ලෝක කුසලානයට නොතේරුණු ප්‍රබලයින් එකොළොස් දෙනා

910

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා රටවල් සියල්ලම පාහේ කණ්ඩායම් නම් කර අවසන්. ඒ අතරින් මෙවර ලෝක කුසලාන වරම් අහිමි වුනු ප්‍රබල ක්‍රීඩකයින් ගැනයි මේ අවධානය.

>>එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්<<

මොහොමඩ් රිස්වාන් (පාකිස්තානය)

රිස්වාන්ට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වීම ඉතා පුදුම සහගත වන්නේ ඔහු නායක සෆ්රාස් නොමැති වූ අවස්ථාවල කඩුලු රකින්නෙකු ලෙසට කටයුතු කළ බැවිනි. ඒ අනුව ඔහු නොමැති වීම නිසා පාකිස්තාන කණ්ඩායමට අමතර කඩුලු රකින්නෙක් ද නොමැති වනු ඇත.

26 හැවිරිදි රිස්වාන් එක්දින තරග 32කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ඔහු ලකුණු 700කට වඩා රැස්කර ගෙන ඇත්තේ 33.57ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. වසර දෙකක නිහැඬියාවකට පසු 2017 වසරේ නැවත කණ්ඩායමට පිවිසුණු රිස්වාන් මේ වසර මුලදී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියේ දී ශතක දෙකක් ද වාර්තා කළා.

නිරෝෂන් දික්වැල්ල (ශ්‍රී ලංකාව)

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය පරාජය වීමත් සමඟ දික්වැල්ලට කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වුනා. කෙසේ වෙතත් පසුගිය මාස 12 පුරාවට කණ්ඩායමේ සිටි දික්වැල්ල කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරමින් ඉනිම 15ක දී ලකුණු 497ක් රැස්කර ගෙන සිටියා.

රිශාබ් පන්ට් (ඉන්දියාව)

අත්දැකීම් බහුල දිනේෂ් කර්තික්ට ඉඩ ලබා දීම සඳහා පන්ට්ට සිය ස්ථානය පූජා කරන්නට සිදු වුනා. තේරීම් කමිටුව 21 හැවිරිදි පන්ට් වෙනුවට අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු යොදා ගත් නමුත් බොහෝ දෙනා මේ වෙනස්කමට එතරම් කැමැත්තක් පල කළේ නැහැ. පන්ට් මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග පහක් පමණක් වුනත් එම තරගවල දී වේගවත් ක්‍රීඩා විලාසයෙන් ඔහු තමාගේ වටිනාකම ඔප්පු කර පෙන්වන්නට සමත් වුනා.   

>>ලෝක කුසලාන තරග විනිශ්චයට වැඩිම සහභාගිත්වය ශ්‍රී ලංකාවෙන්<<

අම්බති රයිදු (ඉන්දියාව)

මාස හතකට පෙර බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී විරාත් කෝලි නොම්මර හතර ස්ථානය රයිදුට පිරිනැමුවා. කෙසේ වෙතත් විජේෂන්කර් මේ වසර මුලදී කණ්ඩායමට එක්වීම නිසා කණ්ඩායමට “three-dimensional” අවස්ථාවක් ලැබුණු බව ඉන්දීය තේරීම් කමිටුව ප්‍රකාශ කළා. ඒ නිසාම 2018 සැප්තැම්බර් සිට කණ්ඩායමේ ස්ථාවරව ඉතා හොඳින් ක්‍රීඩා කළ රයිදුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුනා. ඔහු නැවත කණ්ඩායමට පැමිණීමේ සිට මේ දක්වා අර්ධ ශතක හතරක්, ශතකයක් හා ලකුණු හතළිහට වැඩි අවස්ථා දෙකක් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව)

2010 වසරේ සිය මංගල තරගය ක්‍රීඩා කළ චන්දිමාල් පසු ගිය කාලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවෙක්. 2018 වසරේ දී ඔහුගේ සාමාන්‍ය ලකුණු 42.57ක් ලෙස දැක්වුණු අතර ඔහු කණ්ඩායමේ නායකත්වය ද දැරුවා. ලකුණු පමණක් නොව එක්දින තරග 146ක අත්දැකීම් ද චන්දිමාල් කණ්ඩායමේ නොමැති වීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වනු ඇත.

ජෝෆ්රා ආචර් (එංගලන්තය)

තවමත් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති ආචර් විස්සයි විස්ස පිටියේ ඉතා ජනප්‍රිය චරිතයක්. ලොව වටා විස්සයි විස්ස ලීගයන් ක්‍රීඩා කරන ඔහුගේ යෝකර් පන්දුව ඔහුගේ ප්‍රධානතම අවියයි. 24 හැවිරිදි ආචර් කණ්ඩායමට ඇතුලත්ව නැති නමුත් එංගලන්තය හා පකිස්ථානය අතර ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ඔහු හොඳින් දස්කම් දැක්වුවහොත් තේරීම් කමිටුව ඔහුව කණ්ඩායමට ඇතුළත් කරන බව පවසා තිබෙනවා.

