝ දෙනාට දැන් අමතකය. නැතිනම් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් දක්වන නවක ක්‍රිකට් රසිකයන් නම් ඒ පිළිබඳ නොදනිති. එනිසාම ලෝක කුසලානයට පෙර දිග හැරෙන ප්‍රත්‍යාවලෝකන ලිපි පෙළේ පස්වැන්න වෙන්වූයේ ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මේ අසහාය පරිපාලකයා සිදු කරන ලද මෙහෙය අගය කිරීම වෙනුවෙන්මය.

ලෝකෙටම එකක් වූ මාලිංගගේ ලෝක වාර්තාව

පිට පිට පන්දු 3ක දී කඩුලු 3ක් දවා ගැනීම, කඩුලු ත්‍රිත්වයක් හෙවත් ක්‍රිකට් භාෂාවට ……

ගොල්ෆ් ක්‍රීඩාවට දැඩි සේ ඇලුම් කිරීමත් සමඟ ජාතික තලයේ ගොල්ෆ් ක්‍රීඩකයකු බවට පත්ව සිටි පුංචිහේවා මහතා ක්‍රිකට් පරිපාලනයට පිවිසෙන්නේ අහම්බයකිනි. 1991 වසරේ පැවති රාත්‍රී සාදයක් අතරතුර දී ලැබූ ආරාධනාවක් මත ක්‍රිකට් පරිපාලනයට පිවිසෙන පුංචිහේවා මහතා, ක්‍රිකට් ආයතනයේ නිලයකට පත් වන්නේ 1993 වසරේ දී ය. ඒ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු වශයෙනි.

ගාමිණී දිසානායක මහතාගේ අභාවයත් සමඟ 1995 වසරේ දී ක්‍රිකට් මහ පුටුවේ පුංචිහේවා මහතා අසුන් ගන්නා විට ක්‍රිකට් ආයතන ගිණුමේ තිබී ඇත්තේ ලක්ෂ 3ක් පමණි. සේවකයන් සංඛ්‍යාව ගත්ත ද අතේ ඇඟිලි දහයටත් අඩුවෙන් වූ එම පිරිසගේ වැටුප් ගෙවීම සඳහා වැය වී ඇත්තේ රුපියල් තිස් දහසක් පමණි.

සභාපතිවරයා වී සති 3ක කාලයක ඇවෑමෙන් ශ්‍රී ලංකාවට නවසීලන්තය සමඟ සංචාරයක් යෙදී තිබූ අතර, කෙදිනකවත් රටින් පිට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර නොතිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ලද ඒ සුවිශේෂී ජයග්‍රහණය, ලෝක කුසලානය ජයග්‍රහණය සඳහා මූලිකම පන්නරය ලද තරගාවලිය බවට පත්විය. පුංචිහේවා මහතා ද සඳහන් කරන අන්දමට දිනන්න හුරුවුණු පළමු අවස්ථාව බවට පත්වූයේ ඒ සුවිශේෂී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයයි. ඒ මතකය ඔහු දිග හරින්නේ ද එතැන් සිටය.

ආනා පුංචිහේවා මහතා

“සභාපතිවරයා විදියට පත් වෙනකොට මම කිව්ව දෙයක් තමයි 2000 වෙනකොට ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් කරනවා කියන එක. ඒක කියන කොට මිනිස්සු මට හිනා වුනා. ඒ වගේම ක්‍රිකට් විචාරකයෝ පවා කියලා තිබුණා අපිට රටින් පිට ටෙස්ට් තරගයක් ජය ගන්න බෑ කියලා. එහෙම තියෙද්දී මට ඕන වුණේ ඒ මතය වෙනස් කරන්න. ඒ වෙනුවෙන් මට කරන්න තිබුණේ ක්‍රීඩකයින්ගේ හිත්වලට කතා කරන එක විතරයි. ඔවුන්ගේ දක්ෂතා ගැන මට විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය අනුව ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරන්න අපිට හැකි වුනා. එතැන් පටන් තමයි අපිට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා වූ වැඩපිළිවෙළ සකස් කරන්න පටන් ගත්තේ” යැයි පුංචිහේවා මහතා පවසයි.

