75 ඇරඹි එක්දින ලෝක කුසලානයේ සිංහ දස්කම්

467

70 දශකයේ ආරම්භයත් සමඟම ඇරඹුණු එක්දින ක්‍රිකට් තරග රටාව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක්වුණු නිසාම 1975 වසර වන විට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ අවශ්‍යතාව තදින්ම දැනුණේය.

එමනිසාම 1975 වසරේ prudential සමාගමේ අනුග්‍රහය ඇතිව පළමු prudential ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වුණේ රටවල් 8ක සහභාගිත්වය ඇතිවය. එහි දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් ICC පූර්ණ සාමාජිකත්වය ලැබූ රටවල් ලෙසින් තරගාවලිය සඳහා සහභාගි වන විට ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාව ආරාධිත රටවල් ලෙසින් තරගාවලිය සඳහා සහභාගි විය.

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා යොවුන් එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී මතක සටහන්

ඕස්ට්‍රේලියාව කවදත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ප්‍රබල ක්‍රීඩකයන්…

මෙම ලිපිය වෙන්වන්නේ එදා බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය යන ප්‍රබල රටවල් සමඟ තරග කර ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දස්කම් පිළිබඳව තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කිරීමටය.

තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම

අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මයිකල් තිසේරා, දුලිප් මෙන්ඩිස්, සුනිල් වෙත්තමුණි, ඩේවිඩ් හයින් පිතිකරුවන් ලෙස එක්වන විට රංජිත් ප්‍රනාන්දු එම කණ්ඩායමේ කඩුලු රකින්නා බවට පත්විය. බන්දුල වර්ණපුර සහ අනුර රණසිංහ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායම නියෝජනය කරන විට සෝමචන්ද්‍ර ද සිල්වා, ටෝනි ඕපාත, මෙවන් පීරිස්, ලලිත් කලුපෙරුම සහ අජිත් ද සිල්වා පන්දුවෙන් කණ්ඩායම ශක්තිමත් කළහ.

B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල රටවල් 3ක් සමඟ සටන් කරන්නට සිදු විය.

තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට එහි දී තරග වැදීමට සිදුවුණේ බටහිර ඉන්දීය කොදෙව්,ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය යන ප්‍රබල කණ්ඩායම් සමඟය. එම අවදියේ මෙම කණ්ඩායම් 3ම සතුව ප්‍රබල වේගපන්දු යවන්නන් සිටි නිසා එම කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.

  • ශ්‍රී ලංකා කණ්ඩායම (cricketique.wordpress.com)
  • ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගිය බස් රථය (cricketique.wordpress.com)

කොදෙව්වන් හමුවේ කඩුලු 9ක පරාජයක් ලබයි

එම අවදිය වන විට ලෝක ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලතම කණ්ඩායම වූ කොදෙව්වන් සමඟ පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට සැබවින්ම අභියෝගාත්මක එකක් වූයේ එම අවදියේ ලොව සිටි ප්‍රබලම වේගපන්දු යවන්නන් කිහිප දෙනෙකුම ඔවුන් සතු වූ නිසායි.

එවැනි අසීරු වටපිටාවක ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය. එදා වේගපන්දු යවන්නන්ට උචිත ආකාරයට සකසා තිබුණු තණතීරුවේ ජීවය මනාව උකහාගත් කොදෙව් වේගපන්දු යවන්නන් තර්ජනාත්මක අයුරින් මුල සිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහිව පන්දු යැවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 21ක් තුළ බිඳ වැටුණි.

එහි දී නවසීලන්තයට එරෙහිව පුහුණු තරගයේ දී නොදැවී ලකුණු 98ක් ලබාගත් රංජිත් ප්‍රනාන්දු ලකුණු 4කට දැවී යාමෙන් අනතුරුව එම පන්දු වාරයේ දී ම බර්නාඩ් ජූලියන් නායක තෙන්නකෝන්ව ලකුණු 0කට දවා ගත්තේය.

එක්දින කඩුලු ත්‍රිත්වවල සැඟවුණු රහස්

එක්දින ක්‍රිකට් තරගයකට ඕනෑම පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් …

ඉන් අනතුරුව කොදෙව් පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වුණු වර්ණපුර ලකුණු 8කටත් ඩේවිඩ් හයින් ලකුණු දෙකකටත් දැවී යාම නිසා ආරම්භයේ දී ම ශ්‍රී ලංකා ඉනිම 21/4 දක්වා පහත වැටිණි. එලෙස අසීරු අඩියකට වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සඳහා අනතුරුව පිටියේ එක්වුණු මයිකල් තිසේරා සහ දුලිප් මෙන්ඩිස් ලකුණු 20ක සබඳතාවය ගොඩනගමින් උත්සහ කළ ද බර්නාඩ් ජූලියන් සහ කීත් බොයිස් සුසංයෝගය එක්ව තිසේරාව ලකුණු 14කට, මෙන්ඩිස්ව ලකුණු 8කට, අනුරව ලකුණු 0කට සහ මෙවන්ව ලකුණු 3කට දවා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 48/8 බවට පත් කරමිනි.

