ලෝකෙටම එකක් වූ මාලිංගගේ ලෝක වාර්තාව

ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන - 4

794

පිට පිට පන්දු 3ක දී කඩුලු 3ක් දවා ගැනීම, කඩුලු ත්‍රිත්වයක් හෙවත් ක්‍රිකට් භාෂාවට අනුව ‘හැට්‍රික්’ එකක් ලෙසින් හැඳින්වේ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම යනු අතිශය විරල අවස්ථාවක් ලෙසින් සැලකේ.

දශක 5ක ආසන්න ඉතිහාසයක් ඇති එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 4124 ගෙන බැලීමේ දී (සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර අප්‍රේල් 16 වැනිදා පැවති එක්දින තරගය තෙක්) කඩුලු ත්‍රිත්ව සටහන් වී ඇති අවස්ථා ගණන 46ක් වන අතර එය, එම විරලත්වය පෙන්නුම් කිරීමට ඇති හොඳම නිදසුන වනු ඇත.

තවත් අයුරකින් එය කිවහොත්, මෙලොව බිහිව ඇති කෙතරම් ප්‍රබල පන්දු යවන්නන්ට වුවද එම සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වූ අවස්ථාවන්  ක්‍රිකට් ඉතිහාසයේ සටහන්ව තිබීම පෙන්වා දිය හැක. ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින පන්දු යවන්නා වශයෙන් වාර්තා අතරට එක්ව සිටින මුත්තයියා මුරලිදරන්, දකුණු අප්‍රිකානු නායකයෙකුව සිටි ෂෝන් පොලොක් සහ ඩේල් ස්ටේන් වැනි එක්දින තරග අංශයේ විශේෂඥ පන්දු යවන්නන් ලෙසින් සැලකෙන පන්දු යවන්නන්ට ද එම සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වීම එකී විරලත්වය කියා පාන ප්‍රබලතම සාක්ෂි ලෙසින් සැලකිය හැක.

එහෙත් මෙම කතාවේ කතා නායකයා ඊට හාත් පසින්ම වෙනස් අයෙකි. ඔහු කඩුලු ත්‍රිත්වයකට එහා ගිය, එසේ නැත හොත් පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් එවැනි දස්කමක් කර ඇති ලෝකයේ පළමු සහ එකම ක්‍රීඩකයා වන්නේය. එම දක්ෂතාවය ද ඇතුළුව ලොව කඩුලු ත්‍රිත්ව ලාභීන් අතර වැඩිම කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාවකට හිමිකම් කියන ඒ අපූරු ක්‍රීඩකයා වෙන කවුරුත් නොව ‘ස්ලිංගා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගය.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයන් ප්‍රත්‍යාවලෝකනය කරනු ලබන මෙම තීරු ලිපි මාලාවේ සිව්වැන්න වැන්න, ‘ස්ලිංගා’ විසින් දක්වන ලද ඒ අසහාය දක්ෂතාව පිළිබඳව ය.

විරල දේ අතර සුලබ වුණු ක්‍රිකට් ලෝක කුසලානේ ලකුණු සමවීම්

ලොව ක්‍රීඩා අතර අවිනිශ්චිතම ක්‍රීඩාව ලෙස සැලකෙන්නේ ක්‍රිකට් යන්න නොරහසකි….

සාම්ප්‍රදායික පන්දු යැවීමේ ඉරියව්වට හාත් පසින්ම වෙනස්, පොළොවට සමාන්තර ලෙසින් අත ගෙනැවිත් පන්දුව යොමු කිරීමේ දී දක්වනු ලැබූ අසාමාන්‍ය දක්ෂතාව නිසාම 2004 වසරේ දී පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කරගන්නා මාලිංග, තම මංගල ටෙස්ට්  තරගයේ දී එකම පන්දුවාරයක් ඇතුළත ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ඩැරන් ලීමන් යන පිතිකරුවන් දවා ගනිමින් විචාරකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