පරිපාලකයකු ලෙස ලබා ඇති අත්දැකීම් සම්භාරය නිසාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බලා සිටි පුංචිහේවා මහතාට තේරුම් ගිය එක කරුණක් වූයේ, ඉදිරියට යෑමට නම් විදෙස් පුහුණුකරුවකුගේ අවශ්‍යතාවයයි. ඔහුට අවශ්‍ය වූයේ එතෙක් කණ්ඩායම තුළ පුහුණුකරු සහ ක්‍රීඩකයන් අතර වූ මචං ලෙවල් එක, නැතහොත් අයියා-මල්ලි සංස්කෘතියෙන් බැහැරව, බාහිර පාර්ශ්වයන්ගේ බලපෑම් වලින් මිදී නිදහසේ කණ්ඩායම සමඟ හැසිරෙන්නෙකුගේ අවශ්‍යතාවයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය සඳහා ඩේව් වට්මෝර්ව පැමිණෙන්නේ පුංචිහේවා මහතාගේ මෙකී සංකල්පය හරහාය.

වට්මෝර්ව ගෙන ඒම ද හරි අපූරු සිදුවීමකි. මෑත කාලයේ කොතෙකුත් කෙනෙහිලිකම් වලට මුහුණ දුන්න ද වට්මෝර් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයට පත් කර ගැනීම සඳහා ප්‍රධාන දායකත්වයක් සපයා ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයයි. මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නේ යැයි චෝදනා කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාව පිළිබඳව ශ්‍රී ලාංකික රසිකයින්ගේ ආකල්පය අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. එය ඇතැම් විට දරුණු වෛරයකට හා සමාන වන තරම්ය. එහෙත් පුංචිහේවා මහතා පවසන අන්දමට, ඕස්ට්‍රේලියාවේ උදව්ව නොවන්නට ශ්‍රී ලංකාවේ අද තියෙනා තත්ත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පැමිණීමට තව සෑහෙන කාලයක් යනු ඇති බවයි.

“වට්මෝර්ව ගේනකොට අපිට තිබුණු ලොකුම ගැටලුව තමයි එයා ඉල්ලපු පඩිය දෙන එක. මතකයේ හැටියට වසරකට ඩොලර් ලක්ෂයක් එයා ඉල්ලුවා. මේ ගැන ඕස්ට්‍රේලියාවට කිව්වහම එයාලා කිව්වා ඊළඟට යෙදිලා තියෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ලබා දීමට නියමිත ඩොලර් ලක්ෂයක මුදල ලක්ෂ 2ක් කරන්නම් කියලා. ඒකෙන් ඉතුරු වන සල්ලිවලින් වට්මෝර්ට ගෙවන්න කියල ඔවුන් මට කිව්වා” යැයි පවසන පුංචිහේවා මහතා එහෙත් අදාළ මුදල් ප්‍රදානයේ දී ඒ පිළිබඳව කිසිවෙකුට හෝ නොපවසන ලෙස ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තමාට දැනුම් දුන් බව ද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ලැබුණු නම් අතරින් වට්මෝර්ව ඒ සඳහා තෝරාගැනීම ද විශේෂත්වයකි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ගන්නා ලද හරිම තීන්දුවක් බවට පත්වූ වට්මෝර් තෝරා ගැනීමේ දී කරුණු 2ක් පිළිබඳව පුංචිහේවා මහතා අවධානය යොමු කර තිබේ. ඉන් එකක් ඔහු ඕස්ට්‍රේලියාවේ පුහුණු ක්‍රමවේදය හරි විදියටම ලබාගෙන තිබීම ය. අනෙක ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුණු කෙනෙක් වීමය.