බර්නාඩ් ජූලියන් (gettyimages)

කොදෙව් පන්දු  යවන්නන් ඉදිරියේ ඉතාමත් අසීරු අඩියකට වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසානයේ දී සෝමචන්ද්‍ර ද සිල්වා එකතු කළ ලකුණු 21 යම් අස්වැසිල්ලක් වුනත් බර්නාඩ් ජූලියන් 20/4, කීත් බොයිස් 22/3 සහ ඇන්ඩි රොබට්ස් 16/2 ලෙස දක්ෂ අයුරින් පන්දු යවමින් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 37.2ක් තුළ ලකුණු 86කට සීමා කළේය.

කොදෙව් පන්දු යවන්නන් ඔවුන්ට පැවරුණු රාජකාරිය මනාව ඉටු කිරීමෙන් අනතුරුව ලකුණු 87ක පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන් කිසිදු අපහසුවකින් තොරව පන්දුවාර 20.4ක දී 1ක කඩුල්ලක් පමණක් දැවී තිබිය දී ජයග්‍රහණය ලබාගත්තේ ඔවුන් සහභාගි වුණු පළමු ලෝක කුසලාන තරගය ජයග්‍රහණය කරමිනි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රබල සටනක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායම

පළමු තරගයේ දී ලද අමිහිරි පරාජයත් සමඟින් කෙනිංටන් ඕවල් පිටියේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල සමඟ ගැටුණ තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන් මුලින්ම පන්දුවට පහර දීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වූ ඇලන් ටර්නර් සහ රික් මැක්කොස්කර් ඉතාමත් මැනවින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව පාලනය කරමින් පන්දුවට පහර දුන් නිසා ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182ක අගනා සබඳතාවයක් ගොඩනැගීමට හැකි විය.

එලෙස ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු අගනා සබඳතාවය බිඳවැටීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 191/3 බවට පත් කළ ද ග්‍රේග් චැපල් සහ ඩග් වෝල්ටර්ස් ගොඩනැගූ වේගවත් ලකුණු 117ක සබඳතාවය නිසා ඕස්ට්‍රේලියානු ඉනිම නියමිත පන්දුවාර 60 අවසානයේ දී 328/5 ලෙසින් දිස්විය.

එහි දී ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ ඇලන් ටර්නර් ලකුණු 101ක් ලබා ගනිමින් එක්දින ශතකයක් ලැබූ මුල්ම ඕස්ට්‍රේලියානු පිතිකරුවා බවට පත්වනවිට ඔහුට අනගි සහයක් ලබා දුන් මැක්කොස්කර් ලකුණු 73ක්, වෝල්ටර්ස් ලකුණු 59ක් සහ ග්‍රේග් චැපල් ලකුණු 50ක් ලබා ගත්තේය. එලෙස ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිත්තෙන් දස්කම් දක්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සෝමචන්ද්‍ර ද සිල්වා සහ මෙවන් පීරිස් කඩුලු 2ක බැගින් ලබාගැනීමට සමත් විය.

ඇලන් ටර්නර් පන්දුවට පහර දෙමින් (gettyimages)

ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන්  වූ රංජිත් ප්‍රනාන්දු සහ බන්දුල වර්ණපුර පිළිවෙළින් ලකුණු 22කට සහ 31කට දැවී යාම නිසා 84/2 ලෙස දිස්වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉදිරියට ගෙන යාම සඳහා ඉන් අනතුරුව පිටියේ එක්වූ සුනිල් වෙත්තමුණි සහ දුලිප් මෙන්ඩිස් එම කාර්යය ඉතාමත් හොඳින් කරන ආකාරය දැකගත හැකි විය.

මොවුන් දෙදෙනාගේ එම දක්ෂ පිතිහරඹය නිසා 150/2 දක්වා ශ්‍රී ලංකා පිලේ ලකුණු තත්වය ඉහළ නැග තිබූ අවස්ථාවක පන්දු 45කින් ලකුණු 32ක් ලබා සිටි දුලිප් මෙන්ඩිස් ජෙෆ් තොම්සන් එවූ පන්දුවක් නළලේ වැදීම නිසා පිටියෙන් ඉවත් විය.