එසේ ආරම්භ වන ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය හෙවත් සුවිශේෂීම සංධිස්ථානය බවට පත්වූයේ 2007 ලෝක කුසලාන තරගාවලියයි. නැවුම් කොණ්ඩා මෝස්තරයකින් සැරසීම නිසා තරගාවලියේ ආරම්භයේ පටන් බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ මාලිංග, කොණ්ඩා මෝස්තරයේ නැවුම් බව මෙන්ම පන්දු යැවීමෙන් ද ලෝකයට නැවුම් දෙයක් එක් කිරීමට එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සමත් විය. ජාත්‍යන්තර පිටියට පිවිස සුළු කාලයකින් ලෝක පූජිත ක්‍රීඩකයකු බවට පත්වීමට මාලිංගට මංපෙත් විවර කර දුන්නේ මෙකී සුවිශේෂී ලෝක වාර්තාවය.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ට්‍රේලියානුවන් හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 53ක පරාජයක් ලබා අනුශූරයින් බවට පත්වුවද, එම අවසන් මහ තරගය දක්වා පැමිණීමේ දී, මාලිංග විසින් දක්වන ලද දක්ෂතා බෙහෙවින් ශ්‍රී ලංකා කණ්ඩායමට උපකාර විය.

එම ලෝක කුසලාන තරගාවලියේ මාර්තු 27 වැනි දින ගයානා හී ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගය මාලිංගට ඉතා සුවිශේෂී තරගයක් විය. ප්‍රබලතම පිතිකරුවන් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති එම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කුත් පන්දු 3ක දී සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී 45 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වීමට පෙර දකුණු අප්‍රිකානු ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් පමණක් අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔවුන්ට පන්දු 36ක් සහ කඩුලු 5ක් අතැතිව තිබුණි.

අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගත යුතු වීම මත තරගය නැරඹීමට පැමිණි බොහෝ පිරිසක් සිය ආසනවලින් නැගිට ආපසු නිවෙස් බලා ගිය බැවින් අවසන් භාගය නැරඹීමට ඉතිරිව සිටියේ සුළු පිරිසක් පමණි.

නායක ජයවර්ධනට ද කළ හැකි කිසිවක් නොවූයෙන් ඒ වන විට තම විශ්වාසවන්තම පන්දු යවන්නා බවට පත්වූ ලසිත් මාලිංගට පන්දුව භාර දෙනු ලැබුවේ කළ හැකි යම් දෙයක් වෙතොත් කරන ලෙසට පවසමිනි.  

ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල

ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක කුසලාන පළමු සහභාගිත්වය අතර ඇත්තේ සමාන…

පරාජය නිසැක වූ එම තරගයේ දී ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට කළ යුතුව තිබුණේ එම ලකුණු 10 ලබා ගැනීමට පෙර කඩුලු 5ම දවා ගැනීමය. අවිනිශ්චිත යැයි සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ එවැන්නක් සිදුවීමේ නියැදියක් පේන තෙක් මානයක නොවීය. මාලිංග ඉදිරියේ පන්දුවට පහර දීමට සූදානම්ව සිටියේ ලොව දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන ෂෝන් පොලොක්ය. පන්දුව ඉඹීමත් සමඟ පන්දු යැවීම ආරම්භ කළ මාලිංග යැවූ පළමු පන්දු 4 ඇතුළත ලකුණු 06ක් ලබා ගැනීමට පොලොක් සමත්වූයෙන් දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 32ක දී ලකුණු 04ක් තරමට අඩු විය.

නොපසුබට උත්සාහයකින් හෙබි ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන මාලිංග පස්වැනි පන්දුව යවන මොහොත උදා විය. මාලිංගගේ තියුණු දෑස් පන්දුවට පහර දෙමින් සිටි පොලොක්ගේ පාද යුගලත් කඩුල්ලත් අතර පරාසය වෙත යොමුව තිබුණි. යෝකර් පන්දු යැවීමට වැඩි හැකියාවක් ඇති මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද පැයට කිලෝමීටර 140කට වඩා වේගයෙන් යුතු එම යෝකර් පන්දුව, කඩුල්ල කරා යෑම නතර කර ගැනීමට කළ හැකි කිසිවක් පොළොක්ට නොවීය. ප්‍රතිඵලය වූයේ පන්දුව පා ඉන්නේ වැදීමෙන් පොලොක්ට පිටියෙන් ඉවතට යෑමට සිදුවීමයි.

අනතුරුව පිටියට පිවිසියේ කලක් දකුණු අප්‍රිකානු පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කරන ලද ඇන්ඩෘ හෝල්ය. අසාමාන්‍ය ඉරියව්වකින් යුතු මාලිංග එවන ලද පන්දුව නිසියාකාරව ග්‍රහණය කර ගත නොහැකි වූ හෝල්ට කළ හැකි එකම දේ තිබුණේ පන්දුව පමණක් පිත්ත දෙසට යොමු කිරීම පමණි. පිත්තේ වැදුණු පන්දුව පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි උපුල් තරංගගේ දෙඅත් අතර සිරවීම මත හෝල් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.

