ඩයලොග් ලීග් කිරුළ සඳහා තරග වදින්නට CR & FC පිළ සූදානමින්

495

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරාගේ නායකත්වය යටතේ CR & FC කණ්ඩායම මේ වන විට 2017/2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා සූදානමෙන් පසු වේ. පසුගිය තරග වාරයේ දී ඔවුන් පෙන්වූ පසුබෑම පසෙකලා මෙම තරග වාරයේ දී සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙන්නට ඔවුන්ට හැකි වෙයි ද?

ඩයලොග් ලීග් තරගාවලියේ දී පොලිස් ක්‍රීඩා සමාජයට සුවිශාල අභියෝගයක්

2017/2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා පොලිස් ක්‍රීඩා සමාජය ජයංග සිල්වාගේ නායකත්වය යටතේ මේ වන විට හොඳ සූදානමකින්…

අතීතයෙන් බිඳක්

1922 වසරේ දී කර්නල් ඊ. එච්. ජෝසප් මහතා විසින් ආරම්භ කරනු ලැබූ සිලෝනීස් රග්බි හා පාපන්දු සමාජය එවකට ශ්‍රී ලංකාවේ පැවති එකම රග්බි සංවිධානය විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රග්බි ඉතිහාසය තුළ දිගු ඉතිහාසයකට උරුමකම් කියන CR & FC කණ්ඩායම, ශ්‍රී ලංකා රග්බි පිටිය තුළ ආධිපත්‍ය රඳවාගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජයට අභියෝගයක් වූ එකම කණ්ඩායම ලෙස ද හඳුනාගත හැක. 21 වන සියවස ආරම්භයේ සිට ඔවුන් රග්බි ලීග් තරගාවලියේ දෙවන ස්ථානයේ රැඳීමට සමත්ව ඇත.

පසුගිය තරග වාරය

කෙසේ නමුත් පසුගිය වසරේ ලීග් තරගාවලියේ දී ඉහළ දස්කම් අතරට පැමිණෙන්නට CR & FC කණ්ඩායම අපොහොසත් විය. ඒ අනුව පසුගිය වසරේ දී ෂේන් සම්මන්දපෙරුමගේ නායකත්වය යටතේ ඔවුන් මහනුවර, හැව්ලොක් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජවලට පසුපසින් රැඳෙමින් තරගාවලියේ සිව්වන ස්ථානය දක්වා පසුබැස්සේය.

නව තරග වාරයේ කැපී පෙනෙන මුහුණු

මෙවර ‘Dialog’ රග්බි ලීග් තරගාවලියේ දී CR & FC කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම ද නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරා හටයි. 24 හැවිරිදි කවිඳු පෙරේරා ශ්‍රී ලංකාවේ රග්බි පිටිය තුළ සිටින වේගවත්ම ක්‍රීඩකයෙක් ලෙස නම් දරා සිටින අතර ඔහු සිය නායකත්වය යටතේ CR & FC කණ්ඩායම නැවතත් සුපුරුදු දක්‍ෂතා අතරට රැගෙන ඒමේ අපේක්‍ෂාවෙන් පසුවෙයි. ThePapare.com සමඟින් අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු සතුව සිටින තරුණ ක්‍රීඩකයින් සමඟ තරගාවලියේ පළමු ස්ථාන තුන අතරට කණ්ඩායම මෙහෙයවීමට ඔහු බලාපොරොත්තු වන බවයි.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ෆීජි ජාතික ෆෙරටි වෙරබියුලා ය. මෙම වසරේ මුල භාගයේ දී මැලේසියාවේ දී පැවති ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාවලිය සඳහා ශ්‍රී කණ්ඩායමේ පුහුණුකාරීත්වය ද දැරුවේ ඔහු විසිනි. ThePapare.com සමඟින් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඉදිරියේ දී මුහුණ දීමට ඇති තරගය වෙත අවධානය යොමු කරමින් තරගයෙන් තරගයට ජයග්‍රහණය කරමින් තරගාවලියේ ඉදිරියට යාමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

මෙවර තරග වාරය සඳහා ඔවුන් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කණ්ඩායමට එක්කර ගෙන ඇත. ඒ අතරට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ හිටපු නායකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ සාමාජික රීසා රෆයිඩීන්, ප්‍රබල ‘Prop Forward’ ක්‍රීඩකයෙක් වන උදාර ගයාන් ඇතුළත් වේ.

තවදුරටත් CR & FC කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරන තරින්ද රත්වත්තේ, ජවසම්පන්න ක්‍රීඩකයෙක් වන ඔමල්ක ගුණරත්න සහ රෙහාන් සිල්වා වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත වේ. ඔවුන් පසුගිය දා අවසන් වූ ආසියානු සත් සාමාජික තරගාවලියේ දී ඉහළ දක්‍ෂතා දක්වන්නට සමත් විය.

පාසල් පිටියේ දක්‍ෂයින් සමඟ පෙරට

CR & FC කණ්ඩායමට මෙවර තරග වාරය සඳහා පළමු වරට කණ්ඩායම නියෝජනය කරන පාසල් රග්බි පිටියෙන් බිහි වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ඇතුළත්ව ඇත. ශූරතාවය දිනූ කණ්ඩායමක් වන ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම් නායක කුෂාන් ඉඳුනිල්, වෙස්ලි විද්‍යාලයේ සශික අශාන් සහ සාන්ත පීතර විද්‍යාලයේ රවීන් යාපා එම ක්‍රීඩකයින් ය.

එම ක්‍රීඩකයින් මෙවර තරග වාරයේ දී කණ්ඩායම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

බලාපොරොත්තුව

මෙවර තරගාවලිය සඳහා එක්වන CR & FC කණ්ඩායම තරුණ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස හඳුනාගත හැක. කණ්ඩායමේ සිටින සෑම ක්‍රීඩකයෙක්ම පාහේ වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් ය. කෙසේ නමුත් කණ්ඩායම තුළ සිටින ජාතික තලයේ අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ගේ දායකත්වය තරගාවලිය පුරාවට කණ්ඩායමට වැදගත් වනු ඇත.

ඒ අනුව තරගාවලියේ පළමු ස්ථාන 3 අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් ඔවුන් තරගාවලියට එක්වන අතර තරුණ කණ්ඩායමක් නැවතත් සුපුරුදු දක්‍ෂතා කරා මෙහෙයවමින් එම බලාපොරොත්තුව සඵල කරගැනීමේ සුවිශාල අභියෝගය නායක කවිඳු පෙරේරා හට පැවරී ඇත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට  

2017/18 – CR & FC රග්බි සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2210145″]