සති තුනක් පුරා සිදු කල සංචාරය අතරතුර අවසන් සති දෙකේදීම පරාජයේ වේදනාව විඳගත් CR&FC ක්‍රීඩකයින් මෙවර තරග වාරයේ සිය පළමු සත්කාරක තරගයේදී අතිවිශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් මෙම තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස නැගී එමින් සිටි ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 57 – 20ක දැවැන්ත පරාජයක් උරුම කර දෙන්නට සමත් විය.

පසුගිය ලිපි: නාවික, යුධ ගැටුම එක් ලකුණින් විසඳෙයි

වර්ෂාවේ බලපෑමකින් තොරව පැවැත්වුණු මේ තරගයේ දී ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩාංගනය විවෘත රග්බි සටනක් සඳහා අගනා තත්ත්වයකට සකසා තිබුණි. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කණ්ඩායම් දෙකම මුල් මිනිත්තු කිහිපයේ සිටම ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන් මගහරිමින් පන්දුව රැගෙන යන්නටත් පන්දුව පාදයෙන් ඉදිරියට යොමු කර එය හඹා යන්නටත් උත්සාහ දරන අයුරු දක්නට ලැබුණි.

කණ්ඩායම් දෙකම එකිනෙකාට පීඩනය එල්ල කරන අතරතුර CR&FC වින්ගර් ක්‍රීඩක කවිඳු පෙරේරා 8 වන මිනිත්තුවේදී ආරක්ෂක පෙළ බිඳ දමමින් ගුවන් හමුදා මීටර් 10 සීමාව අසලටම පන්දුව රැගෙන එන්නට සමත් විය. ඔහුගේ සහයට පැමිණි CR&FC අනෙකුත් ඉදිරි පෙළ ක්‍රීඩකයන් තම ශරීර ශක්තිය උපයෝගී කරගෙන ගුවන් හමුදා ආරක්ෂක ක්‍රීඩකයන් තල්ලු කර දමමින් ඉදිරියට යාමට උත්සාහ දැරූ අතර දෙවන පෙළ ක්‍රීඩා කරන දැවැන්ත සිරුරකින් යුතු ඩිලංක පෙරේරා උත්සාහක දිනුම් රේඛාව අභිබවා පන්දුව ගෙනයන්නට සමත් විය. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගත්තේ CR & FC කණ්ඩායමට සාර්ථක ඉදිරි ගමනකට අවශ්‍ය මානසික ශක්තියද සපයමිනුයි (CR&FC 07 – 00 ගුවන් හමුදාව).

ඉන් මිනිත්තු 5කට පසු කවිඳු පෙරේරා යලිත් ක්‍රියාත්මක වූ අතර මෙවර උත්සාහක දිනුමේ අයිතියත් ඔහුටම හිමි විය. ආවරණ පෙදෙසින් CR&FC ඉදිරි පෙලට සම්බන්ධවූ කවිඳු වෙත නිසි අයුරින් පන්දුව භාර කලේ ඔහුගේ සහෝදර වින්ගර් ක්‍රීඩක සශාන් මොහොමඩ් විසිනුයි. කවිඳුගේ උත්සාහක දිනුමටත් අමතර වටිනාකම එක් කල තරින්ද රත්වත්ත CR&FC ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් විය (CR&FC 14 – 00 ගුවන් හමුදාව).

පළමු අර්ධයේ වඩාත් වැඩි කාලයක් පුරා පන්දුවේ අයිතිය තමන් සතුව තබා ගන්නටත් පිටියේ ගුවන් හමුදා අර්ධය තුල රැඳී සිටින්නටත් සත්කාරක CR&FC කණ්ඩායම සමත් වුවත්, ගුවන් හමුදා ආරක්ෂක ක්‍රීඩකයන්ද දැඩි සටනක් දෙමින් CR ක්‍රීඩකයන් ලකුණු ලබා ගැනීම වලක්වන්නට පියවර ගන්නා ලදී.

දෙවරක්ම CR&FC කලාපයට පන්දුව රැගෙන ගියද, ලකුණු ලබා ගැනීමට අපොහොසත් වූ ගුවන් භටයන් CR කලාපය තුල තුන්වන අවස්තාවේදී ලද දඬුවම් පහර ගෝලය වෙත එල්ල කිරීමට තීරණය කළ අතර 22 වන මිනිත්තුවේදී ලද එම දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් යොමු කල චරිත් සෙනෙවිරත්න ලකුණු පුවරුවේ ගුවන් හමුදා නම ඉදිරියෙන්ද ලකුණු 3ක් සටහන් කරන්නට සමත් විය (CR&FC 14 – 03 ගුවන් හමුදාව).

