දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන - 01

625
දුලිප් මෙන්ඩිස්

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් යමක් එක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් එක්දින තරගවල භෞතීස්මය සිදු විය.

එසේ ඇරඹුණු එක්දින තරග සඳහා දිනෙන් දිනම එක්වූ වටිනාකම නිසාම 1975 වසරේ දී ලෝක කුසලාන තරගාවලියක සමාරම්භය සනිටුහන් වී තිබේ. එතැන් පටන් ගමන් ඇරඹුණු ක්‍රිකට් ලෝක කුසලානයේ 12 වැන්න වන අදින් දින 48ක ඇවෑමෙන් හෙවත් ලබන මැයි මස 30 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 1.00ට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වන සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ආරම්භ වේ.

දශක හතර හමාරකට ආසන්න කාලයක් දක්වා වූ අතීතයකට හිමිකම් කියන ලෝක කුසලාන ක්‍රිකට් වංශ කතාවේ මෙතෙක් සිදු වී ඇති සුවිශේෂී සිදුවීම් ගණනාවකි. ලෝක කුසලාන ඉතිහාසයේ සදාතනිකවම ලියැවුණු එම සුවිශේෂී අවස්ථා ‘ප්‍රත්‍යාවලෝකනය’ සැබැවින්ම රසබර එකකි. ලෝක කුසලාන උණුසුම ළංවනවාත් සමඟම ක්‍රිකට් ලොව නෙත් සිත් වසඟ කළ ඒ අතිශය විශේෂිත වූ සිදුවීම් කිහිපය ඔබ වෙතට ගෙන ඒම මෙම ‘ප්‍රත්‍යාවලෝකන’ ලිපි පෙළේ අරමුණයි.

සිදත්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්…

ලෝඩ්ස් පිටියේ දීර්ඝතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමේ වාර්තාව උසුලන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින්..

ලොව පළමු වරට පැවති ලෝක කුසලාන තරගාවලියට ටෙස්ට් වරම් නොලබමින් සහභාගි වූ රටවල් දෙක අතරින් එක් රටක් වූයේ ශ්‍රී ලංකාවයි. අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන පළමු ප්‍රතිවාදියා බවට පත්වූයේ එම තරගාවලියේ ශූරතාව දිනා ගත් ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37.2ක දී ලකුණු 86කට දැවී ගිය අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ඩී. එස්. ද සිල්වායි. ඔහු ලකුණු 21ක් ලබා ගත්තේය. සෙසු පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවාලූයේ ටෝනි ඕපාත (11) සහ මයිකල් තිසේරා (14) පමණි. රෝයි ‍ෆෙරෙඩ්රික්ස් (33), ඩෙරික් මරේ (නොදැවී 30) සහ ඇල්වින් කලිචරන් (නොදැවී 19) තිදෙනා එක්ව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ. එම පරාජයෙන් දින 4ක කාලයකින් හෙවත් 1975 ජුනි 11 වැනිදා ශ්‍රී ලංකාවට කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව මුණ ගැසිනි.

ලොව ප්‍රබලතම පන්දු යවන්නන් දෙදෙනෙකු ලෙසින් සැලකෙන ඩෙනිස් ලලී සහ ජෙෆ් තොම්සන් ඇතුළත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 60 තුළ දී කඩුලු 5කට ලකුණු 328ක් රැස් කරගත්තේය. ඒ වෙනුවෙන් ඇලන් ටර්නර් (101), ග්‍රෙග් චැපල් (50) සහ ඩග් වෝල්ටර්ස් (59) පිත්තෙන් දස්කම් දැක්වූහ. එවකට ක්‍රිකට් පිටියේ ‘ලිලිපුට්ටන්” ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාවට එය දැවැන්ත අභියෝගයක් වුවත්, පිළිතුරු ඉනිමේ දී සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවක් ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රදර්ශනය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා ඉනිමේ 32 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 150 සීමාව ඉක්මවා ගියේ කඩුලු 2ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දීමෙනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය, තවත් පන්දු 168ක දී ලකුණු 178ක් විය.

