ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල

ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන - 02

471
ලෝක කුසලාන සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්

ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක කුසලාන පළමු සහභාගිත්වය අතර ඇත්තේ සමාන වයසකි. ඉතිහාස වාර්තාවල පැහැදිලිව සඳහන්ව නැතත් ලොව ප්‍රකටම ක්‍රිකට් වෙබ් අඩවිය වන Cricinfo වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට සිදු වී තිබේ.

එදා සිට මේ දක්වා ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණයන් අපමණය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය ඉන් ප්‍රධානම තැනක් ගනු ලබයි. මෙම ජයග්‍රහණ සියල්ලෙහිම ඇරඹුමක් ඇත. එම ඇරඹුමේ සුල මුල සොයා යෑම ප්‍රත්‍යාවලෝකන දෙවැනි කොටසේ බලාපොරොත්තුවයි.

දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් යමක් එක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් එක්දින…

ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ලෙසින් අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ පළමු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවට එම තරගාවලිය යටතේ එකම ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට නොහැකි විය.

පළමු තරගාවලියේ දී හිස් අතින්ම පැමිණි ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් ඊළඟ වසර, එනම් 1979 වසර තෙක්ම බලාගෙන සිටීමට සිදු විය. ප්‍රධාන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 6ට අමතරව ටෙස්ට් වරම් අහිමිව තරග වැදි රටවල් දෙක අතුරින් එක් රටක් බවට පත්වූ ශ්‍රී ලංකාව (අනෙක් රට වූයේ කැනඩාවයි), එම තරගාවලියට සහභාගි වූයේ ද අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේය.

ටෙස්ට් වරම් අහිමි රටක්, ටෙස්ට් රටකට එරෙහිව ජයග්‍රහණයක් අත්කර ගැනීම සැබැවින්ම අභියෝගයකි. එය එදා මෙන් නොව මෙතරම් දියුණු තත්ත්වයන් යටතේ වුවද දැඩි අසීරු කර්තව්‍යයකි. එහෙත් මෙරට ලෝක කුසලාන ක්‍රිකට් සහභාගිත්වයේ පළමු ජයග්‍රහණය, දෙවැනි ලෝක කුසලාන තරගාවලිය හෙවත් 1979 වසරේ දී පැවති තරගාවලියේ දී ලබා ගැනීමට තරම් මෙරට ක්‍රිකට් ඉහළ වල ගුණාත්මකභාවය ඉහළ පැවැතිණි. 70 දශකයේ ලද එම ජයග්‍රහණය, ශ්‍රී ලාංකේය නාමය එක රැයකින් මුළු ලෝකයේම අවධානයට පාත්‍ර කරවීමට විය. ක්‍රිකට් ක්‍රීඩාවේ පතාකයකු ලෙස සැලකෙන ඉන්දියාවට එරෙහිව එම ජයග්‍රහණය වාර්තා කර ගැනීමට හැකි වීම ද එකී ජයග්‍රහණය සතුට දෙගුණ තෙගුණ කරවන තරමේ විය.

ටෙස්ට් වරම් හිමි නොවීම මත අඩු තක්සේරුවට ලක්ව සිටි අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට සහභාගි වුව ද, ඔහුට නායකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වූයේ නවසීලන්තය සමඟ පැවති එක්දින තරගය පමණි.

අහම්බයකින් මයික් එක අතට ගත් ඕස්ට්‍රේලියානුවා

1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි එක් සාමාජිකයෙක් මයිකල් ස්ලේටර්. ඔහු මේ තරඟාවලියේදී කණ්ඩායම්…

කඩුලු 9ක පරාජයක් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රතිවාදීන් බවට පත්වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ය. පුහුණුවීම් අතරතුර අනුර තෙන්නකෝන් ආබාධයකට ලක්වීම නිසා, කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ උපනායකයා ලෙසින් කටයුතු කළ බන්දුල වර්ණපුරටය. ඇතැම් විට මෙරට ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ පළමු නායකයා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව බන්දුල වර්ණපුර හිමි වීමට, නායකයා ලෙසින් කටයුතු කළ පළමු තරග ජයග්‍රහණය කරා රැගෙන යෑමට හැකි වීමට හේතු වන්නට ඇත.