“ඇත්තටම මම ඒ වෙලාවේ හිතුවේ මේ කරුණු දෙක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යහපතට හොඳ වෙයි කියලා. ඒ හිතපු දේ හරියටම හරි ගියා”. එසේ කටයුතු කරගෙන ගොස් මාස 2ක පමණ කාලයකට පසු භෞත චිකිත්සකවරයකුගේ අවශ්‍යතාව පිළිබඳව වට්මෝර් විමසා තිබේ. ඒ අනුව භෞත චිකිත්සක තනතුරට ඇලෙක්ස් කොන්ටූරිව තෝරා ගැනුණු නමුත් ඒ සඳහා ඉල්ලන ලද ඩොලර් 80,000ක මුදල සොයා ගැනීම ඊළඟ ගැටලුව විය. නොපසුබට උත්සාහය නිසාම ඉදිරියට තැබූ පය ආපසු නොගන්නෙකු ලෙස ක්ෂේත්‍රයේ ප්‍රචලිතව සිටින පුංචිහේවා මහතා ඒ සඳහා ද සැලසුමක් දියත් කළේය.

ඒ සඳහා ඔහු යොදා ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකා සංගමයයි. කුන්ටූරි වෙනුවෙන් වූ ගෙවීම් පිළිබඳව කරන ලද දැනුම් දීමේ දී එක පයින්ම ඔවුහු ඒ සඳහා දායකත්වය දැක්වීම නිසා ඒ ගැටලුව ද විසඳිණි. අනතුරුව සිදු කරන ලද්දේ කණ්ඩායමේ කළමනාකරු ධුරය සඳහා දුලිප් මෙන්ඩිස්ව කැඳවීමය. තේරීම් කමිටුවේ සභාපතිවරයා ද වූ මෙන්ඩිස් මහතා හරහා කණ්ඩායම තුළ සම්බන්ධීකරණයක් ඇති කළ පුංචිහේවා මහතා, සියල්ල ක්‍රිකට් දැනුමැත්තන් වෙත භාර කරන ලද්දේ ක්‍රිකට් වැඩේ කරගෙන යන ලෙසත්, අවශ්‍ය දේ පමණක් තමන්ට දන්වන ලෙස පවසමිනි.

“ඇත්තටම මම ක්‍රිකට් ගැන මුකුත් දන්නේ නෑ. ක්‍රිකට් දන්නේ ඒ අයනේ. ඒ කියන්නේ අර්ජුන, දුලිප්, වට්මෝර් වගේ අය. මම දන්නේ පරිපාලනය කරන එක විතරයි. මම එයාලට කිව්වේ ඔයාලා ක්‍රිකට් ගහන වැඩේ කරගන්න. මම හෝ කිසිම කෙනෙක් ඒවට මැදිහත් වෙන්නේ නෑ කියලා. අවශ්‍ය දේ පමණක් අපිට කියන්න කියන එක මම කිව්වා” යැයි පුංචිහේවා මහතා සිය මතකය අවධි කරයි.

ලෝක කුසලානය ලබා ගත් අර්ජුන රණතුංග

ජාත්‍යන්තර කරළියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට සංචාරය කළේ පාකිස්තානයටය. එම තරගාවලියේ දී පාකිස්තානය පාකිස්තානයේ දී ම පරාජයට පත් කරමින් සහ ඉතිහාසයේ පළමු වතාවට සාජා කුසලානයක් තම මව් රටට දිනා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ඒ අයුරින් ලෝක කුසලාන තරගාවලියට ලක ලැහැස්ති වුණු ශ්‍රී ලංකාව ඊළඟට මුහුණ දෙන ලද ගැටලුව බවට පත්වූයේ ආරක්ෂිත තත්ත්වය මදි බව කියමින් ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමට අකමැත්ත පළ කිරීමය.