45 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී පිට පිටම කඩුලු දෙකක් මාලිංග දවා ගැනීමෙන් පසු 46 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද චමින්ද වාස් එම පන්දු හය එක් ලකුණකට සීමා කරමින් යැවීම නිසා 47 වැනි පන්දුවාරය යැවීමේ අවස්ථාව ද නැවතත් මාලිංගට උදා විය.

රොබින් පීටර්සන්ගේ පිත්තෙන් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය සනාථ වීමෙන් පසු.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පහසු ජයග්‍රහණයකට පාර සැකසූ ප්‍රධාන නියමුවා බවට පත්වූ ජැක් කලිස්, මාලිංගගේ කඩුලු ත්‍රිත්වය ලබා ගැනීම වෙනුවෙන් යැවීමට නියමිතව තිබූ පන්දුවට මුහුණ දීමේ සූදානමින් සිටියේය. ඒ වන විටත් පන්දු 109කට මුහුණ දී සිටි කලිස් ලකුණු 86 ක් රැස්කර ගෙන සිටියේය. කඩුලු ත්‍රිත්වය සඳහා යොමු කරන ලද පන්දුවට ලොව දක්ෂතම පිතිකරුවෙකු ලෙසින් ඉදිරියෙන්ම සිටින ජැක් කලිස් මුහුණ දීමට සූදානමින් සිටීම නිසා කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අදහස මොහොතකට හෝ මාලිංගගේ සිතින් බැහැරව යන්න ඇත.

පිට ඉන්නට මඳක් ඈතට වන්නට කඩුල්ලෙන් පිටතට දෝලනය කරමින් යවන ලද පන්දුවට පහරක් එල්ල කිරීමට කලිස් උත්සාහ ගත් නමුදු, එය වැරදී ගියේය. පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රැකි සංගක්කාරගේ අත් ආවරණ වල සුරැකිව සිරවූයේ මාලිංගගේ නම ඉදිරියෙන් කඩුලු ත්‍රිත්වයක් සටහන් වෙමිනි. කිසි ලෙසකින් නොසිතූ දෙයක් සිදුවීම නිසා දැඩි එතෙක් වෙලා තරගයේ ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානුවන් දැඩි අපහසුතාවයකට මුහුණ දුන්නේය. එතෙක් පරාජය පිළිබඳව හිත හදාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ද මාලිංගගේ වික්‍රමය නිසා ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ගොඩ නැගුණි. එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට තවත් ලකුණු 02ක් ඇතුළත කඩුලු 02ම දවා ගත යුතු විය.

පිතිකරුවන් ලෙස නම් දරා සිටි සියලු දෙනාම ප්‍රේක්ෂකයින් බවට පත්වීම නිසා දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණියේ මකායා එන්ටිනිය. විනිසුරුවරයාගෙන් විමසීමෙන් පසු පන්දුවට පහර දීමේ සීමාව මායිම් කර ගත් එන්ටින්, මාලිංග එවනු ලබන සිව්වැනි පන්දුවට මුහුණ දීමට සූදානම්ය.

ලෝක වාර්තාව පිහිටුවීම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල වූ මකායා එන්ටින්ව දවා ගැනීමෙන් පසු

මාලිංගගේ අතින් ගිලිහුණු පන්දුව කෙළින්ම ඇදී ගියේ එන්ටින්ගේ කඩුල්ල සොයා ගෙනය. පිත්ත පරයා යමින් පන්දුව කඩුල්ලේ මැද ඉන්නේ බිඳී යෑමෙන් සිදු වූයේ එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පන්දු හතරක් තුළ කඩුලු 4ක් දවා ගත් පළමු ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව ලසිත් මාලිංගගේ නම ඉදිරියෙන් සටහන් වීමය. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයත්වයට පත්වූ මාලිංග සිය සතුට ක්‍රීඩාංගණයේ ප්‍රකාශ කරන ලද්දේ අහස් යාත්‍රාවක් අහසේ පාවී ඇදෙන්නා සේ තම දෙඅත් දෙපසට පද්දවා දිව යමිනි.