ඒ වන විටත් සුනිල් වෙත්තමුණි සහ දුලිප් මෙන්ඩිස් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කරමින් පන්දුවට පහර දීම, පළමු ලෝක කුසලාන තරගාවලියේම පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමට තරම් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවන සිදුවීමක් විය. සුනිල් වෙත්තමුණි මෙන්ම දුලිප් මෙන්ඩිස්ගේ ද මංගල එක්දින තරගය බවට මෙම තරගය පත් වුවද කෝඩුකාරයින් දෙදෙනා කිසිම අපහසුවකින් තොරව ලකුණු පුවරුව ඉහළ දමනා අයුරු එම තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන ලද ඉයන් චැපල්ගේ නලලත රැළි ගැන්වීය.

සිදුවන්න යන දේ තමාගේ කණ්ඩායමේ ජයග්‍රහණයට එතරම් හොඳ දෙයක් නොවන බව වටහා ගත් චැපල්, ඒ සඳහා තම ප්‍රධානතම තුරුම්පු දෙක වූ ඩෙනිස් ලිලී සහ ජෙෆ් තොම්සන්ව පන්දු යැවීමට කැඳවීය.

සුනිල් වෙත්තමුණි

ඒ වන විටත් පිටියේ හොඳින් ස්ථාවර වී සිටි මොවුන් දෙදෙනා දවා ගැනීම අපහසු කාර්යයක් බැවින් ඔවුන්ව තුවාල කොට හෝ ක්‍රීඩා පිටියෙන් ඉවතට යැවීම ඕස්ට්‍රේලියානු නායකයාගේ අභිලාෂය විය. ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය කෙලෙසන ලද තීරණයක් බවට පත්වූ එම තීරණයේ දී ප්‍රථමයෙන්ම තුවාල ලැබුවේ ඒ වන විටත් පන්දු 45කට මුහුණ දෙමින් ලකුණු 32ක් ලබා සිටි දුලිප් මෙන්ඩිස්ය.

මෑත කාලයේ දී ආරක්ෂා වීම සඳහා පලඳණු ලබන ආරක්ෂිත මෙවලමක් වන හිස් ආවරණ එවකට නොතිබුණු බැවින් කෙටි පන්දුවක් හෙවත් ‘බවුන්සර්’ පන්දුවක් යනු කොතෙක් දක්ෂ පිතිකරුවකුට වුවද ලැ‍බෙන ඉරණම ඉතාම භයානක විය. ඒ වන විට ලොව වේගවත්ම පන්දු යවන්නා විසින් විරුදාවලි ලත් ජෙෆ් තොම්සන් පැයට සැතපුම් 100කට වඩා වැඩි වේගයකින් එවන ලද පන්දුව, නතර වූයේ කෙළින්ම මෙන්ඩිස්ගේ මුහුණ දැවටීමෙනි. කපා හෙලූ ගසක් මෙන් තණතීරුව මතම සිහිසුන්ව ඇද වැටුණු මෙන්ඩිස් යළි ඇස් අරින විට සිටියේ රෝහලේ ඇඳක් මතය.

තොම්සන්ගේ පන්දුව වැදීමෙන් පසු දුලිප් මෙන්ඩිස් තණතීරුව මත ඇද වැටී සිටි අයුරු.

මෙන්ඩිස්ව ගිලන් ඇඳට තල්ලු කර දැමූව ද තොම්සන්ගේ වියරුව එතැකින් නිමා නොවිණි. ඒ වන විටත් ලකුණු 52ක් ලබා සිටි සුනිල් වෙත්තමුණිට, තොම්සන්ගේ මාරාන්තික පන්දුවල අඩුවක් නොවීය. පැයට සැතපුම් 100කට අධික වේගයකින් එවන ලද පන්දුවක් එක් අවස්ථාවක වෙත්තමුණිගේ පාදයේ වැදී ඔහු තුවාල ලැබීය. එහෙත් වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් අනතුරුව සහායක දුවන්නකුගේ සමඟ තවදුරටත් පන්දුවට පහර දීමට වෙත්තමුණි පැමිණියේ තරගය නැරඹි ප්‍රේක්ෂක අත්පොළසන් මධ්‍යයේය.