CR&FC කණ්ඩායම ඉන් පසු මිනිත්තු 5ක් ගත වන විට යලිත් සිය ලකුණු වාසිය 14ක් දක්වා ඉහල දමා ගත්තේ ඔවුන්ට ලැබුණු දඬුවම් පහරක් තරින්ද රත්වත්තගේ පා පහරින් ගෝල කණු අතරින් ඇදී යාමත් සමගයි. එයින් නොනැවතුණු තරින්ද CR&FC ත්‍රී ක්වාටර් ක්‍රීඩකයන්ගේ නෙත්කළු ක්‍රීඩා විලාශයකින් තමන් වෙත ලැබුණු පන්දුව ගෝල කණු අතරම බිම පතිත කරමින් සිය කණ්ඩායමේ 3 වන උත්සාහක දිනුම වාර්තා කළා පමණක් නොව තමන් විසින්ම එය ප්‍රවර්තනය කරමින් ලකුණු 21ක දැවැන්ත වාසියක් වෙත CR&FC කණ්ඩායම ඔසවා තබන ලදී. (CR & FC 24 – 03 ගුවන් හමුදාව).

චරිත් සෙනෙවිරත්න 37 වන මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගුවන් හමුදා බලාපොරොත්තු තරමක් ඉහල දමන්නට සමත් වුවත් CR&FC ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක කවිඳු ද කොස්තා සතුව පැවතුනේ වෙනත් අදහසක්. ඔහු පළමු අර්ධයේ අවසන් මිනිත්තුව තුල ගුවන් හමුදා ආරක්ෂක දැළ පසාරු කර දිව යමින් සිය කණ්ඩායමේ සිව්වන උත්සාහක දිනුමත් වාර්තා කල අතර ඉතා පහසු ස්ථානයක සිට ලැබුණු එහි ප්‍රවර්ථනයත් තරින්දගේ නොවරදිනසුලු පා පහරට ලක් වෙද්දී විනිසුරු ප්‍රියන්ත ගුණරත්න පළමු අර්ධයේ අවසානය සඳහා සිය නලාව හඬවන ලදී.

පළමු අර්ධය: CR&FC ක්‍රීඩා සමාජය 31 – 06 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු 25ක දැවැන්ත පාඩුවක් සමඟ දෙවන අර්ධයට පිවිසි ගුවන් හමුදා කණ්ඩායමේ සැලසුම් පිලිබඳ බොහෝ ක්‍රීඩා ලෝලීන් අවධානය යොමු කරගෙන සිටි අතර ගුවන් භටයන් තෝරාගෙන තිබුනේ සටන් කිරීමයි.

පන්දුවේ අයිතිය CR&FC කණ්ඩායමට ලබා ගැනීමට ඉඩ නොදී මිනිත්තු කිහිපයක් ඔවුන්ගේ අර්ධය තුල ක්‍රීඩා කල ගුවන් හමුදාව CR&FC මීටර් 22 සීමාව තුලට පිවිසුනේ තම වේගවත් පසුපෙළ ක්‍රීඩකයන් හට පන්දුව භාර කරමිනුයි. අශෝක් විජේකුමාර් යොමු කල දීර්ඝ පන්දු හුවමාරුවක් ග්‍රහණය කරගත් වින්ගර් ක්‍රීඩක ඉෂාර මධුශාන් පිටියේ වම් කෙලවරේ සීමා ඉර අසලම උත්සාහක දිනුමක් සටහන් කරන ලදී. මෙම තරග වාරයේදී තම පාදයේ රිද්මය ඉහලින්ම පවත්වාගෙන සිටින චරිත් සෙනෙවිරත්න අතිශය පටු කෝණයකින් හිමිවූ ප්‍රවර්තනය දර්ශනීය ලෙස ගෝල කණු අතරින් එල්ල කලේ ගුවන් හමුදා කණ්ඩායමට නව ජීවන හුස්මක්ද එකතු කරමිනුයි (CR&FC 31 – 13 ගුවන් හමුදාව).