එතැන් පටන් මාලිංගගේ නම වටා ක්‍රීඩාලෝලීන් මිලියන ගණනකගේ මුවග නිතර රැව් පිළිරැව් දෙන නාමයක් වන්නට පටන් ගත් අතර පෞද්ගලික තරගාවලි මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීම් ගණනාවකින් ඔහුට ආරාධනා ගලා ඒම ඇරඹිණ. මාලිංග භීතිකාව ඇරඹුණේ එතැන් පටන්ය කිවහොත් නිවැරදිය.

පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක්ම දැවී යෑම නිසා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට එක් කඩුල්ලක් ද දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට ලකුණු 2ක් ද ලබා ගත යුතුව තිබුණි. හදිසියේම කඩා වැටීම නිසා දකුණු අප්‍රිකාව පීඩනයෙන් මිරිකී යද්දී තරගය ජය ගැනීම සඳහා පන්දුවට පහර දීමට පැමිණියේ චාර්ල්ස් ලැංග්වෙල්ට්ය.

පන්දු 10කට පෙර කඩුලු 5ක් අතැතිව සිටි දකුණු අප්‍රිකානු පිලේ අවසන් පිතිකරුවා වූ ලැංග්වෙල්ට් පන්දුවට පහර දීමේ සූදානමකින් තොර වුවත් හදිසියේම කඩා වැටීම නිසා ඔහුට ද පිටියට පැමිණීමට සිදු විය. ඒ වන විටත් කිසිම පිටියට පැමිණීමට කිසිම සූදානමක් ලැංග්වෙල්ට් තුළ නොවූයෙන් හෙතෙම පිටියට පිවිසියේ තරමක ප්‍රමාදයකින් පසුවය.

විරල ලෝක වාර්තාව තැබීමෙන් පසු කණ්ඩායම මාලිංගට සුබ පතමින්.

අවසන් කඩුල්ල මත ඔහුට එල්ල කරන පීඩනය වැඩි වන අයුරින් පිටිය සකස් කිරීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කරද්දී පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් ඊට සුළු මොහොතකට පෙර තැබූ ලෝක වාර්තාව පිට පිට පන්දු 5ක දී කඩුලු 5ක් වශයෙන් යාවත්කාලීන කිරීමේ අරමුණෙන් යුතුව මාලිංග ලක ලැහැස්තිව සිටියේය.

පිතිකරුවෙකු ලෙසින් නම් දැරූ ක්‍රීඩකයකු වුවද අසීරුතාවට පත්වන තරමේ වූ මාලිංග යවන ලද පන්දුව නවතා ගැනීමට ලැංග්වෙල්ට් අපොහොසත් වූයෙන් කඩුල්ල සොයා පන්දුව ඇදී ගියේය. එහෙත් පිත්ත පසු කොට කඩුල්ල අතර දක්වා පන්දුව ඇදී ගිය කාල සීමාවේ දී ඇතිවූ සුළු දෝලන තත්ත්වය හේතුවෙන් ලැංග්වෙල්ට්ගේ පිට ඉන්න ගෑවී නොගෑවි කඩුලු රකින්නා වෙත ඇදී ගියේ කිසිදු හානියක් සිදු නොවෙමිනි. එබැවින් පන්දු 5 ඇතුළත කඩුලු 5ක් දවා ගැනීමට මාලිංගට තිබූ හොඳම අවස්ථාව ද නූලෙන් අහිමිව ගියේය.

කෙනෙකුට පහසුවෙන් ළං විය නොහැකි වූ අවස්ථාව මාලිංග අතින් ගිලිහී ගිය ද ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණ බලාපොරොත්තු එලෙසින්ම පැවතිනි, එහෙත් මාලිංගගේ ඊළඟ පන්දු 3න් ද බේරුණු ලැංග්වෙල්ඩ් සහ පීටර්සන්ට ජයග්‍රාහී ලකුණු වාර්තා කිරීමට තවත් පන්දු 08ක් යන තුරු බලා සිඳීමට සිද්ධ විය.

මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද 49 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව පීටර්සන්ගේ පිත්තේ පිටත දාරය වැදී තර්ඩ්මෑන් කලාපය හරහා පන්දුව හතරේ සීමාව සිප ගනිද්දී උද්වේගකර අවසානයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානු පිල සතු විය.

එහෙත් ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ මාලිංග එදා පෑ වික්‍රමය අදටත් ලෝක කුසලාන තරගාවලිවල දී මෙන්ම එක්දින තරගවල පහසුවෙන් බිඳ හෙළිය නොහැකි වාර්තාවක් බවට පත්ව තිබේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<