කායික වශයෙන් මෙන්ම වාචිකව ද ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳ දැමීමේ කළාව එවකටත් පැවතිණි. පන්දුව ශරීරයේ වැදීමෙන් දරුණු ලෙස තුවාල ලැබුව ද නැවතත් පන්දුවට පහර දීමට සුනිල් වෙත්තමුණි පැමිණීම තොම්සන්ව දැඩි කෝපයට පත් කරවන සිදුවීමක් විය. නැවත පන්දුවට පහර දීමට පැමිණෙන වෙත්තමුණි දුටු තොම්සන්, “උඹ තවම තුවාල වුනේ නෑ. ඒත් ඊළඟ පන්දු වාරයේ දී උඹ අනිවාර්යයෙන්ම තුවාල වේවි. බලාගෙන හිටපන් දුර්වල පාහරයා” යනුවෙන් බැන වැදුණේය.

දුලිප් මෙන්ඩිස්ව ක්‍රීඩාංගණයේ පිටතට ඔසවා ගෙන යන අයුරු.

තොම්සන් කී අයුරින්ම ඊළඟට ක්‍රියාත්මක කරන ලද පන්දු වාරයේ දී වෙත්තමුණි තුවාල ලැබීය. මෙන්ඩිස්ගේ නික්ම යෑමෙන් ලකුණු 14ක් ලකුණු පුවරුවට එකතු වද්දී තොම්සන් එවන ලද පන්දුවක් දකුණු පාදයේ වළලු කරත්, ඇඟිලි අතර ප්‍රදේශයත් අතර දැවටීම මත ආබාධයකට මුහුණ දුන් වෙත්තමුණිට ද සිදු වූයේ දුලිප් මෙන්ඩිස්ට අල්ලපු ඇඳට විත් නතර වීමටය.

“මගේ ජීවිතයේ දී මුහුණ දුන් වේගවත්ම පන්දු යවන්නා තමයි තොම්සන්. ඔහුගේ පන්දු යැවීම පැයකට සැතපුම් 100කට වඩා වැඩි අගයක් ගන්නවා. ඒත් එක්කම ඔහුගේ ඉරියව්වත් අසාමාන්‍ය ස්වරූපයක් ගැනීම නිසා පන්දුව එන මාවත පිළිබඳව එක පාරටම නිසි අවබෝධයක් ගන්න අමාරුයි. ඇත්තටම එය විශාල අභියෝගයක්” යැයි ප්‍රථමයෙන්ම ටෙස්ට් ජයග්‍රහණයක් කරා රැගෙන ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් මෙන්ඩිස් තොම්සන් පිළිබඳව පවසා තිබේ.  

එතෙක් වෙලා කඩුල්ලේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි වෙත්තමුණි – මෙන්ඩිස් සුසංයෝගයම රෝහල් ගත කිරීම මත ජයග්‍රහණය කරා යෑමට තිබූ අවස්ථාව ඇහිරුණු නමුත්, නියමිත පන්දුවාර 60ම ක්‍රීඩා කරමින් කඩුලු 4කට ලකුණු 276ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

තොම්සන් විසින් සුනිල් වෙත්තමුණිව ආබාධයට ලක් කරවූ අවස්ථාව

මෙහි දී මැද පෙළින් පිටියට පිවිසි නායක අනුර තෙන්නකෝන් ලකුණු 48ක් සහ මයිකල් තිසේරා ලකුණු 52ක් රැස් කරමින් තෙවැනි කඩුල්ලට ලකුණු 82ක් එක්කොට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වූහ. ශ්‍රී ලංකා පිතිකරුවන්ට මාරාන්තික මට්ටම තරමේ තුවාල ඇති කළ ඕස්ට්‍රේලියානුවන් ලකුණු 52ක ජයක් අත්කර ගත්ත ද එය ගෞරවනීය ජයග්‍රහණයක් ලෙසින් එවකට කිසිවකුත් නොසැලකූහ. මෙම තරගයෙන් ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූවද තරගය නැරඹි ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ බව ඉතිහාස වාර්තාවල සඳහන් වී තිබේ.