ඉන් අනතුරුව වෙත්තමුණිට එකතු වූ නායක තෙන්නකෝන් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ප්‍රහාරය ඇරඹිය. ඒ වන විට තරගය දෙපිලටම විවෘතව තිබූ නිසා සෑම පන්දුවාරයක්ම දෙපිලටම තීරණාත්මක විය. මෙන්ඩිස්ගේ නික්ම යාමෙන් නොසැලුණු වෙත්තමුණි ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයක ලැබූ මුල්ම අර්ධ ශතකය වාර්තා කිරීම ශ්‍රී ලංකාවට ගෞරවයක් විය. නමුත් ශ්‍රී ලංකා පිලේ සතුට සුලු මොහොතකින් උදුරා ගත් ජෙෆ් තොම්සන් ලකුණු 53ක් ලබා සිටි වෙත්තමුණිට එවූ වේගවත් පන්දුව ඔහුගේ පපු ප්‍රදේශයේ වැදීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 164/2 ලෙස තිබූ අවස්ථාවේ වෙත්තමුණිට ද ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදු විය.

ඊඩන් උයන ගිණිගත්දා ඉන්දියාව හැඬවූ අපේ විරුවා

මීට දශක දෙකකට දෙහමාරකට පෙර මාර්තුවේ යම් කිසි දිනෙක …

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිලේ සිටි අත්දැකීම් බහුලතම පිතිකරු යුගලය වූ නායක අනුර තෙන්නකෝන් සහ මයිකල් තිසේරා පිටියේ එක්වෙමින් අගනා ලකුණු 82ක සබඳතාවයක් පිහිටවූයේ තිසේරා ලැබූ ලකුණු 52 සහ තෙන්නකෝන් ලැබූ ලකුණු 48 නිසාය. එදා ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ප්‍රබල සටනක් ලබා දෙමින් ගෞරවාන්විත අවසානයක් කරා ගිය ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 60 තුල කඩුලු 4ක් දැවී ලකුණු 276ක් ලබා ගත්තේය. අවසානයේ දී තරගයෙන් ලකුණු 52ක ජයක් හිමිකරගත් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් සුපිරි ශතකයක් හිමි කර ගත් ඇලන් ටර්නර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

  • දුලිප් මෙන්ඩිස් ආබාධයට ලක්වුණු අවස්ථාව (gettyimages)
  • සුනිල් වෙත්තමුණි ආබාධයට ලක්වුණු අවස්ථාව (gettyimages)

ප්‍රබල පකිස්තානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 192ක දරුණු පරාජයක්

නොටිංහැම් නුවර ට්‍රෙන්ට්බ්‍රිජ් පිටියේ පැවති මෙම තරගයේ දී නැවතත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තෙන්නකෝන්ගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි පකිස්තානු පිලේ මුල් පිතිකරුවන් තිදෙනා වුණු සදික් මොහොමඩ්, මජීඩ් ඛාන් සහ සහීර් අබ්බාස් පිළිවෙළින් 74ක්, 84ක් සහ 97ක් ලෙසින් ලකුණු ලබා ගැනීම නිසා නියමිත පන්දුවාර 60 තුළ දී පකිස්තානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 330ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් එල්ල කරමිනි. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් බන්දුල වර්ණපුර කඩුලු 3ක් සහ ටෝනි ඕපාත කඩුලු 2ක් ලබාගත්ත ද සෙසු පන්දු යවන්නන්ට පකිස්තානු පිතිකරුවන්ගෙන් කිසිදු සමාවක් ලැබුණේ නැත.

සහීර් අබ්බාස් (gettyimages)

පකිස්තානු කණ්ඩායම ලබා ගත් ලකුණු 330ට එරෙහිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රබල පකිස්තානු පන්දු යවන්නන් ඉදිරියේ අන්ත අසරණ වුණු අතර එදා කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු අතරට පිවිසීමට නොහැකි වීම නිසා අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50.1ක දී ලකුණු 138කට සීමා වූයේ ඉම්රාන් ඛාන් ලකුණු 15කට කඩුලු 3ක් ලබාගනිමින් සිදු කළ දක්ෂ පන්දු යැවීමත් ඔහුට මනා සහයක් ලබා දෙමින් සදික් මොහොමඩ් සහ මියැන්ඩාඩ් කඩුලු 2 බැගින් ලබා ගැනීමත් නිසාය.

ශ්‍රී ලංකා-කොදෙව් තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාව (gettyimages)

පළමු ලෝක කුසලාන තරගාවලියේ දී අත්දැකීම් අඩු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් වූ කොදෙව්, ඕස්ට්‍රේලියා සහ පකිස්තානු ක්‍රීඩකයන් සමඟ උරෙනුර ගැටීමට අපහසු වුණු බව මෙම තරග තුනේ ප්‍රතිඵලවලින් පැහැදිලිවම පෙනී යයි. නමුත් ඔවුන්ට එදා තිබූ පහසුකම් අනුව ඔවුන් මේ දැක්වූ දස්කම් පසුකලෙක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වීමට මනා පිටිවහලක් විය.

 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<