දිනය 1979 වසරේ ජුනි 18 වැනිදාය. ස්ථානය එංගලන්තයේ මැන්චස්ටර් නුවර පිහිටා ඇති ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය ය. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 68 වැනි තරගය ලෙසින් පැවති එම තරගයේ දී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශ්‍රීනිවාස් වෙන්කට්රාඝවන් ප්‍රථමයෙන් ම පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

ඒ අනුව ප්‍රථමයෙන් පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 60 අවසානයේ දී කඩුලු 5 කට ලකුණු 238 ක් රැස් කළේය. පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් තිදෙනකුම අර්ධ ශතක ලබා ගත්හ. ඔවුන් අතරින් මනා සංයමයකින් යුතුව පන්දුවට පහර දුන් සුනිල් වෙත්තමුණි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු පන්දු 120ක දී 67ක් ලබා ගත්තේ තම ඉනිම හතරේ පහර 8කින් වර්ණවත් කර ගනිමිනි.

බන්දුල වර්ණපුර (18) මුළු ලකුණු සංඛ්‍යාව 31ක්ව තිබිය දී දැවී ගිය නමුත්, සුනිල් වෙත්තමුණිට එක්වූ අංක 3 පිතිකරු රෝයි ඩයස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක් රැස් කිරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට ප්‍රධාන අඩිතාලම එක් කළේය.

මනස්කාන්ත වූ හතරේ පහර 2කින් පමණක් වර්ණවත් වූ රෝයි ඩයස්ගේ ලකුණු 50 සඳහා පන්දු 88කට මුහුණ දී තිබුණි. මැදපෙළින් පැමිණ වේගවත් පිතිහරඹයක් දියත් කළ දුලිප් මෙන්ඩිස් පන්දු 57ක දී ලකුණු 64ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමෙන් එල්ල කර තිබූ හයේ පහර 3ම හිමිකරු බවට දුලිප් මෙන්ඩිස් පත්විය.

වැඩිම ලකුණු ලාභියා වූ සුනිල් වෙත්තමුණි

රංජන් මඩුගල්ලේ ලකුණු 04ක් ලබා සිටිය දී දැවී යද්දී, සුදත් පැස්කුවල් ලකුණු 23ක් සහ ඩී. එස්. ද සිල්වා එක් ලකුණක් ලබා ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටියහ.  සුනිල් ජයසිංහ, ටෝනි ඕපාත, ස්ටැන්ලි ද සිල්වා සහ මහේෂ් ගුණතිලක එම තරගය නියෝජනය කළ සෙසු ක්‍රීඩකයෝ වූහ. ඉන්දීය පන්දු යවන්නන් අතරින් සාර්ථකම ඵල නෙළා ගත් පන්දු යවන්නා බවට පත්වූයේ මොහින්දර් අමරනාත් වන අතර ඔහු ලකුණු 40කට කඩුලු 3ක් බිඳ හෙළීය.

තරගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දක්ෂතාව, ඉවසීම, අත්දැකීම් නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීම, අවස්ථාවට අනුව තීරණ ගැනීම, ආක්‍රමණශීලී බව මෙන්ම වාසනාව වැනි තරගයක ජයග්‍රහණයක් සඳහා සෘජුවම බලපානු ලබන සාධක සියල්ල එදින ශ්‍රී ලංකා කණ්ඩායම සතු වීම නිසා එක්දින තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් තවත් දිගු කාලයක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකාවට ‘කෝචොක්’ දැමූ කට මැද දෙඩවූ විචාරකයින්ට කදිම පිළිතුරක් ලබා දීමට  බන්දුල වර්ණපුර ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට එදින හැකියාව ලැබුණි.

මේ පිළිබඳව ThePapare.com සමඟ අදහස් බෙදා ගත්, එම සුවිශේෂී තරගයේ නායකයා වූ බන්දුල වර්ණපුර, “තරගයට දින කීපයකට කලින් අනුර (තෙන්නකෝන්) ආබාධයකට ලක් වුනා. ඊට පස්සේ තමයි මට නායකත්වය දරන්න සිද්ධ වුනේ. අපි දිනපු මේ තරගය විතරක් නොවෙයි, පස්සේ තිබුණු ඔක්කොම තරගවල නායකයා ලෙස කටයුතු කරන්න සිද්ධ වුනේ මට”.

