අත්දැකීම් බහුල CR&FC ආධිපත්‍ය පතුරවන්නට සූදානමින්!

84

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්නගේ නායකත්වය යටතේ CR & FC කණ්ඩායම මේ වනවිට 2019/2020 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා සූදානමෙන් සිටියි. පසුගිය තරග වාරය අවසානයේ දී සිව්වන ස්ථානයේ පසුවූ CR & FC කණ්ඩායමට මෙවර කුමන ආකාරයක වෙනසක් සිදුකළ හැකි වේවි ද?

CR & FC කණ්ඩායමේ ආරම්භය ගැන බලන විට 1922 වසරේ දී කර්නල් ඊ. එච්. ජෝසප් මහතා විසින් ආරම්භ කරනු ලැබූ සිලෝනීස් රග්බි සහ පාපන්දු සමාජය (Ceylonese Rugby & Football Club) එවකට ශ්‍රී ලංකාවේ පැවති එකම රග්බි ක්‍රීඩා සමාජය විය. 1952 වසරේ සිට 13 වරක් ලීග් ශූරතාව දිනා ගැනීමට CR & FC කණ්ඩායම සමත් වුවත් මෑත කාලීනව ඔවුන් සැලකිය යුතු දක්ෂතා අතරට පිවිසීමට අසමත් වීම කැපී පෙනෙන කරුණක් විය. 

එසේම අවස්ථා කිහිපයක දී ඔවුන් ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් සටන දක්වා පැමිණීමට සමත් වුවත් ඔවුන් අවසන් වරට ක්ලිෆර්ඩ් කුසලානයක් ජය ගත්තේ 2006 වර්ෂයේ දීය. 

කෙසේ නමුත් 2017/18 තරග වාරය අවසන් කිරීමට හැකි වූයේ අවාසනාවන්ත ලෙස පස්වැනි ස්ථානයේ වුවත්, 2018/19 තරග වාරයේදී තරමක් ඉදිරියට පැමිණෙමින් සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට CR & FC ක්‍රීඩා සමාජයට හැකිවිය. 

සහභාගී වූ තරග 16න් තරග 8ක් ජය ගැනීමට CR & FC කණ්ඩායම සමත් වූ අතර තරග 7ක පරාජය දරා ගැනීමටද ඔවුන්ට සිදුවිය. අනෙක් තරගය යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ජය පරාජයකින් තොරව අවසන් විය. 

ඔවුන් පොලිස් ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය පරාජය කරමින් සාර්ථක ලෙස පසුගිය වසරේ තරගාවලිය ආරම්භ කළත් එම තරගවාරයේ ඔවුන්ගේ පළමු පරාජය හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයෙන් හිමිවිය. 

>>ගුවන් හමුදාවට අලුත් අනුග්‍රාහකයෙක්<<

පසුගිය තරගවාරයේ පාඩම් හොඳින් මතකයේ තබා ගනිමින්, කණ්ඩායම නව මගකට යොමු කිරීමේ අරමුණින් මෙවර තරග වාරයේ දී නව පුහුණුකරුවෙකුට කණ්ඩායම භාරදීමට CR & FC කණ්ඩායම තීරණය කර ඇත. නිමාවූ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී ශූරතාවය හිමිකර ගත් සහ පාසල් සත්සාමාජික රග්බි පිටියේ ඉහළ දස්කම් පෑ කොළඹ රාජකීය විද්‍යාලයේ පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ, CR & FC කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. නවක මුහුණු මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් සමඟින් මෙවර තරග බිමට පිවිසෙන CR & FC කණ්ඩායමට දුෂාන්ත් ලෙව්කේගේ සේවය මනා රුකුලක් වනු ඇත.

පාසල් රග්බි පිටියේ දක්ෂතා දැක්වූ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායක තුලෙයිබ් හසන්, ෆාදිල් අදහන් මෙන්ම වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායක මුර්ෂීඩ් සුබෙයිර් ද මෙවර CR & FC කණ්ඩායමට කැඳවා ඇති අතර කණ්ඩායමේ පසුපෙළ සවිමත් කිරීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ වනු ඇත.

තව ද හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම ක්‍රීඩකයන් වූ රීසා මුබාරක්, ෂාරෝ ප්‍රනාන්දු, දිනුක් අමරසිංහ සහ සඳුන් හේරත් මෙවර තරග වාරයේ දී CR & FC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනු ඇත.

මෙවර කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්න කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වන අතර ඔහුගේ ශක්තිය ප්‍රතිවාදීන්ට දරුණු පසුබෑමක් වනු ඇත. නමුත් පසුගිය තරග වාරයේ දී CR & FC කණ්ඩායමට විශාල සේවයක් ඉටුකළ කවිඳු පෙරේරා, මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්වීමෙන් අනතුරුව ඔහුගේ වේගයට මෙන්ම උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයට ආදේශ කළ හැකි ක්‍රීඩකයෙකු CR & FC කණ්ඩායමට අවශ්‍යව ඇත.

ප්‍රවර්තනයන් සහ දඬුවම් පහර සාර්ථක කරගැනීමේ විශේෂඥයෙකු වන රීසා මුබාරක්ගේ ආගමනය CR & FC කණ්ඩායමට මහත් වාසියක් වනු නොඅනුමානය.

මෙවර තරගාවලිය සඳහා එක්වන CR & FC කණ්ඩායම තරුණ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස හඳුනාගත හැක. කණ්ඩායමේ සිටින සෑම ක්‍රීඩකයෙකුම පාහේ වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් ය. කෙසේ නමුත් කණ්ඩායම තුළ සිටින ජාතික තලයේ අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ගේ දායකත්වය තරගාවලිය පුරාවටම කණ්ඩායමට වැදගත් වනු ඇත.

රීසා ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය …………..

ඒ අනුව තරගාවලියේ පළමු ස්ථාන 3 අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් ඔවුන් මෙවර තරගාවලියට අවතීර්ණ වීමට සූදානමින් සිටින අතර තරුණ සහ අත්දැකීම් බහුල කණ්ඩායමක් නැවතත් සුපුරුදු දක්‍ෂතා කරා මෙහෙයවමින් එම බලාපොරොත්තුව සඵල කරගැනීමේ සුවිශාල අභියෝගය නායක ඔමල්ක ගුණරත්න හට සහ නව පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේට පැවරී ඇත.

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැනගැනීමට රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<