“ඒ අයගේ ආරක්ෂාව ගැන වගකියනවා කියලා සහතික වුනත් ඔවුන් ඒකට කැමති වුණේ නෑ. කොදෙව්වන්ගේ ක්‍රිකට් ආර්ථිකයත් රඳා පැවතුණේ ඕස්ට්‍රේලියානුවන් මත. ඒක නිසයි ඕස්ට්‍රේලියාවට ඔවුන් සහාය පළ කළේ. එහෙම වෙලත් ලබා දෙන ප්‍රසාද ලකුණු 4න් 2 බැගින් ඔවුන්ට ප්‍රදානය කරන්න කියලා යෝජනාවක් ආවා. එතැන දී මම ඇහුව දෙයක් තමයි සෙල්ලම් කරන්න එන්නේ නැති අයට ඇයි අපි නිකන් දිනුම දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කණ්ඩායමක් තරග බිමට පිවිසෙන්නේ නැත්නම් වෝක් ඕවර් එකක් ලබා දෙනවා. ඒ තර්කය මම ඔතැනට ගෙන ආවා. ඒ ගැන තීරණය කරන්නත් ඡන්දයක් කැඳෙව්වා. ඒකත් හරි අපූරු සිදුවීමක්. මොකද කියනවා නම්, ඡන්දෙ තිබ්බ නම් අපි ගොඩක් වෙලාවට පරදිනවා. ඒ දවස්වල අයි. සී. සී. එකේ සභාපති වෙලා හිටියේ සර් ක්ලයිව් වෝල්කට්. එයත් එක්ක කතා කරලා ඒක විමසන්න තිබුණු රැස්වීමේ දී අපේ වැඩේ පළමුවටම දාගන්න මට පුළුවන් වුනා. අපේ වෙලාවටම අපිට විරුද්ධව ඡන්දෙ දෙන්න හිටපු නවසීලන්තය ආවේ පරක්කු වෙලා. ඒක නිසා මමත් ඡන්දය තියමු කියලා එයාට අතින් ඉඟි කරලා ඉක්මන් කළා. අපිට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න හිටපු නවසීලන්තය සභාපතිවරයා එනකොට අපි ඡන්දෙන් දිනලා ඉවරයි” යැයි පුංචිහේවා මහතා පැවසීය.

“මට මතකයි වර්ල්ඩ් කප් එකට කලින් අර්ජුන මුණ ගැසුණු වෙලාවේ මම කිව්වා ඔන්න ග්‍රවුන්ඩ් එකට බහින්නත් කලින් මං මැච් දෙකක් දිනවලා දුන්නා කියලා” යැයි පුංචිහේවා මහතා සිනාසෙමින් පවසයි.

“ඒක තියලා ඉවර වුනා විතරයි තවත් වැඩක් වුනා. කෙන්යාව කිව්වා ඕස්ට්‍රේලියාවයි බටහිර ඉන්දීය කොදෙව්වනුයි එන්නේ නැති නිසා පළමු රට විදියට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ අපිට. අපේ ක්‍රීඩකයින් බයයි ඒ නිසා අපිට එන්න බෑ කියලා. ඔන්න ඔය සිදුවීමත් එක්ක තමයි ඉන්දියාවයි පාකිස්තානයයි එකතු වෙලා සාම කණ්ඩායමක් වශයෙන් අපේ රටට ඇවිල්ලා තරග කළේ”