දකුණු ලන්ඩනයේ සාන්ත තෝමස් රෝහල මෙන්ඩිස් සහ වෙත්තමුණි දෙදෙනා ප්‍රතිකාර ගනු ලැබූ රෝහල විය. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටිය දී හදිසියේම මෙන්ඩින් මුණ ගැසීමට පුද්ගලයෙකු පැමිණියේය. ඒ එරට පොලිස් නිලධාරියෙකි. පොලිස් ඇඳුමින්ම සැරසී හදිසියේම පැමිණි පොලිස් නිලධාරියා විමසූ දෙයින් මෙන්ඩිස් ‘අන්දුන් කුන්දුන්’ වී ගියේය.

“මහත්මයා, ඔබ මේ වෙනුවෙන් තොම්සන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට යනවා ද…? යනුවෙන් එම පොලිස් නිලධාරියා මෙන්ඩිස්ගෙන් විමසීය. අවුන්ස පහමාරක් බරැති පන්දුවක් පැයට සැතපුම් 100කට වැඩි වේගයකින් විත් තම මුහුණේ වැදීම මත දැඩි වේදනාවෙන් සහ පීඩාවට පත්ව සිටි මෙන්ඩිස්ට, පොලිස් නිලධාරියා විමසූ කරුණ මුවඟට ආ සිනාව නවතා ගත නොහැකි විය. එහෙත් අමාරුවෙන් එය යටපත් කර ගත් මෙන්ඩිස් එසේ සිදු කිරීමට අනවශ්‍ය බව පොලිස් නිලධාරියා වෙත දැනුම් දුන්නේය.

මෙම සිදුවීමෙන් වසර 10ක් ඉක්ම යෑමෙන් පසු දුලිප් මෙන්ඩිස්ට නැවතත් ජෙෆ් තොම්සන්ව ඕස්ට්‍රේලියාවේ දී මුණ ගැසිනි. ක්වීන්ස්ලන්ත කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයක දී තොම්සන් සහ මෙන්ඩිස් මුණ ගැසී තිබෙන අතර, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දුලිප් මෙන්ඩිස් එම තරගයේ දී නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය. එම ඉනිම ප්‍රධාන කොට තරගය ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යෑමට මෙන්ඩිස් සමත් වුවද තොම්සන්ගේ පන්දුවලින් ඔහුට කිසිම බලපෑමක් ඇති නොවීය.

මීට වසර 10කට පෙර තමාට කළ අපරාධයට නිවැරදි පළිගැනීම මෙය දැයි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මෙන්ඩිස්ගෙන් විමසා තිබෙන අතර, “නෑ. නෑ. එහෙම දෙයක් නැහැ. එයා ඒ කාලේ පන්දු යැවූ තරම් වේගයෙන් දැන් තොම්සන් පන්දු යවන්නේ නෑ. ආබාධයක් තියාගෙන එයා පන්දු යැව්වත් ඒ පන්දුවල තවමත් හොඳ වේගයක් තියෙනවා” යැයි ප්‍රතිඋත්තර වශයෙන් ලබා දී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටිය ද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ ලෝක කුසලාන දිනා ගැනීම මෙන්ඩිස්ට මෙන්ම සුනිල් වෙත්තමුණිට ද විශේෂිත අවස්ථාවක් විය.

1996 වසරේ ලෝක කුසලාන දිනා ශ්‍රී ලංකා පිල පැමිණි යානයේ ගුවන් නියමුවා ලෙස කටයුතු කරන ලද සුනිල් වෙත්තමුණිට අර්ජුන රණතුංග ලෝක කුසලානය පිළිගන්වමින්.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු වෙත්තමුණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු වශයෙන් කටයුතු කරනු ලැබූ අතර දුලිප් මෙන්ඩිස් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළේය. 1996 මාර්තු 17 වැනි දින ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක පරාජයකට ඇද දමමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂිත ගුවන් යානයකිනි. ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව මුණ ගැසුණු අවස්ථවේ දී එම පන්දු යවන්නෙකුට එරෙහිව ප්‍රථමයෙන්ම මුහුණ දුන් ශ්‍රී ලාංකික පිතිකරුවා වූ සුනිල් වෙත්තමුණි, පළමු වරට ලෝක කුසලාන දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තම මව්බිම වෙත රැගෙන ආ ගුවන් ගමනේ නියමුවා වශයෙන් කටයුතු කිරීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<