“එයාල ඒ වන කොට ඉතා හොඳ කණ්ඩායමක්. නමුත් අපිත් බල බල හිටියේ කොහොම හරි ටෙස්ට් ස්ටේටස් තියෙන රටකට එරෙහිව තරගයක් දිනන්න. මොකද අපි දැනගෙන හිටියා, එහෙම දිනුවොත් අපිට හොඳ තැනකට එන්න පුළුවන් කියන එක. ඒ හිතුව විදියටම වැඩේ කළා. ඒ වෙනුවෙන් දුලිප් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. ඒ වගේම පන්දු යවන්නන් ඔවුන්ගේ වගකීම හොඳටම ඉටු කළා” යැයි වර්ණපුර මතකය අවධි කළේය.

එවකටත් ශ්‍රීනිවාස් වෙන්කට්රාඝවන්, දිලිප් වෙන්සාකර්, ගුන්දප්පා විශ්වනාත් ප්‍රබල ක්‍රීඩකයින් මෙන්ම සුනිල් ගවස්කාර් සහ කපිල් දේව් වැනි ක්‍රිකට් ලොව නමක් දිනා සිටි දක්ෂ නවක ක්‍රීඩකයින් කීප පළකින්ම ඉන්දීය කණ්ඩායම සමන්විත වූයෙන් මෙම ඉලක්කය ඉන්දියාවට අභියෝගයක් නොවන ඉලක්කයක් ලෙසින් දිස්විය.

එහෙත් ලද අවස්ථාවෙන් තම සටන අත් නොහළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පිතිකරුවන්ට නොසිතූ පීඩනයක් එල්ල කිරීමට සමත් වූහ. ඉන්දීය ඉනිම ඇරඹී සුනිල් ගවස්කාර් සහ අන්ෂුමාන් ගීක්වාඩ් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් එක් කරමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තරමක් ඈතට රැගෙන ගියහ. එහෙත් එකෙනෙහිම ක්‍රියාත්මක වූ බන්දුල වර්ණපුර, සුනිල් ගවස්කාර්ව ලකුණු 26කට දවා ගනිමින් ඉන්දීය ඉනිම බිඳ දැමීමේ ආරම්භක සෙන්පතියා බවට පත්විය.

ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුකයින් බවට පත්ව සිටි ශ්‍රී ලංකාව තඹේකට මායිම් නොකළ ඔළුව උදුම්වා ගත් ඉන්දියානු පිතිකරුවෝ සුපුරුදු පිතිකරණයේ නියැළුණ ද, පිතිකරුවන් යැයි සම්මත කිසිවකුටත් අර්ධ ශතකයක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමට ද සිල්වා යුගලය කටයුතු නොකළහ.

ස්ටැන්ලි ද සිල්වා සහ ඩී. එස්. ද සිල්වා ඉන්දීය ඉනිම ලකුණු 191කට සීමා කිරීම වෙනුවෙන් මුලසුන ගනු ලැබූ පන්දු යවන්නන් බවට පත්විය. ද සිල්වා යුගල අතරින් කැපී පෙනෙනම පන්දු යවන්නා වූ ඩී. එස්. ද සිල්වා ලකුණු 29කට කඩුලු 3ක් ද, ස්ටැන්ලි ද සිල්වා ලකුණු 36කට කඩුලු 2ක් දවා ගනිමින් ඉන්දීය ඉදිරි පෙළ කඩුලු 5ම හිමිකරුවෝ බවට පත්වූහ.  පසුපෙළ කඩුලු 3ටම වගකිවූ ටෝනි ඕපාත ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඉන්දීය පිතිකරුවන් අතරින් ලකුණු 20 සීමාව ඉක්මවා ලූයේ සුනිල් ගවස්කාර් (26), අංෂුමාන් ගීක්වාර්ඩ් (33), ඩිලිප් වෙන්සාකර් (36) සහ ගුන්දප්පා විශ්වනාත් (22) පමණි. ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත ඉනිමක් දියත් කළ දුලීප් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාව ලද මෙම තරග ජයග්‍රහණය, දිනෙක ලොව ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයකට පැමිණීම පිළිබඳව සුබ පෙර නිමිති ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලැබීය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<