තරගයේ 50 වන මිනිත්තුව වන විට CR&FC කණ්ඩායමේ ලකුණු වාසිය අත පොවන මානය දක්වා පහත දමන්නට ගුවන් භටයන් සමත් විය. ඒ ප්‍රොප් ක්‍රීඩක රනුක මැදගෙදර ප්‍රතිවාදී ආරක්ෂක පෙළ තම ශක්තිමත් සිරුරෙන් බිඳ දමා වාර්තා කල උත්සාහක දිනුම යලිත් සුපුරුදු පරිදීම චරිත් සෙනෙවිරත්නගේ පාද ස්පර්ශය ලබා ගෝල කණු අතරින් ඇදී යාමත් සමගයි. මේ අනුව මෙම තරගය තුල පළමු වරට CR&FC කණ්ඩායම මානසික පීඩනයකට හසු කරන්නට ගුවන් හමුදා කණ්ඩායමට හැකියාව ලැබුණි (CR&FC 31 – 20 ගුවන් හමුදාව).

දෙවන අර්ධයේ වාසනාව සංචාරක ගුවන් හමුදා කණ්ඩායම වෙත පමණක්ම උරුම වී ඇතිදැයි බොහෝ දෙනා සිතන්නට පටන් ගත්තේ CR&FC කණ්ඩායමේ ලූස් හෙඩ් ප්‍රොප් ක්‍රීඩක චරණ චාමිකර මිනිත්තු 10කට පිටියෙන් ඉවත් කරන්නට විනිසුරු වරයා ගත් තීරණයත් සමගයි.

ඔහුගේ කණ්ඩායමට ඊට පෙර නීති උල්ලංඝනය පිලිබඳ ලබා දුන් අවවාද නොසලකා දිගින් දිගටම නීති විරෝධී ක්‍රීඩා විලාශයන් ප්‍රකට කිරීම හේතුවෙන් ලැබුණු මේ දඬුවම නිසා මිනිත්තු 10ක කාලයක් ගුවන් හමුදා කණ්ඩායමට එක් ක්‍රීඩකයෙක්ගේ වාසියක් ඇතිව ක්‍රීඩා කිරීමට වාසනාව හිමි විය.

කෙසේ වෙතත් මෙම සිදුවීම තම ගිලිහුණු මානසික ශක්තිය නැවත ලබා ගැනීමේ උත්ප්‍රේරකයක් ලෙස භාවිත කලේ CR&FC කණ්ඩායමයි. තරගය ගලා ගිය ප්‍රවාහයට ප්‍රති විරුද්ධව ක්‍රියා කල CR&FC කණ්ඩායමේ අංක 8 ස්ථානයේ ක්‍රීඩක ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම් රේඛාවේ සිට මීටර් 5ක් දුරින් ලද ස්ක්‍රම් සැකසුමකින් පන්දුව රැගෙන ඉදිරියට යන්නට සමත් වූ අතර උත්සාහක දිනුම් රේඛාවට මීටර් කිහිපයක් තිබියදී ඔහුට ගුවන් හමුදා පසුපෙලින් එල්ලවූ බාධාව තම අත්දැකීම් තුලින් මනාව වටහා ගත් දෙවන පෙළ ක්‍රීඩා කළ ඉශාන් නූර් පන්දුව රැගෙන ප්‍රතිවාදීන් තල්ලු කරගෙන මෙන් සීමා ඉර පසු කරන්නට සමත් විය. ඉතා පහසු ප්‍රවර්ථනයක් වූ මෙම අවස්ථාව ෆුල් බැක් ක්‍රීඩක ප්‍රින්ස් චාමර හට හිමිවූ අතර ඔහුද රත්වත්තට දෙවැනි වූයේ නැත. මේ අනුව CR&FC කණ්ඩායම නැවත වරක්  ආරක්‍ෂිත ලකුණු වාසියක් තහවුරු කර ගන්නා ලදී (CR&FC 38 – 20 ගුවන් හමුදාව).

ඉතා අසීරු අවස්ථාවක වාර්තා වූ මේ උත්සාහක දිනුම තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් වූයේ ගුවන් හමුදා කණ්ඩායම වෙහෙසට පත්වූ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් තම ලකුණු පුවරුව තවදුරටත් ඉහල දමා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. වඩාත් ශක්තිමත් ආදේශක ක්‍රීඩකයන් රැසකට හිමිකම් කියන CR&FC කණ්ඩායම එම වාසිය මනාව ප්‍රයෝජනයට ගත්තේ ක්‍රීඩක ආදේශන කිහිපයක් සිදු කර තම තරග රටවේ රිද්මය තව දුරටත් ඉහලටම ගෙන යමිනුයි.