>>ගේල් සහ රසල් ඇතුළට එද්දී පොලාඩ්ට තැනක් අහිමි වේ<<

ආසිෆ් අලී (පාකිස්තානය)

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවන් අඩු හෙයින් අලී කණ්ඩායමෙන් ඉවතට යාම බොහෝ දෙනාට ගැටලුවක් වී තිබේ. තවමත් ක්‍රීඩා කර ඇත්තේ තරග 11ක් පමණක් වුනත් ඉනිම වේගයෙන් අවසන් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස ඔහු දක්ෂතා දක්වා තිබුණා. කෙසේ වෙතත් පාකිස්තානය ලබන මාසයේ දී එංගලන්තය හා තරග වැදීමට නියමිත බැවින් ඔහුට අවස්ථාවක් ලැබෙන්නටත් ඉඩ ඇති බව වාර්තා වේ.

කිරෝන් පොලාර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්)

විස්සයි විස්ස සුපිරි ක්‍රීඩකයෙකු වන පොලාර්ඩ් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේ දීයි. කෙසේ වෙතත් ඔහු මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්වන දක්ෂතා නිසා ඔහු පිළිබඳව නැවතත් අවධානය යොමු වූ අතර IPL තරග 10ක දී ඔහු ලකුණු 200 සීමාව ද ඉක්මවා යන්නට සමත් වුනා. සුපිරි පන්දු රැකීම හා අවශ්‍ය අවස්ථාවල දී පන්දු යවන්නට ඇති හැකියාවත් ඔහුගේ වටිනාකම් වන නමුත් තේරීම් කමිටුව ඔහු වෙනුවට අන්දරේ රසල් තෝරා ගැනීමට තීරණය කර තිබුණි.

පීටර් හැන්ඩ්ස්කොම්බ් (ඕස්ට්‍රේලියාව)

පීටර් මෙවර ඉතා අවසනාවන්ත වූවා යැයි කිවහොත් නිවැරදියි.ඉතා හොඳින් ක්‍රීඩා කළත් තරග තහනමකින් පසු කණ්ඩායමට පිවිසෙන ස්ටීවන් ස්මිත්ට ඉඩ ලබා දීම සඳහා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු විය. දකුණත් පිතිකරුවෙකු වන ඔහු 2019 වසරේ දී ලකුණු 479ක් රැස් කරගෙන සිටින්නේ 43.54ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එයට ශතකයක් හා අර්ධ ශතක තුනක් ඇතුළත්. ඒ අනුව ඕස්ට්‍රේලියාවටත් අමතර කඩුලු රකින්නෙක් නොමැතිව මෙවර ලෝක කුසලානයට මුහුණ වීමට සිදුවනු ඇත.

අකිල ධනංජය (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාව සිදු කළ පුදුම සහගතම තෝරා ගැනීමක් වූයේ අකිල ධනංජය කණ්ඩායමෙන් ඉවතට දැමීමයි. ධනංජය පසුගිය වසරේ දී කඩුලු 28ක් දවා ගත්තේ තරග 15ක දී 23.00ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූයේ ද ඔහුයි. සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් අනතුරුව ඔහු එතරම් දක්ෂතා නොදැක්වූ අතර එම නිසාම ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි විය.

මොහොමඩ් අමීර් (පාකිස්තානය)

2017 ICC ශූරයින්ගේ කුසලානය පාකිස්තානයට දිනා දීමට ඉමහත් සේවයක් කළ අමීර් ඉන්පසුව එතරම්ම දස්කම් දැක්වූයේ නැහැ. මේ මස ආරම්භයේ දී නායක සෆ්රාස් අමීර්ගේ දස්කම් පිළිබඳ තමා එතරම් පැහැදීමක් නැතැයි ද පවසා සිටියා. කෙසේ වෙතත් 27 හැවිරිදි අමීර් සිය අවසන් තරග 14න් තරග නවයක දී ම කඩුලු ලබා ගැනීමට අසමත් වූ අතර ආබාධ නිසා දිගින් දිගටම පිටියෙන් ඉවත්ව සිටීමට ද ඔහුට සිදු වුනා. ආසීෆ් අලී මෙන්ම ඔහු එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන අතර එහි දී දක්වන දක්ෂතා අනුව ඔහුට ද ස්ථානයක් වෙන් කර ගැනීමට හැකි වනු ඇත.

Cricket World Cup 2019: Unlucky XI ලිපියේ පරිවර්තනයකි.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<