අසරණ මොහොතක උදව්වට ආ අසල්වැසියෝ

1996 ලෝක කුසලානය ආරම්භ වීමට හරියටම සති දෙකකට කලින් කොළඹ ………

එක රැයක් ඇතුළත සියලු සංවිධාන කටයුතු ලැහැස්ති කෙරුණු එම සහෝදරත්වයේ තරගය, සෙසු රටවලට නොබියව ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමට විශ්වාසය ලබා දුන් තරගය බවට පත්විය. “ඕස්ට්‍රේලියාවයි කොදෙව්වොයි නාවත් අපිට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන් කියන තැන මම හිටියා. මොකද තරගාවලියට පෙර දුලිප් මාත් එක්ක කිව්ව දෙයක් නිසා. එයා මට කිව්වේ අපේ කණ්ඩායම අනෙක් රටවල් එක්ක සංසන්දනය කරාම පිතිකරණය අතින් ඉතාම ඉදිරියෙන් සිටිනවා කියලයි. ඒ අයුරින්ම අපිට අවසන් මහ තරග අවස්ථාවට පැමිණීමට අවස්ථාව උදා වුනා” යැයි පුංචිහේවා මහතා පවසන්නේ හදපිරි සතුටින් කියයි.

එසේ වූ සියලු සැලසුම් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරග අවස්ථාවට ඕස්ට්‍රේලියානුවන් සමඟම තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේය. මූලික වටයේ දී මුණ නොගැහුණු ඕස්ට්‍රේලියාව අවසන් මහ තරගයේ දී මුණ ගැසීම ද දෛවෝපගත සිදුවීමක් ලෙසින් සැලකේ. අවසන් මහ තරගයට පෙර පැවති අවසන් පූර්ව තරගය ද ශ්‍රී ලංකාවට කෙදිනකවත් අමතක නොවන තරගයකි. කල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩා පිටියේ පැවති එම තරගය සඳහා සාමාන්‍ය ආරක්ෂාවට වඩා දෙගුණයක් වැඩි කරමින් ශ්‍රී ලංකාව සහභාගි වූයේ ඉන්දියාවේ සිටිනා උන්මත්තක ප්‍රේක්ෂකයින් නිසාමය. බලාපොරොත්තු වූ අයුරින්ම ඉන්දීය ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටෙද්දී කලහකාරී ලෙසින් ඉන්දීය ක්‍රිකට් රසිකයින් හැසිරෙද්දී තරගයේ තීරකවරයාව සිටි ක්ලයිව් ලොයිඩ් මහතා තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

සහෝදරත්වයේ තරගය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සහ පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායම් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා ගැනීමේ පහස විඳගත් ශ්‍රී ලංකාවේ සුන්දරම රාත්‍රිය බවට පත්වූයේ ඊට දින 3කට පසුව යෙදී තිබුණු මාර්තු 17 වැනිදා රාත්‍රියයි. “ඒ රාත්‍රිය. ඒක අදටත් මට හීනයක් වගෙයි” යැයි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පරිවර්තන යුගය ඇරඹි ඒ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව පුංචිහේවා මහතා අදහස් දැක්වූයේ එලෙසිනි.

වසර ගණනාවක් තිස්සේ හීනයක් ව පැවති, ක්‍රිකට් උපන් රට බවට පත්ව තිබෙන සුද්දන්ට පවා තවමත් දිනා ගැනීමට නොහැකි වූ ලෝක කුසලාන සිහිනය ශ්‍රී ලංකාවට යථාර්ථයක් බවට පත්කර දීම වෙනුවෙන් ආනා පුංචිහේවා නම් චරිතය තිරය පිටුපස සිට කළ යෝධ මෙහෙයුම අවසන් වූයේ අත පය දිග හැර එම සතුට විඳ ගැනීමටත් කාලයක් නොතබාය. ලෝක කුසලාන ජයග්‍රහණයෙන් සති 2ක් ඉක්ම යෑමට පෙරම ඔහුව ක්‍රිකට් මහ පුටුවෙන් ඇද දැමීමට ඇතැම් පිරිස් කටයුතු කර සිටිය ද රැඳී සිටි කාලය ඇතුළත ඔහු කළ කී දෑ අදටත් රන් අකුරින් ලියැවී තිබේ. මේ සටහන ඔබ අතට පත්වන්නේ ද එකී මෙහෙවරෙහි ඇති වටිනාකම නිසා මිස වෙනකක් නිසා නොවේ.

තවත් ප්‍රත්‍යාවලෝකනයකින් මුණගැහෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<