ගුවන් හමුදාව තරගය අතහැර දැමූ බවක් දුටු CR&FC කණ්ඩායම අවසන් මිනිත්තු 10 තුල ලකුණු ජලාශයේ සොරොවුව විවර කර ගන්නට සමත් විය. 70 වන මිනිත්තුවේදී කවිඳු පෙරේරා තම පෞද්ගලික දෙවන උත්සාහක දිනුම වාර්තා කලේ සිය පසුපෙළ සගයන්ගේ අගනා තරග විලාශයට වටිනා කමක් එකතු කරමිනුයි. මෙවර තරින්ද  රත්වත්තගේ ප්‍රවර්තනය මෙම තරගයේ පළමු වරට ගිලිහී යන ලදී.

කෙසේ වෙතත් රත්වත්ත යලිත් වරක් තම රාජකාරිය ඉෂ්ට කලේ ඉන් මිනිත්තු 5කට පසු ප්‍රතිවාදී මීටර් 5 සීමාවේ ලැබුණු ස්ක්‍රම් අවස්ථාවකින් ප්‍රයෝජන ගත් ඔමල්ක ගුණරත්න තම බාහු බලයෙන් පන්දුව සීමාව ඉක්මවා ගෙන ගොස් වාර්තා කල උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්ථනය කරමින්. මේ අනුව CR&FC කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වරට ලකුණු 50 සීමාවට ලඟා වන්නටද සමත් විය (CR&FC 50 – 20 ගුවන් හමුදාව)

CR&FC ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් වූ තරින්ද රත්වත්ත හට මෙම ලකුණු සංඛ්‍යාවද ප්‍රමාණවත් වූ බවක් නොපෙනුණු අතර ඔහු විශිෂ්ට තරගයකට අතිවිශිෂ්ට අවසානයක් සනිටුහන් කලේ අවසන් මිනිත්තුවේදී පිටියේ මීටර් 80ම තනිව දිවගොස් ලබාගත් දර්ශනීය උත්සාහක දිනුමක් මගිනුයි.

තම කණ්ඩායමේ ගෝල රේඛාව අසලටම ගෙනැවිත් තිබූ පන්දුව ගුවන් හමුදා කණ්ඩායමෙන් ගිලිහී ගිය සැනින් එය ඩැහැගත් රත්වත්ත ඉදිරියට දිව යාම ආරම්භ කල අතර ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් ඉදිරියෙන් පැමිණෙනු දුටු ඔහු දර්ශනීය පා පහරක් මගින් පන්දුව ඉදිරියට යොමු කරන ලදී.

අනතුරුව එම පන්දුව හඹා ගොස් යලිත් තමන් අතටම ලබාගත් ඔහු, නැවත සිය කණ්ඩායම් සගයන් සමඟ එක් වූයේ උත්සාහක දිනුම සම්පූර්ණ කර එහි ප්‍රවර්ථනයද සාර්ථක කර ගැනීමෙන් අනතුරුවයි. මේ අනුව රත්වත්තගේ පෞද්ගලික ලකුණු එකතුව ගුවන් හමුදා කණ්ඩායම එක්ව ලබාගත් ලකුණු සංඛ්‍යාවටත් වඩා ඉහල ගිය අතර උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්ථන 6ක් සහ දඬුවම් පහරක් සමගින් ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 25ක්.

තමන් සත්කාරකත්වය සැපයු පළමු තරගයෙන්ම දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරගත් CR&FC ක්‍රීඩකයන්, මෙරට රග්බි ලෝලීන්ට පණිවුඩයක් යැවීමටද සමත් විය. එනම් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති තුන බලාපොරොත්තු වූවාටත් වඩා උණුසුම් සහ තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි.

අවසන් ලකුණු තත්ත්වය: CR & FC 57 – 20 ගුවන් හමුදාව

ThePapare.com තරගයේ වීරයා – තරින්ද රත්වත්ත (CR &FC)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

CR & FC ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – කවිඳු පෙරේරා -2, තරින්ද  රත්වත්ත – 2, ඩිලංක පෙරේරා – 1, කවිඳු ද කොස්තා – 1, ඉශාන් නූර් -1, ඔමල්ක ගුණරත්න -1
  • ප්‍රවර්ථන – තරින්ද  රත්වත්ත – 6, ප්‍රින්ස් චාමර – 1
  • දඬුවම් පහර – තරින්ද රත්වත්ත – 1

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – ඉෂාර මධුශාන් – 1, රනුක මැදගෙදර – 1
  • ප්‍රවර්ථන – චරිත් සෙනෙවිරත්න – 2
  • දඬුවම් පහර – චරිත් සෙනෙවිරත්න – 2

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට